ප්‍රභාකරන්ගේ මිතුරා බරපතළ වැඩ ඇතිව මාසයක් හිර ගෙදරට

 "අධි චෝදනා පහළොවක්"
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා සෘජුව සම්බන්ධ වී එම සංවිධානය වෙනුවෙන් නැව් මිලට ගෙන අවි ආයුධ සපයමින් තමා කළ ක්‍රියාකාරකම් සම්බන්ධව පශ්චත්තාප වෙමින් තමාට එරෙහිව වූ අධි චෝදනා 15 වෙනුවෙන් වරද පිළිගත් කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පාසල් මිතුරාට මසක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ඊයේ (16) නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විත්තිකරු වසරක කාලයක් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමටද නියම කළේය. ගුණසුන්දරම් ජෙයසුන්දරම් නමැති මෙම විත්තිකරු තමාට එරෙහිව වූ අධි චෝදනා 15ට වරද පිළිගැනීම මත ‍එම චෝදනාවනට විත්තිකරු වරදකරු බවට ප්‍රකාශ කළ විනිසුරුවරයා එම එක් එක් චෝදනාවට මසක බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එම සිරදඬුවම එකවර ගෙවීයෑමට සැලැස්වීය.

ඊයේ (16) මේ නඩුව කැඳවූ අවස්ථාවේ බන්ධනාගාරය මඟින් විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කැර තිබුණි.පෙර නඩු වාරයේදී විත්තිකරු අධිචෝදනා 15 වෙනුවෙන් වරද පිළිගනිමින් අධිකරණය හමුවේ දීර්ඝ ප්‍රකාශයක් ලබාදී තිබුණි.විත්තිකරු තමා සිදු කළ වැරදි සම්බන්ධයෙන් පශ්චත්තාප වෙමින් යහපත් පුරවැසියෙකු ලෙස සමාජගත වීම සඳහා පුනරුත්ථාපනය සඳහා යොමු කරන ලෙස අධිකරණයෙන් කළ අයැදීම සම්බන්ධව නීතිපතිවරයා අවධානය යොමු කරමින් විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කළ අධි චෝදනා 15 සංශෝධනය කළ බව සංශෝධිත අධිචෝදනා පත්‍රය අධිකරණය වෙත ඉදිරිපත් කරමින් රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා ඊයේ (16) පැවැසීය.
ඒ අනුව එම සංශෝධිත චෝදනා පත්‍රය අධිකරණ භාෂා පරිවර්තකවරිය ද්‍රවිඩ බසින් විත්තිකරුට කියවා තේරුම් කර දුන් අතර විත්තිකරු එම චෝදනා 15ට‍ වරදකරු බව ප්‍රකාශ කැර සිටියේය.
2005 ජනවාරි 01 වැනිදාත් 2007 සැප්තැම්බර් මස 05 අතර කාලය තුළ කොළඹදී, වන්නි ප්‍රදේශයේදී, වැල්වැටිතුරේ දී හා සිංගප්පූරුවේදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් අමෙරිකාවේ කොටි නායක ෂන්මුගසුන්දරම්, කාන්ගස්කරන් හෙවත් කරන්, එංගලන්තයේ කොටි නායක කනගරාජා ‍රවි ශංකර් හෙවත් ශංකර් නමැත්තන් සමග එක්ව යුදමය කටයුතු සඳහා කොටි සංවිධානයට අවශ්‍ය යුදමය උපකරණ ඇතුළු උපාංග මිලදී ගෙන සැපයීමට කුමන්ත්‍රණය කිරීම ඒ අනුව එම යුධෝපාංග මිලදී ගෙන සැපයීමට තැත් කිරීම ඇතුළු චෝදනා 15ක් යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම සංශෝධිත චෝදනා පත්‍රය මගින් චෝදනා නඟා තිබුණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 3 (ආ) වගන්තිය යටතේ මෙම විත්තිකරුට එරෙහිව මුලින් නීතිපතිවරයා විසින් අධි චෝදනා නඟා තිබූ අතර විත්තිකරු කොටි සංවිධානය හෙළා දකිමින් අධිකරණය හමුවේ කළ ප්‍රකාශයෙන් පසු නීතිපතිවරයා අදාළ චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 05 (අ) i වගන්තිය යටතට ගැනෙන වරදක් ලෙසට සංශෝධනය කරන ලදී.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් විත්තිකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී එහි අන්තර්ගත වූ විදේශ රටවලට ආයුධ ඇණවුම් කරමින් විත්තිකරු යැවූ ඊමේල් පණිවුඩ පදනම් කර ගනිමින් විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කරන ලද බවත් පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා පැවසීය.යුතු බව රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා ප්‍රකාශ කර සිටියේය.

නමුත් සංශෝධිත චෝදනා පත්‍රය අනුව විත්තිකරුට ලබාදිය හැකි උපරිම සිර දඬුවම අවුරුදු හතක් ලෙසට සඳහන් වුවද අවමයක් සඳහන් නොවන බවද ශමින්ද වික්‍රම මහතා අධිකරණයට දන්වා සිටියේය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ලංකාව සමඟ සිදු කළ යුද්ධයේදී ඔවුන් අමෙරිකාව, කැනඩාව, ජපානය, ස්විස්ටර්ලන්තය ආදී රටවල් සමඟද සබඳතා පවත්වමින් ආයුධ මිලට ගෙන ඇති බවත් ඒ පිළිබඳව එම රටවලින් තොරුතුරු හෙළි කර ගැනීමට අධිකරණ අමාත්‍යාංශය විදේශ කටයුතු අමාත්‍යෘංශය සමඟ එක්වී රෙගුටුවා ලිපි මඟින් කටයුතු කළ බව පැවසූ ශමින්ද වික්‍රම මහතා ඒ සම්බන්ධව මේ වන විටත් කටයුතු කරමින් සිටින බවද පැවසීය.

ස්විස්ටර්ලන්තය, කැනඩාව, සිංගප්පූරුව, ජපානය, පිලිපීනය ඇතුළු රටවල් රැසක් සමඟ ව්‍යාපාරික සබඳතා ඇති මෙම විත්තිකරු ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති සමයේ ත්‍රස්තවාදීන්ගේ භාවිතය සඳහා විත්තිකරු විසින් යුද උපකරණ මිලට ගැනීමට කටයුතු කර ඇති බව සිදු කළ විමර්ශන වලින් හෙළි වූ බවද ශමින්ද වික්‍රම මහතා පවසා සිටියේය.

විත්තිකරු වෙනුවෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා එම විදේශ රටවල් සමඟ දිගින් දිගටම සබඳතා පවත්වන බවත් ශමින්ද වික්‍රම මහතා පැවැසීය.

විත්තිකරු සිංගප්පූරුවේ සමාගම් දෙකක් මෙහෙයවන ලද බව හා එමගින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට සහාය වී ඇති බවද පැවසූ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා එම්.ටී. මෙන්ෂන් 07 නමැති නෞකාවද විත්තිකරුට අයත් හැරී මර්චන්ට් සමාගම නමින් මිලට ගත් නැවක් බවද අනාවරණය කර සිටියේය.

එම නැව මගින් විත්තිකරු එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවශ්‍ය ආයුධ ලංකාවට එවා ඇති බව පැවසූ ශමින්ද වික්‍රම මහතා 2009 වසරේ යුද්ධය අවසන් වූ පසු නාවික හමුදාව අතට පත්වූ 'ප්‍රින්සස් නිශාන්ත' යනුවෙන් සඳහන් වනුයේ එම නෞකාව බවද එය දැනට නාවික හමුදාවේ ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බවද ප්‍රකාශ කළේය.

එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් ඔහුට සහායවීම සම්බන්ධයෙන් පසුතැවිලි වන බව හා අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා සම්බන්ධව විරුද්ධ වන බව හා ශ්‍රී ලංකාවේ ඇතිවූ යුද්ධයේ භයානක ක්‍රියා නැවත ඇතිවනු දැකීමට ඔහු අකමැති බව විත්තිකරු කළ ප්‍රකාශය මත විත්තිකරුට එරෙහි චෝදනා සංශෝධනය කෙරෙහි අවධානය යොමු කළ බවද ශමින්ද වික්‍රම මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

අමෙරිකාවේ, නෝර්වේ හි එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත කටයුතුවල නියැළෙන කොටි නායකයින්ගෙන් ත්‍රස්තවාදය සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග නවතන ලෙස ආයාචනා කර සිටි විත්තිකරු එම ක්‍රියා මගින් දෙමළ ජනතාවට හොඳට වඩා හානියක් සිදුවන බව ප්‍රකාශ කළ බවද ශමින්ද වික්‍රම මහතා පැවසීය.

තවද කොටි ත්‍රස්තවාදීන් මූලික අයිතිවාසිකම් බිඳ හෙළමින් මූලික අයිතිවාසිකම් සුරකින්නන් ලෙසට පෙනී සිටීමට උත්සාහ කරන බවත් ප්‍රකාශ කර සිටි විත්තිකරු සියලු සාහසික ක්‍රියා හා ත්‍රස්ත ක්‍රියා වලින් වැළකී සිටින ලෙසට ජාත්‍යන්තර ප්‍රජාවගෙන්ද ඉල්ලා සිටි බව ශමින්ද වික්‍රම මහතා අධිකරණයට කරුණු තහවුරු කරමින් පැවසීය.

විත්තිකරු අධිකරණයට කළ ප්‍රකාශය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරමින් ත්‍රස්තවාදය හෙළා දකිමින් ජාත්‍යන්තර ප්‍රජාවගෙන්ද ත්‍රස්තවාදය හෙළා දකින ලෙසට ඉල්ලා සිටි බවත් කිසිදු තර්ජනයක් හෝ බලපෑමකින් තොරව මෙවැනි ප්‍රකාශයක් විත්තිකරු සිදු කිරීම ඉතා වටිනා කරුණක් ලෙස පැමිණිල්ල සලකන බවද ශමින්ද වික්‍රම මහතා පැවසීය.

තවද මේ කරුණු මත විත්තිකරුට උපරිම සිර දඬුවම නොවන ලිහිල් සිර දඬුවමක් ලබාදෙන ලෙසට හා විත්තිකරු පුනරුත්ථාපනය වීම සඳහා කළ ඉල්ලීම සලකා බලා යම් කාලයක් පුනරුත්ථාපනය හා යොමුවීමට නියෝගයක් ලබාදෙන ලෙසට රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා ඊයේ (16) අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කුඩා කළ සිටම විත්තිකරු කොටි නායක ප්‍රභාකරන්ගේ මිතුරෙකු බවත් ඔහු දමිළ ජාතිවාදී අදහසක් දැරූ‍ නිසා එවකට මෙම සංවිධානයට සහාය දැක්වීමට කැමැත්ත දක්වා ඇති බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පැවසීය.

මොහුට වඩා දරුණු ලෙස ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධව කටයුතු කළ පුද්ගලයින් ඔවුන් කළ වරද පිළිගැනීම මත සමාජගතවීමේ අවස්ථා සලසා දී ඇති බවත් දේශපාලන ප්‍රවාහයටද ඔවුන් අද පිවිස සිටින බවත් ප්‍රකාශ කළ අනිල් සිල්වා මහතා විත්තිකරු තමා සිදු කළ දේ සම්බන්ධව පශ්චත්තාප වෙමින් වරද පිළිගැනීම මත විත්තිකරුට ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටියේය.

විත්තිකරු චෝදනා පත්‍රය ඉදිරිපත් කළ මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම හා ස්වේච්ඡාවෙන්ම අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදු කිරීම විත්තිකරුට දඬුවම ලිහිල් කිරීම කෙරෙහි සලකා බලන බව විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේය.

තවද එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදු කළ ක්‍රියා හෙළා දකිමින් ජාතික හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කටයුතුවලට සම්බන්ධ නොවන ලෙසට අයැද සිටීමෙන් ත්‍රස්ත කටයුතු වලින් ද්‍රවිඩ ජනතාවට සිදුවන්නේ අයහපතක් බව විත්තිකරු ප්‍රකාශ කර සිටීමෙන් පෙනී යන්නේ විත්තිකරු ‍විසින් සිදු කළ ක්‍රියාවන්ට අවංකවම පශ්චත්තාප වන බව යැයිද විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේය. ත්‍රස්තවාදී ක්‍රියාවල නියැළෙන්නන්ට එම ක්‍රියා නවතන ලෙසට ජාත්‍යන්තර වශයෙන් විත්තිකරු කළ අයැදීමද චූදිතට දඬුවම් නියම කිරීමේදී සලකා බැලීමට අධිකරණය තීරණය කළ බව විනිසුරුවරයා සඳහන් කර සිටියේය.

විත්තිකරුගේ ප්‍රකාශය, ඔහු වරද පිළිගැනීම, වරදට පශ්චත්තාපවීම හා සාහසික ක්‍රියාවලින් වැළකෙන ලෙසට හා ඊට උපකාර නොකරන ලෙසට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් කළ අයදීමද විත්තියේ හා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණුද සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට එක් එක් චෝදනාවට මසක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.

එම සිර දඬුවම් එකවර ගෙවීයාමට සැලැස්වීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරු වසරක කාලයක් සඳහා පුනරුත්ථාපනය වෙනුවෙන් යොමු කිරීමට නියම කරමින් ඒ පිළිබඳව බන්ධනාගාර අධිකාරියටද දැනුම් දුන්නේය.

සුදුසු පුනරුත්ථාපන කඳවුරකට විත්තිකරු පුනරුත්ථාපනය සඳහා යැවීමට කටයුතු කරන ලෙස විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරියට ඊයේ (16) දන්වා සිටියේය.

විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටි අතර රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා පැමිණිල්ල මෙහෙයවීය.
උපුටා ගැනීම දිනමිණ පුවත්පත ඇසුරිනි

Gossip Lanka Hot News Previous News Archive