Pages

මිල කළ නොහැකි කිරිගරුඬ බුදු පිළිමය විසි දහසකට විකුණලා

මහනුවර, පිළිමතලාවේ පරනාගල රජමහා විහාරයේ තැන්පත් කර තිබූ කිලෝ ග්‍රෑම් 100 ක් බරැති මිල කළ නොහැකි කිරිගරුඬ බුදු පිළිමයක් රුපියල් 20,000 කට අලෙවි කර තිබියදී සැකකරුවන් දෙදෙනකු බුදු පිළිමයත්, ජීප් රථයක් හා ත්‍රිරෝද රථයක්ද සමගින් අත්අඩංගුවට ගැනීමට අලවතුගොඩ ‍පොලීසිය 01 දා රාත්‍රියේ සමත්ව ඇත. 

අලවතුගොඩ ‍පොලිස් ස්ථානාධිපති නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් ඔස්සේ පිළිමතලාව සහ ගම්‍පොල වැලිගල්ල ප්‍රදේශවලදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හික්කඩුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කර තිබියදී බුදු පිළිමය සොයා ගෙන ඇත. බුදු පිළිමය රුපියල් 20,000 කට ඇලෙවි කර තිබි ඇත. බුදු පිළිමය මිල දී ගත් ව්‍යාපාරිකයා වැටලීම සිදුකරන අවස්ථාවේ සිට නොමැති අතර ඔහු යාපනය ප්‍රදේශයට ගොස් සිටි බවත් පසුව අත්අඩංගුවට ගන්නා බවත් ‍පොලීසිය කියයි. පසුගිය වසරේ පෙබරවාරි මස 05 වෙනි දින විහාරය බිඳ පිළිමය පැහැරගෙන ගොස් තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. කිරිගරුඬ බුදු පිළිමයේ ඇති පෞරාණික වටිනාකම පිළිබඳව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය පතා ඇතැයිද ‍පොලීසිය කියයි. සැකකරුවන් මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 

මධ්‍යම පළාත් භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ගාමිණී අඹන්‍පොළ නියෝජ්‍ය ‍පොලිස්පති සී. බි. පෙරමුණේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි ගාමිණි ඇල්‍ලේ‍පොල, සහකාර ‍පොලිස් අධිකාරි චාමික ප්‍රේමසිරි යන නිලධාරින්ගේ උපදෙස් හා මග පෙන්වීම මත අලවතුගොඩ ‍පොලිස් ස්ථානාධිපති නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති නාරද වසන්ත, උප ‍පොලිස් පරීක්ෂක ආර්. එම්.එස්. බණ්ඩාර ‍පො. කො. විජේරත්න (32825), ලාන්සක්කාර (46343) යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.