මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ප්‍රහාර නවත්වන්න -දලයි ලාමා

තම රටවල සිටින මුස්ලිම් ජනතාවට හිරිහැර කිරීමෙන් වළකින ලෙස ටිබෙටයේ බෞද්ධ ආධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන් ශ්‍රී ලංකාවේ හා මියැන්මාරයේ භික්‍ෂුන් වහන්සේගෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ හා මියැන්මාරයේ මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවූ විවිධ හිංසාකාරී ක්‍රියාවන්වලට භික්‍ෂුන් වහන්සේ ඇතුළු බෞද්ධ ජනතාව වගකිවයුතු යැයි දලයි ලාමාතුමන් සඳහන් කර ඇත්තේ ආගමික හිංසාව පිළිබඳව උන්වහන්සේගෙන් කළ විමසුමකදීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි මේරිලෑන්ඩ් විශ්වවිද්‍යාලයේ 15,000කට අධික පිරිසක් අමතමින් දලයි ලාමාතුමන් පෙරේදා (7දා) රාත්‍රියේදී සිදුකළ දේශනයක් අවසානයේදී උන්වහන්සේගෙන් ආගමික හිංසාව පිළිබඳව මෙසේ විමසා ඇත. එහිදී ආගම් නාමයෙන් සිදුකරන සියලු මිනී මැරීම් හෙළාදකිමින් පිළිතුරු දී ඇති දලයි ලාමාතුමන් පසුව බෞද්ධයන් ගැන අදහස් පළ කරමින් ශ්‍රී ලංකාවේ හා මියැන්මාරයේ සිදුවන දේ පිළිබඳව සිය මතය ප්‍රකාශ කර තිබේ. ප්‍රංශ පුවත් සේවය වාර්තා කර ඇති ආකාරයට පසුගිය කාලයේ මියැන්මාරයේ සිදුවූ ආගමික ගැටුම් නිසා එරට මුස්ලිම් ජනයා දහස් ගණනක් අවතැන් වූ බවත් ශ්‍රී ලංකාවේදී මුස්ලිම් ජනතාවට අයත් ව්‍යාපාරවලට බෞද්ධයන් පහරදුන් බවත් සඳහන් කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive