දැන් අලුත්ම සෙල්ලම තමයි විමලුන් ලවා කොස් ඇට බෑම - Dayasiri Jayasekara

"මේ දවස්වල තියෙන අලුත්ම සෙල්ලම තමයි විමලුන් ලවා කොස් ඇට බෑම. ඉස්සර තමයි බළලුන් ලවා කොස් ඇට බෑවේ. උතුරේ ඡන්දේ තියන්න ලෑස්ති කරලා තියෙනවා සැප්තැම්බර් මාසේ. ඉතින් අපේ විමල් වීරවංශ මහත්තයා ඔහේ කියවනවා" යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පැවැසීය. ඒ මහතා මේ අදහස් පළ කළේ පෙරේදා (19දා) වැලිමඩ ප්‍රදේශයේ එකසත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරීන් පිරිසක් අමතමිනි.

ඒ මහතා මෙසේද කීය,
"දැන් විමල් වීරවංශ මහත්තයා අදිනවා මෙහෙන් කචල් එක. 13 දුන්නොත් බලාගෙනයි. මම ක්‍රීම් කැකර් එක කාලයි උපවාසේ කරන්නේ කිය කියා කෑ ගහනවා. මම අහනවා තමුන්නාන්සේලාගෙන් ඔය විමල් වීරවංශ ඕවා කියන්නේ ජනාධිපති දන්නේ නැතුවද? ජනාධිපති කියලයි ඒවා කරන්නේ. මල්ලි උඹ ඕක හිමිහිට කියපන් කියනවා. ඉතින් විමල් ඔහේ කියවනවා. ජනාධිපතිතුමාට ඕනි දේවල් කරන්න ඉන්නවා එහේ වළං හෝදන කිහිපදෙනෙක්. ඒ අයට කන්න දංකුඩවත් නෑ. දැන් බලන්න නැඟෙනහිර ඡන්දය තියනකොට විමල් වීරවංශ ඔහොම කිව්වද? උතුර පරාද වන බව දන්න නිසයි විමල්ලා ඔහොම කෑගහන්නේ. ඔය විමල්ලා කියන තරම් ඉඩම් බලතල හෝ පොලිස් බලතල ගැන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔය කෑ ගහන්නේ ඡන්දය නොතියා ඉන්න.

මම හිතන විදියට මහින්ද මහත්තයා ඡන්දෙකින් පරද්දන්න බෑ. මහින්ද රාජපක්‍ෂව පරද්දන්න ඕනි පාරට බැහැලා ජන බලයකින් විතරයි. මිනිස්සු පාරට බහිනකොට තමයි ජනාධිපතිතුමාගේ කකුල් දෙක වෙව්ලන්නේ. ඒ නිසා කවුරුහරි හිතනවා නම් මහින්ද රාජපක්‍ෂව ඡන්දවලින් පරාජය කරන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැති දෙයක්. ඒ නිසා 2014 ඡන්දයක් ඉල්ලුවට වැඩක් නෑ. අපි ශක්තිමත් නොවී.

දැන් මහින්ද මහත්තයාගේ සල්ලි ගඟ හිඳිලා තියෙන්නේ. පාසලේ කෑම දීපු අයට දැන් මුදල් ගෙවන්නේ නැ. ඔවුන් හරි ප්‍රශ්නෙකට දැන් මුහුණපාල ඉන්නේ. ඒ වගේම තමයි සමහර පාරවල් කොන්ත්‍රාත් ගත්තු අයටත් තාම සල්ලි ගෙවලා නෑ. දැන් ඉතින් ඕකයි තත්ත්වේ. ආණ්ඩුවට මුදල් නැතුවයි ඉන්නේ. මම දන්න විදියට ජනාධිපතිතුමා ඉදිරි දින කිහිපයේදී ආපසු චීනයේ සංචාරයක යන්නයි හදන්නේ. චීනයෙන් කීයක් හරි හිඟාකාගෙන එන්න. දැන් චීන්නු මෙහේ කාලා තියෙන්නේ. දන්නවනේ අර වරායට කෝටි හයදාස් නවසීයයි. දැන් ඒක ඉබ්බෙක් දාලා වහලා. ගිය සතියේ පාර්ලිමේන්තුවෙත් මම කිව්වා. එතකොට මත්තලට වියදම් කළා කෝටි තුන්දහස් නවසීයක්. දැන් ඒකට මොකද වෙලා තියෙන්නේ. ගිය සතියේ මහියංගණයේ කාන්තාවක් විදේශ රටක ඉඳන් ලංකාවට පැමිණ තියෙනවා.එයා ගොඩ බැහැලා තියෙන්නේ මත්තලට. ඒ අම්මට ඕනි වෙලා තියෙනවා ගුවන්තොටුපොළේ ඩියුටි ෆී්‍රවලින් බඩු ගන්න. ඒත් මත්තල ඩියුටි ෆී්‍ර කඩ නෑ. ඉතින් ඒ අම්මා ගොඩක් අසරණ වෙලා. අවුරුදු 5ක් විදේශගතව හිඳ ඇවිත් අන්තිමේදී බලාපොරොත්තු සුන් වුණා. ඕන් විකසිත අනාගතයක හැටි. මේ වන විට මත්තලින් බැහැලා ගිහින් තියෙන්නේ දෙසිය හතළිස් හය දෙනයි. බලන්න දැන් විවෘත කරලා මාස කීයද කියලා කිව්වේ නම් කොහොමද. එයාර් ඇරබියා එනවා කිව්වා.

බි්‍රටිෂ් එයාචේස් එනවා කිව්වා එකෙක්වත් එන්නේ නෑ. මොකක්ද දැන් කරන්නේ. අපේම ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් යානා කටුනායකින් නග්ගලා ආපහු මත්තලින් බාලා ඉන් පස්සේ ආයේ නග්ගලා යන්න ඕනි රටට යනවා. ඔන්න ඕකයි තත්ත්වේ. ලෝකයේ එකම රට තමයි ළඟම තියෙන එයාර්පෝට්වල අහස් යානා බස්සන අපේ රට. ඉතින් කියනවා සුබ අනාගතයක් කියලා. මම හිතන විදියට මහින්ද රාජපක්‍ෂ මහත්තයා පොඩි කාලේ කල්පනා කරන්නෙ ඇති මේක කර්කශ පැත්තක්. කවදාහරි මම මෙහෙන් නැඟලා යන්න ගුවන් තොටුපළක් හදනවා කියා. ඉතින් එයාගේ බලාපොරොත්තුවට අපි කෝටි තුන්දහස් නවසීයක් ගෙවන්න ඕනි.


මැයි පළමුවැනිදා කියන්නේ කම්කරු දිනය සමරන වැදගත් දිනයක් බව අපි දන්නවා.හැබැයි එදාට කියන්න තිබුණේ මෝඩයාගේ දිනය කියලයි. එදා මොකද වුණේ ජනාධිපතිතුමා ආවා. කිව්වා 1 ඉඳන් 60 දක්වා ශත 6ක්වත් වැඩියෙන් ගෙවන්න ඕනි නෑ කියලා. ගැහැව්වා කට්ටිය අත්පුඩි. බත් පැකැට් එකටයි රුපියල් පන්සීයටයි ආපු අය. කම්කරු දිනය සැමැරීම පැත්තකට තියලා කම්කරුවෝ ටික ගොනාට අන්දපු එකයි එදා කෙළේ. මම ඇයි එහෙම කියන්නේ. විදුලිබල මණ්ඩලයෙන් වැඩි කරපු එක ජනාධිපතිතුමා ආයේ වැඩි කළා. ඒකක 60 වෙනකම් වැඩි නොවුණාට 60 පැනපු ගමන් එක ඒකකයට 30%ක් විදුලි බිල වැඩි වෙනවා. ඉතින් අපේ අය අත්පුඩි ගහනවා. ඒ අයට විදුලි බිල ආවමයි අත්පුඩි ගහපු එක තේරෙන්නේ යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

Gossip Lanka Hot News Previous News Archive