වෙසක් සමයේ ඔළුබක්කෝ නැටුවොත් වේවැල් පාර - Bodu Bala Sena

"වෙසක් දිනය සමරන ආකාරයත් අපිම රටට කියා දෙනවා"
වෙසක් උත්සව සමයේ ඔළුබක්කන් නැටීම වැනි නුසුදුසු ක්‍රියාවල යෙදුණොත් බොදුබල සේනා සංවිධානයේ හිමිවරු වේවැල ගෙන පාරට බසිනා බව එහි ප්‍රධාන ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවැසූහ.

 බෞද්ධ හර පද්ධතිය මත පදනම්ව ගොඩනැගුණු විශ්ව අනන්‍යතාවයන් ආරක්ෂා කර ගැනීම බෞද්ධයින්ගේ වගකීමක් බවද උන්වහන්සේ පැවැසීය. හිමියන් මෙසේ පැවැසුවේ ඊයේ (16) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිමියෝ, බුදුදහම අප ආරක්ෂා කරන්නේ හා ‍පෝෂණය කරන්නේ එය අප අනුගමනය කරන දහම නිසාම නොවෙයි. 

මේ ශ්‍රේෂ්ඨ දහම මිනිසා සතා සීපාවා ගහකොළ පරිසරය මහ‍පොළව ආදී සමස්ත ජීවී අජීවී පද්ධතියේම යහපැවැත්ම පිළිගන්නා ඒ යහපැවැත්ම තහවුරු කිරීම මගපෙන්වන දහමක් නිසයි. වෙසක් උත්සවය ප්‍රතිපත්තිය ප්‍රජාවට මුල්තැන දී පැවැත්විය යුතු වුවත් එහි කෙරෙන ආමිස කටයුතු බුදු දහමේ හර පද්ධතියට එකඟව කළ යුතුයි. හැම වර්ෂයකදී වගේම මෙවරත් වෙසක් උත්සවය සඳහා රජයේ චක්‍ර ‍ලේඛනය නිකුත් කර තිබෙනවා. බුදුසමයට නොගැළපෙන වත්පිළිවෙළත් සංස්කෘතික අනන්‍යතාවයට නොගැළපෙන දේ නොකරන ලෙස මෙම චක්‍ර‍ලේඛනයෙන් පෙන්වා දුන්නත් ඒවායේ අඩුවීමක් දක්නට නැහැ. 


වෙසක් කූඩු හා අනවශ්‍ය ‍ලේ වැකුණු වෙස් මුහුණු ආදිය වෙළෙඳාම වැළැක්විය යුතුයි. වෙසක් කූඩුව පිටරටින් ගෙනැවිත් වෙළෙඳ‍පොළට නිකුත් කිරීම නිසා නිර්මාණශීලී දරුවන් බිහිවන්නේ නැහැ. වෙසක් සමය කූඨ වෙළෙඳුන්ගේ රස මසවුලක් නොවෙයි. අපි බලධාරීන්ගෙන් අහනවා ඇයි මේවාට අවවාද නොදෙන්නේ කියලා. ඒ වගේම භික්ෂූන් වහන්සේලා නළුවෝ කරමින් වාණිජ පරමාර්ථයෙන් මාධ්‍ය භාවිතය නොකරන ලෙසත් අපි ඉල්ලා සිටිනවා. ටෙලි නාටක හා චිත්‍රපටවලට බුදු දහම හෑල්ලුවන ආකාරයෙන් බුදු දහමේ යෙදුම් හා නම් යෙදීම බෞද්ධයන්ගේ මුදල් ගසාකෑම සඳහා බුදු සිරිත හෝ බෞද්ධ ඉතිහාසයේ සිද්ධි පදනම් කරගෙන නිර්මාණය කරන චිත්‍රපට අප හෙළා දකින බව එය බුදුදහමේ නාමයෙන් කෙරෙන වංචනික වැඩක් බවද අවධාරණය කළ යුතුයි. 

ඒ වගේම වෙසක් උත්සවය විධිමත් කිරීමටත් එහි ඇති අශික්ෂිත දේ ඉවත් කිරීමටත් ආගමික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ජනමාධ්‍ය අමාත්‍යංශය ආදී වගකීව යුතු අමාත්‍යංශ ගන්නා වැඩපිළිවෙළද ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. තමන්ගේ ධනය යොදා දන්සල් දීම හා අනුන්ගේ මුදල් එකතු කර දන්සල් දීම කාරණා දෙකක්. කොළඹට ආසන්න ප්‍රදේශවල මහ වෙහෙර විහාර කරවූ අයට දන්සලට රුපියල් සියයක් නොදුන්නොත් කැලෑ පත්තර ගහනවා. රටක් ලෝකයක් ඉතිහාසයක් නොදන්නා ‍පොඩි ළමයින් දන්සල් කරන්න ගියාම වෙන්නේ එවැනි දේයි.

 වෙසක් උත්සවයට නාඩගම් නටන අවසන් වසර මෙය විය යුතුයි. බලධාරීන් පියවර නොගත්තොත් හලාල් සම්බන්ධයෙන් ජන මතය සකස් කළා සේ වෙසක් දිනය සමරන ආකාරයත් අපිම රටට කියා දෙනවා. මෙම අවස්ථාවට බොදු බලසේනා සංවිධානයේ ප්‍රධානී කිරම විමලජෝති හිමි හා වැඩසටහන් සම්බන්ධීකාරක දිලන්ත විතානගේ මහතාද එක් වූහ.

Gossip Lanka Hot News Previous News Archive