මම මහින්ද අංකල්ගෙන් වරදාන වරප්‍රසාද බලාපොරොත්තු වෙන්නේ නෑ - Hirunika Premachandra

"නීතිය සාධාරණත්වය වෙනුවෙන් නම් මං චන්ද්‍රිකාට උනත් උදව් කරනවා"

ප්‍රශ්නය - මේ වෙනකොට ඔබේ ජනප්‍රියත්වය අඩුවෙලා කියලා ඔබ පිළිගන්නවාද?

පිළිතුර - ඔව්. ඒක ඇත්ත... ජනප්‍රියත්වය ටික ටික අඩුවීගෙන යනවා. නමුත් අද වෙනකං මට හැකියාව ලැබිල තියෙනවා... හැබැයි තාත්තාගේ ඝාතනය ගැන අධිකරණ ක්‍රියාවලියත් සමගම මම වරින් වර ඉස්‌මතු වෙන චරිතයක්‌ වෙලා... ඒ නිසා ජනප්‍රියත්වය නැත්තටම නැතිවෙලා නෑ.තාත්තාගේ ඝාතනයත් සමගම ඊට එරෙහිව නැගුණු රැල්ල ටිකෙන් ටික අඩු වෙන්න හේතුව මට එරෙහිව නැගෙන මඩ ප්‍රහාර... මුළු රටම බලාගෙන හිටියේ මා දිහා, තාත්තා නැතිවුණු දුවෙක්‌ වගේ. ඊළඟට වැඩි දෙනෙක්‌ බැලුවේ මම ගන්න දේශපාලන ක්‍රියාදාමය දිහා. ජනප්‍රියත්වය අඩුවෙන්න ඒකත් හේතු වුණා.

ප්‍රශ්නය -මේ ජනප්‍රියත්වය තුළ ඔබ හිස උදුම්මවාගත් චරිතයක්‌ බවට පත්වුණා. ඔබ යම් යම් අයට පහර දෙන්නට පවා පෙළඹුනා.

පිළිතුර - නෑ.... ඒ සිද්ධියේ ඇත්ත තත්ත්වය මේ වෙන තෙක්‌ පත්තරේකට කියලා නෑ. මම අද කියනවා.... මගේ තාත්තාට අයිති බොරැල්ලේ ඉඩමක්‌ තිබුණා. එහි ගොඩනැඟිල්ලක්‌ තිබුණා.
ඒක තමයි අපිට තිබුණ එකම ආදායම.. ඒ ගොඩනැඟිල්ලට අනෙක්‌ පස ගොඩනැඟිල්ලට යන පාර නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්‍ෂණයට යටත්ව අලංකාර කළ යුතුයි. අපි එහි මල් හිටවලා ලස්‌සනට තියා ගත්තා. නමුත් අනික්‌ පැත්තේ ගොඩනැඟිල්ලේ හිමිකරු ඒ පැළ ගලවලා දානවා. විශේෂත්වය වුණේ තාත්තා ඉන්න කාලේ එකම ප්‍රශ්නයක්‌ ආවේ නැති එකයි. ඊට පස්‌සේ මේ පුද්ගලයා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට කියනවා අපි ඒ පාර ලස්‌සනට තියාගන්නේ නෑ කියලා. මේ ගැන කතාබහ කරගන්න ගිහින් මම ඒ පුද්ගලයාට එළියට අඬගැහුවා. ආවේ නැති නිසා මම ඇතුළට ගිහින් කතා බහ කළා.
ඒක ටිකක්‌ දුර දිග ගියා. ඇත්තටම ඒ සිද්ධිය වෙන්න කලින් මේ තත්ත්වය ගැන අපි නිතර පොලිසියට පැමිණිලි කළා. ඒ අය ඇක්‌ෂන් එකක්‌ ගත්තේ නෑ. ඒ ඇරෙන්න මට හිස උදුම්මවාගන්න දෙයක්‌ නෑ. ඇත්තම කතාව තමයි අපේ තාත්ති වගේ බලවත් කෙනෙක්‌ අපිට අහිමි වෙච්ච ගමන් මේ මිනිස්‌සු ගෑනු අපිට අකටයුතුකම් කිරීම. ඇත්තටම පසුගිය කාලේ අපි තේරුම් ගත්තා කවුද අපිට හිතවත්, කවුද ඇත්තටම අවංකව තාත්තාට ආදරය කළේ කියලා.

ප්‍රශ්නය - ඔය "හිතවත්" කියන ගොඩේ ජනාධිපතිවරයා ඉන්නවාද?

පිළිතුර - ඇත්තටම.. ඒ පවුලත් අපි අතරත් තිබුණේ දැඩි බැඳීමක්‌. හැබැයි තාත්තා නැති වෙනකොට ඒ තිබ්බ බැඳීම එහෙම්මම තිබුණද කියන්න මම දන්නේ නෑ. ඒ ගැන මට විශ්වාසයක්‌ නෑ.. දැන්නම් එහෙම සම්බන්ධයක්‌ නෑ.

ප්‍රශ්නය - ඒ කතාව වැරැදියිනේ... ඔබ ආණ්‌ඩුව නොසලකන ස්‌වභාවයක්‌ පෙන්නන්න ගියත් ඔබ දැන් මේ කතා කරන නිවසට ආරක්‍ෂාව දීලා තියෙනවා.. අපි දැක්‌කා ඔබේ පවුලේ අවශ්‍යතා මොනවද කියන එක ජනපතිවරයා කියන්න කියලා තිබුණ බව..

පිළිතුර - ඇත්තටම කිව්වොත් මම මහින්ද අංකල්ගෙන් බලාපොරොත්තු වෙන්නේ වරප්‍රසාද වරදාන නොවෙයි. මගේ තාත්තාගේ ඝාතනය ගැන සාධාරණයක්‌. ඔහු මාව ළඟින්ම දන්න කෙනෙක්‌. ඒත් ඔහු මේ දිහා බලන්නේ දේශපාලනිකව...ගිය කෙනා ගියා ඉන්න කෙනා ආරක්‍ෂා කරගන්න ඕන කියන න්‍යායයි දැන් තියෙන්නේ. මාත් තාත්තාත් අතර තිබුණු බැඳීම ඔහු දන්නවා. ඔහුත් පියෙක්‌ වගේ මේ ප්‍රශ්නය දිහා බැලුවොත් ඔහුට ඒ තත්ත්වය තේරේවි. ඒ හැර මට ඔහු සමග පෞද්ගලික තරහක්‌ නෑ.

ප්‍රශ්නය - ඔබ සෘජුව කියනවාද ඔබේ පියාගේ ඝාතනයේ සැකකරුවන්ට ජනාධිපතිවරයා උදවු කරන බව...

පිළිතුර - මෙහෙමයි... මේ සිද්ධියේ මුල ඉඳලම ගත්තොත් අධිකරණය පවා කිව්වේ සිද්ධිය වූ තැනදීම සැකකරුවන් අත්අඩංගුවට ගත හැකිය කියන එකයි. ඊළඟට මේ පුද්ගලයා ඇතුළත් කළ රෝහලේ සම්පූර්ණ තට්‌ටුවක්‌ ඔහු යටතේ තිබුණේ.... ආරක්‍ෂාවට හිටියේ පොලිසිය නොවෙයි ඔවුන්ගේ පෞද්ගලික ආරක්‍ෂකයින්. ඊට පසුව සිදුවූ හැම දෙයක්‌ම විශ්වාස කළ නොහැකි දේ... සිංගප්පූරුවට ගිය සැකකරු ලංකාවට නැවත පැමිණි පසු සිදුවූ දේවල් පවා විශ්වාස කළ නොහැකි දේ. ඔහුගේ පාර්ශ්වයෙන් කිව්වේ ඔහුගේ මොලයේ හරි අඩක්‌ ක්‍රියා නොකරන බවක්‌, විෂබීජ යන්න හොඳ නෑ කියපු බවක්‌... එහෙම කියූ සැකකරු ඊට පහුවැනිදා ඇප ලැබිලා රෝහලෙන් එළියට එනවා. ඒ ආපු ගමන් එයා කියන්නේ මොකක්‌ද?

"මම ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ගන්න යනවා" කියන එක.

එතකොට ඔහු ව්‍යංගයෙන් කියන්නේ අපරාධයක්‌ කරපු පුද්ගලයකුට ජනාධිපතිවරයා ආශිර්වාද කරනවා කියන එකද? ඇත්තටම එතැනදී ආණ්‌ඩුව දැඩි ලෙස අප්‍රසාදයට පත්වුණා. දැන් ඒ අය මට නඩු දාන්න යනවා අධිකරණයට අපහාස කළා කියලා. මේ සිද්ධි දාමය විමර්ශනය කරන කෙනකුට තේරෙනවා කවුද අධිකරණයට බොරු කියලා අපහාස කළේ කියලා.

ප්‍රශ්නය - පහුගිය දිනවල අපි දැක්‌කා දුමින්ද සිල්වාගේ පාර්ශ්වයෙන් ඔහුගේ රෝගී තත්ත්වය ගැන සවිස්‌තරාත්මක වාර්තාවක්‌ එක්‌ක ඡායාරූප රැසක්‌ මාධ්‍යයට නිකුත් කර තිබුණා. ඔබ කියන්නේ ඒවත් බොරු ඒවද?

පිළිතුර - ඒ කියන වෛද්‍යවරු ඔවුන්ගේ ප්‍රකාශ අපි දැක්‌කේ නෑ. ඔහු තවමත් මේ රටේ ආරක්‍ෂක අධීක්‍ෂණ මන්ත්‍රී. මේවා කියන්නේ අපි නෙවෙයි. එතකොට පොලිසිය, රහස්‌ පොලිසිය ඔහුට විරුද්ධව වැඩ කරයිද? ඔහුට විරුද්ධව ප්‍රකාශයක්‌ කරයිද? මීට පෙර මහෙස්‌ත්‍රාත්තුමා පැහැදිලිවම කියා සිටියා මගෙන් වරෙන්තුවක්‌ ගන්න සුදුසු දෙයක්‌ නොවෙයි මේක, ඝාතනයක්‌ කියලා. ඝාතනයකදී පොලිසියට සෘජුවම ක්‍රියා කරන්න පුළුවන්.

ප්‍රශ්නය - අපි ඔබෙන් ඇහුවේ මේ පවුලේ අය කළ ප්‍රකාශය පිළිගන්නේ නැද්ද?

පිළිතුර - නෑ.. මම පිළිගන්නේ නෑ.

මේක තෙවැනි පාර්ශ්වයක්‌.. එහෙම නැත්නම් මධ්‍යස්‌ථ පුද්ගලයකු ඒ වාර්තා බලලා ඒ ගැන සඳහන් කරන තෙක්‌ මම විශ්වාස කරන්නේ නෑ. මේ වෙනකොට කිසිවෙක්‌ මධ්‍යස්‌ථ නෑ.

ප්‍රශ්නය - නමුත් දුමින්ද මේ වෙනකොට උසාවි එනවා. මේ මූලික ක්‍රියාදාමය ගැන ඔබට අවිශ්වාසයක්‌ තිබෙනවාද?

පිළිතුර - මේක පටන් ගත්ත තැන ඉඳලා අපිට වෙච්ච අසාධාරණය නිසා දැන් වෙන දේ ගැන මට කොහෙත්ම කියන්න බෑ. කතාවට කියනවා Deක්‌හ Jමිඑසජැ භද Jමිඑසජැ කියලා.. යුක්‌තිය පමාවූ තැන යුක්‌තියක්‌ බලාපොරොත්තු වෙන්න බෑ.

ප්‍රශ්නය - හැබැයි භාරත එක්‌ක හිටපු අය බොහෝ දෙනෙක්‌ අද ඔබ එක්‌ක නෑ. ඔබ මේ වෙනකොට ඉන්නේ විරුද්ධ පක්‍ෂය සනසන තැනක.. ඒ තාත්තා නියෝජනය කරපු දේශපාලන මතවාදය නොවෙයි. මේක කොහොමද අපි තේරුම් ගන්න ඕන.

පිළිතුර - කවුරුත් මගෙන් අහලා නෑ ඇයි මම මහජන පක්‍ෂය තෝර ගත්තේ කියලා. මම ඒ පක්‍ෂය තෝරා ගත්තේ මට ස්‌වාධීනව ඉන්න ඕන නිසා. මහජන පක්‍ෂය කියන්නේ ආණ්‌ඩුවට සම්බන්ධ පක්‍ෂයක්‌ තමයි. හැබැයි මට ස්‌වාධීනව ඉන්න පුළුවන්. අනික මේ රටේ දේශපාලනයේ හිටපු ප්‍රවීණයන් රැසක්‌ එක්‌ක තාත්තලා හරි අමාරුවෙන් ඔය පක්‍ෂය හැදුවේ. ඒ හැර විරුද්ධ පක්‍ෂය සනසන තැනක මම නෑ.

සාකච්ඡා කළේ

මනෝඡ් අබයදීර, උදේශ සංජීව ගමගේ

Gossip Lanka Hot News Previous News Archive