විජයග්‍රහණ‍යේ සිව්වැනි සැමරුම - Fourth Anniversary Since Defeating Terrorism

 "සෑම නිවසකම පහනක්‌ දල්වන්න"
රණවිරුවන් 6261දෙනකු දිවිපිදූ වන්නි මෙහෙයුමේ සිව්වැනි විජයග්‍රාහී සමරුම් උත්සවය අද (18 දා) පෙරවරු 8.00 ට මහත් අභිමානයෙන් යුතුව කොළඹ ගාලු මුවදොර පිටියේදී ආරම්භ වෙයි.ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම සමරුවට ආරක්‍ෂක අංශ සාමාජිකයෝ එකොළොස්‌ දහසකට අධික පිරිසක්‌ එක්‌වෙති.මෙම සිව්වැනි විජයග්‍රහණ සමරු ආචාර පෙළපාලියේදී යුද, නාවික හා ගුවන් හමුදා යුද්ධයේදී භාවිත කළ මල්ටිබැරල්, රොකට්‌ යන්ත්‍ර, ගබ්රියෙන් මිසයිල, නියමුවකු රහිත සර්චර් යානා, සන්නද්ධ රථ සහ වෙනත් යුද උපකරණ ද ගෙන යනු ඇත.

මේ හැර එම්. අයි. 24 ප්‍රහාරක හෙළිකොප්ටර්, ඇරෝ වර්ගයේ සහ වේව්රයිචන් වර්ගයේ නාවික යාත්‍රා 20 ක්‌ ප්‍රහාරක යාත්‍රා 12 ක්‌ සහ කපිර් හා මිග් යානා ද යොදා ගැනේ. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්‌පති, සිවිල් ආරක්‍ෂක බලධාරීහු හා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු රැසක්‌ මේ විජයග්‍රහණ සමරුමට සහය වෙති.මේ සැමරුම මහජනතාවට ද නැරඹිය හැකිය. මෙදින සවස 4.00 ට ජාතික රණවිරු උත්සවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් ජයවර්ධනපුර කෝට්‌ටේ රණවිරු ස්‌මාරකය අබියසදී සිදු කෙරේ.

දිවිපිදූ රණවිරුවන් සිහිකිරීමට අද පහනක්‌ දල්වන ලෙස හා විනාඩියක නිශ්ශබ්දතාවක්‌ රකින ලෙස රණවිරු සේවා අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.



"රට රැක්ක රට නඟන විරු සවිය"
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් - ජගත් ජයසූරිය

වසර තිහක කුරිරු යුද්ධය අවසන්වී ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කරමින් මීට සිවු වසරකට පෙර මෙරට පැවැති අවිනිශ්චිත තත්ත්වයෙන් රට මුදා ගැනීමට කැපවූ රණවිරුවන් සිහිපත් කරමින් අද සමරන විජයග්‍රාහී දිනය සහ ඔවුන්ට දක්වන උතුම් උපහාරය පිළිබඳ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා සමඟ කළ කතාබහකි මේ.

වසර 30ක යුද්ධයක් පැවැති රටක යුද්ධය අවසන් කර වසර 4ක් ගත වන මේ මොහොතේ පසුගිය වසර 4 දෙස හැරී බැලීමේදී යුද්ධයක් අවසන් වූ කිසිදු රටක හමුදාවක් සිදු නොකළ සමාජ සද්කාරයක් යුද හමුදාව විසින් සිදු කිරීම පිළිබඳව දැඩි සේ සතුටට පත්විය යුතුයි.

මෙහිදී ප්‍රධාන තැනක් ගනුයේ උතුරු නැගෙනහිර යුද්ධය නිසාවෙන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ බලපෑම්වලට ලක් වී අවතැන්වූ ලක්ෂ තුනකට ආසන්න උතුරු නැගෙනහිර සියලුම ජනතාව නැවත පදිංචි කිරීම හා ඔවුන්ගේ සුබ සාධන කටයුතු සඳහා යුද හමුදාව ලබා දුන් දායකත්වයයි.
යුද්ධය අවසන් වීමට ආසන්න කාලයේ කොටි නායකයාගේ ගැලවීම පිණිස පළිහක් ලෙස යොදා ගත්තේ අහිංසක සාමාන්‍ය ජනතාවයි.කොටින්ගේ දැඩි හිරිහැරවලට ලක්වෙමින් සිටි එම ජනතාව මුදා ගැනීමට හමුදා රණවිරුවන් තම ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ මොහොතේ පටන් යුද්ධය අවසන් වී වසර 4ක් ගතවන මේ මොහොත වනවිටත් ඔවුන් වෙනුවෙන් සිදු කරන්නාවු සේවය අප්‍රමාණය.

උතුරු නැගෙනහිර ප්‍රදේශය තුළ බිම් අඟලක් ගානේ වළදමා තිබූ බිම් බෝම්බ ඉවත් කරමින් කැඩී බිඳී විනාශ වී ගිය ගේ දොර නැවත තනා දෙමින් ද්‍රවිඩ ජනතාව යළි පදිංචි කරවීමට හමුදාව කරන මෙහෙය අප්‍රමාණය.අද වන විට සියලු හිංසා පීඩා කරදරවලින් තොර නිදහස් ජීවිතයක් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජාතීන්ට හිමිවී තිබේද ඒ තත්ත්වය උදාකර ගැනීමට හමුදාව කළ කැපවීම මේ රටේ ජනතාවට ජාති ආගම් භේදයකින් තොරව අගය කළ හැකි යුද හමුදා රණවිරුවන්ගේ ශ්‍රේෂ්ඨ බව කියාපෑමක්ද වෙයි.

ලබාගත් නිදහස සුරක්ෂිත වන්නේ රට ස්වෛරීභාවයට පත් වූ විටය. ඒ සඳහා රට දැවැන්ත සංවර්ධන ඉලක්ක කරා පියවර තබා තිබේ.යුද්ධයෙන් පසු රට මෙතරම් විශාල සංවර්ධනයක් කරා යාම දකින ලෝකයා අද පුදුමයට පත් වෙන්නේ රටක යුද්ධය පමණක් නොව සංවර්ධනය වෙනුවෙන්ද මෙරට හමුදා රණවිරුවන් දක්වන දායකත්වය දැකීමෙනි.

යුද්ධය අවසන් වී රණවිරුවා බැරැක්ක තුළට දැමීම ඕනෑම රටක සිදුවන්නකි. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් රණවිරුවන් බැරැක්කවලට සීමා නොකර ඔවුන්ගේ දක්ෂතා රටේ සංවර්ධනයට ඉවහල් කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් රණවිරු ශ්‍රමයෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් සාර්ථකව සිදු කර ගැනීමට හැකි වී තිබේ.රණවිරුවන් දේශයට නිදහස උදා කිරීමට කළ කැප කිරීම්වලට නොදෙවෙනි වෙන්නාවූ කැප කිරීමක් රට සංවර්ධනය තුළින් ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට දැඩි කැපකිරීමක් ලබා දෙයි. රජයත් රටේ ජනතාවත් යුද හමුදාවට ඒ වෙනුවෙන් දක්වන්නාවු ප්‍රශංසාව අපට මහත් ආඩම්බරයකි.

අද දවසේ සමරන්නේ තිස් වසරක් පුරා ත්‍රස්තවාදයෙන් රට ගලවාගැනීමට ගොස් ජීවිතය පූජා කළ, අතුරුදන්වූ ආබාධිත වූ සහ තවමත් ක්‍රියාකාරී සේවයේ යෙදී සිටින සෑම රණවිරුවකුටම මේ රටේ රජයත් ජනතාවත් දක්වන්නාවු උපහාරය පෙන්වීමටය.

අවසන් විජයග්‍රහණය ලබා සිවු වසරක් ගත වන මේ මොහොතේ ඔවන් සමරා දක්වන මේ උපහාරය කිසිදු යුද්ධයක් අවසන් කළ රටක දක්නට නැති කෘත ගුණ සැලකීමකි. මේ රටේ ජනතාවගේ හදවත් තුළ ජීවත් වන රණවිරුවා එදා ඒ කළ කැපවීම මේ රටේ කිසිවකුටත් කිසිදා අමතක නොවන්නකි.

දශක තුනක් ත්‍රස්තවාදය පැවතුනත් මෙම කුරිරු යුද්ධය අවසන් කිරීමේ හැරවුම් ලක්ෂය වූයේ 2005 වසරේ සිට යුද්ධය අවසන් වූ 2009 වසර තෙක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් දේශපාලන නායකත්වයයි. යුද්ධය අවසන් වීමටත් පෙර සිටම විජයග්‍රහණයෙන් පසු රට ඊළඟට කළ යුත්තේ කුමක් ද රණවිරුවා ඊළඟට යොමුකළ යුත්තේ කුමකටද යන්න පිළිබඳ සැලසුමක් විය.

සමස්ත ලෝකයා මේ රට ආශ්චර්ය කරා යන ගමන කෙරෙහි මවිතයට පත් වී සිටින්නේ එම සැලසුම සාර්ථකව සිදුවීම නිසාය.’ රටේ නායකයා ලෝකයේ සෙසු ජනතාවට ආදර්ශමත් ව කරගෙන යන මේ කැපවීම රටේ සෙසු නායකයන්ට ආදර්ශයකි.ජනතාවට යුද බියෙන් තොර නිදහස් සාමකාමී රටක් ලබාදීම මෙන්ම ඔවුන්ගේ අනාගතය සුබවාදි එකක් බවට පත් කිරීමට කරගෙන යන මෙම දැවැන්ත සංවර්ධනයේ ප්‍රතිඵල අද මේ වනවිටත් මේ රටේ ජනතාවට භුක්ති විඳීමට අවස්ථාව ලැබී ඇත. මේ රට තුළ උපදින ඉදිරි දරු පරම්පරාවගේ අනාගතයේ සාර්ථකත්වය කොයිතරම් ද යන්න දැනටමත් ලෝකයාට සියැසින්ම චක ගැනීමට හැකි වී තිබේ.

ආසියාවේ ආශ්චර්ය කරා ශශ්‍රී ලංකාව යන ගමනේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලු දායකත්වය ඉදිරියටද ලබා දීමටත් මෙම ජාතික යුතුකම ඉටු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ප්‍රාර්ථනා කරයි.

සටහන
විජයානි එදිරිසිංහ
දිනමිණ පුවත්පත ඇසුරිනි

Gossip Lanka Hot News Previous News Archive