අපරාධ,මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ලෙසින් අර්ථකථනය නොකරන්න - Chief Justice

ත්‍රස්තවාදය තුලින් මතුවන අපරාධකාරී ක්‍රියා මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ලෙසින් අර්ථකථනය නොකරන්නැයි අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රකාශ කළේය.

වවුනියාව බන්ධනාගාරයේ ගැටුමෙන් අනතුරුව මිය ගිය ජී නිමලරූබන් ගේ මරණයට අදාලව ඔහුගේ දෙමාපියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීයි, අගවිනිසුරුවරයා එම ප්‍රකාශය කළේ.බන්ධනාගාර ගැටුම් ඇතිවෙන අවස්ථාවේදී නිලධාරීන්ට අවම බලයක් භාවිත කිරීමට සිදුවන බවත් එවැනි අවස්ථාවලදී තුවාල ඇතිවීම සාමාන්‍ය දෙයක් වන බවත් ඔහු පැවසීය.මියගිය නිමලරූබන් ගේ සිරුරේ තුවාල තිස් එකක් ඇතැයි වෛද්‍යවරුන් විසින් සොයා ගෙන ඇති බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා කියා සිටියේය.

ජී නිමලරූබන් ගේ මරණය හෘදයාබාධයකින් සිදුව ඇතැයි අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් තීරණය කොට ඇති හෙයින් පෙත්සම ඉවත දැමිය යුතු බවයි, රජයේ නීතිවේදියාගේ තර්කය වූයේ.පදනම් විරහිත සිද්ධීන් අන්තර්ජාතික තලයට ගෙන ගොස් රටට අපකීර්තියක් ගෙන ඒමෙන් වලකින්නැයි අගවිනිසුරු වරයා පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියාගෙන් ඉල්ලා සිටියේය.

එහෙත් තමන්ගේ දරුවාට කුමක් සිදුවුනේදැයි දැන ගැනීමට ඔහුගේ දෙමව්පියන්ට අවශ්‍යව ඇති හෙයින් මෙම පෙත්සම දිගටම විභාග කරන්නැයි පෙත්සම්කාර පාර්ශවය ඉල්ලා සිටි අතර මීළග දිනයේදී මේ පෙත්සම දිගටම විභාග කරනවාද නැද්ද යන්න තීරණය කරන බව අග විනිසුරු මොහාන් පීරිස් ප්‍රකාශ කළේය.

Gossip Lanka Hot News Previous News Archive