දොස්තර ජයලත් ජයවර්ධන අභාවප‍්‍රාප්තවෙයි -Dr. Jayalath Jayawardena passes away

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා අද (30) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. 


පසුගියදා හෘදයාබාධයකට ගොදුරු වු දොස්තර ජයලත් ජයවර්ධන මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලද අතර පසුව අසාධ්‍ය තත්වයට පත්වීම නිසා විශේෂ ගිලන් ගුවන් යානයකින් සිංගප්පුරුවේ මවුන්ට එලිසබෙත් රෝහල වෙත රැගෙන යනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ජ්‍යේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම නියොජ්‍ය මහ ලේකම් වරයෙකුද වු දොස්තර ජයලත් ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වන විට එම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියේය.මියයන විට 59 හැවිරිදි වියේ පසුවු ජයවර්ධන මහතා ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වෙයි.කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලත් ජයලත් ජයවර්ධන මහතා ඇමරිකාව සහ රුසියාව යන රටවල පශ්චාත් උපාධි සම්පුර්ණ කර තිබේ.ජයලත් ජයවර්ධන මහතා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පවුලේ වෛද්‍යවරයා ලෙසද කලක් කටයුතු කලේය.

 තරුණ අවදියේදීම රතුකුරුස සංවිධානය සහ වෙනත් රාජ්‍ය නොවන සංවිධාන රැසක් සමග එක්ව සමාජ සේවා වල නිරත වු ජයවර්ධන මහතා වර්ෂ 1994 දී පාර්ලිමේන්තුවට තේරී පත්විය.පසුව 2002 දී එක්සත් ජාතික පක්ෂ රජයේ පුනුරුත්ථාපන,නැවත පදිංචි කිරීම් සහ සරණාගත කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වු ඒ මහතා පසු කලක එල්ටීටීඊ තර්ජන පවතින සමයේ තර්ජිත ගම්මාන වලට සයිරන් නල බෙදා දිමේ වැඩපිලිවෙලකද නිරත විය.
වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා දීර්ඝතම රූපවාහිනී සෞඛ්‍ය වැඩසටහන ඉදිරිපත් කරමින් වර්ෂ 2010 දී ගිනස් වාර්තාවක්ද පිහිටුවා තිබේ.

සිංගප්පූරුවේදී අභාවප්‍රාප්තවූ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ දේහය අද (30) සවස ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිතව තිබේ. ඒ පිළිබඳ සියලු කටයුතු මේවන විට සූදානම්ව ඇති බව පවුලේ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව මන්ත්‍රීවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 03 වන සඳුදා දින ජා-ඇළ, වැලිගම්පිටියේදී සිදුකිරීමට නියමිතව ඇත.

ජයලත් ජයවර්ධන මහතාගේ හදිසි අභාවය සමගින් පුරප්පාඩු වන මන්ත්‍රී අසුනට මීළඟට පත්වනු ඇත්තේ ගම්පහ හිටපු නගරාධිපතිවරයෙකු මෙන්ම මේවන විට බස්නාහිර පළාත් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අජිත් මාන්නප්පෙරුම මහතාය.


Gossip Lanka Hot News Previous News Archive