දුමින්දට වෛද්‍ය පරීක්‍ෂණ ඕනෑ නෑ - කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් කියයි

භාරත ලක්‌ෂ්මන් ඝාතන සිද්ධියේ 11 වැනි විත්තිකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අධිකරණය හමුවේ පෙනී සිටීමට ඇති හැකියාවට අමතරව අධිකරණ කටයුතු තේරුම් ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නැවතත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කිරීමේ වෛද්‍ය පරීක්‍ෂණයක්‌ අවශ්‍ය නොවන බව එම නඩුව ඊයේ (08) යළි විභාගයට ගත් අවස්‌ථාවේ කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා තීරණය කළේය.

විනිසුරුවරයා එම ප්‍රකාශය කළේ චූදිත දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් සිය වෛද්‍ය වාර්තාව පිළිබඳව කර තිබූ නිර්දේශ ගැන කරුණු දැක්‌වීමට නඩුව කැඳවූ අවස්‌ථාවේදීය.දැනට ඇප කොන්දේසි යටතේ මුදාහැර සිටින විත්තිකාර දුමින්ද සිල්වා ඇතුළු චූදිතයින් 13 දෙනා මෙදින අධිකරණය හමුවේ පෙනී සිටි අතර තවදුරටත් බන්ධනාගාර ගතකර සිටින 3 වැනි විත්තිකාර චමින්ද රවි ජයනාත් යන අය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට රැගෙන එන ලදි.

චූදිත දුමින්ද සිල්වාට ප්‍රතිකාර ලබාදුන් දෙස්‌ විදෙස්‌ රෝහල්වල වෛද්‍ය වාර්තා හා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වෛද්‍ය වාර්තාවට අදාළව දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පසුගිය නඩු වාරයේ අධිකරණයට දීර්ඝ විස්‌තරයක්‌ ඉදිරිපත් කළේය.

මේ අතරින් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වෛද්‍ය වාර්තාව තුළින් අධිකරණ ගත කර තිබූ නිර්දේශය සම්බන්ධව විනිසුරුවරයාගේ අවධානය යොමු වූ අතර චූදිත දුමින්ද සිල්වා අධිකරණය හමුවේ පෙනී සිටීම සම්බන්ධයෙන් තීරණය කිරීමට නැවත වෛද්‍ය වාර්තාවක අවශ්‍යතාවක්‌ නොමැති බව අවධාරණය කළේය.

නැවත නඩු විභාගය ජුලි 02 දිනට කල් තැබිණ.

නඩුවේ විත්ති පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන හේමන්ත වර්ණකුලසූරිය, ජයන්ත වීරසිංහ යන මහත්වරු හා නීතිඥ අනුජ ප්‍රේමරත්න, කීර්ති රණසිංහ, සංජීව ගමගේ ප්‍රේමසිරි පෙරේරා, වීරසේන රණහේවා, ආනන්ද හෙට්‌ටිආරච්චි, මධුර වෙල්ගම, තිසර චාමර යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ පෙනී සිටියහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මෙරිල් රංජන් ළමා හේවා මහතා සමග සහකාර පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතා පෙනී සිටියේය.

Gossip Lanka Hot News Previous News Archive