Pages

මැජික්වලට, ප්‍රබන්ධවලට රැවටෙන්න එපා - JVP

 විදුලි බිල වැඩිවීම ආණ්ඩුවේ නිර්මාණයක්...
විදුලි බිල වැඩිවීම ආණ්ඩුවේ තීන්දු තීරණ මත සිදුවූවක් බැවින් විදුලි බිල අඩුකිරීම වැනි මැජික්වලට ප‍්‍රබන්ධවලට රැවටෙන්න එපා යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සහ ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී වූ, පැලවත්ත බත්තර මුල්ල පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද (02) පසුවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අනුර දිසානායම මහතා මේ බව පැවසීය.

එහිදී ඒ මහතා දැක්වූ තවත් අදහස් පහත පළ‍ වේ.

"විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සිදුවීම් සිදුවෙමින් තිබෙනවා. වැඩිකිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ තර්කය වුනේ විදුලිබල මණ්ඩලය රු. බිලියන 59ක් පාඩු ලබන බවයි. එය පියවා ගැනිම සඳහා මෙම වැඩිකිරීම අනිවාර්යක් බව ආණ්ඩුව කිව්වා. සැබවින්ම විදුලිබල මණ්ඩලයේ පාඩුවට ජනතාව වගකිවයුතු නැහැ. ජනතාව එම පාඩුව ගෙවියයුතු නැහැ.


අපේ රටේ විදුලි නිෂ්පාදනයෙන් 60% සිදුකරනු ලබන්නේ ඛනිජ තෙල් සහ ගල් අගුරුවලින්. එම අමුද්‍රව්‍ය ආනයනයේදී අපට ගෙවීමට සිදුවන්නේ ඩොලර්වලින්. ආණ්ඩුව පහුගිය කාලයේ අයි.එම්.එෆ්. කොන්දේසි වලට අනුව රුපියල පා කර හැරියා. ඩොලරයට 110ක් ගෙවිය යුතු වූ මුදල රුපියල් 130 දක්වා වැඩිවුණා. විදුලිබල මණ්ඩලයේ මෙම පාඩුවට රුපියල පා කිරීම ප‍්‍රධාන සාධකයක් වුණා. මේ වනවිට ගණනය කොට තිබෙනවා ගල් අගුරුවලට හා තෙල්වලට රුපියල පාකිරීම නිසා ගෙවිය යුතු අමතර පිරිවැය රුපියල් බිලියන 33ක් කියලා. මෙම රුපියල පා කිරීමේ තීරණය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ගත් තීරණයක්.

ඊට අමතරව විදුලිබල මණ්ඩලය විසින් පෞද්ගලික විදුලිබල සමාගම් සමඟ ගිවිසුම්වලට එළඹී තිබෙනවා. එම ගිවිසුම්වලට අනුව විදුලිය නිෂ්පාදනය කළත් නොකළත් විදුලිය මිලදී ගත්තත් නොගත්තත් වසරකට රුපිලයල් බිලියන 11ක් අනිවාර්යයෙන් ගෙවිය යුතුයි. මේ කරුණු දෙක මත පමණක් මණ්ඩලයට රුපියල් බිලියන 44ක පාඩුවක් සිදුවෙනවා. එමෙන්ම ඉදිරිකරන ලද අසාර්ථක ව්‍යාපෘතිවලින් සිදුවන පාඩුවත් මීට ඇතුළත් වෙනවා. ගල් අඟුරු බලාගාරවලට ඉහළ තාක්‍ෂණයක් පාවිච්චි කළ යුතු වුවත් නොරොච්චෝලේ බලාගාරය හැදීමේදී යොදා ගත්තේ අවුරුදු 20ක් පැරණි තාක්‍ෂණයක්. එනිසා එම තාක්‍ෂණය ඉතා ඉක්මනින් යල් පැන යා හැකියි. ඒ වගේම බලාගාරයට ගල් අඟුරු ගේන්නේ බත්තල් වලින්. එවැනි අක‍්‍රමවත් ව්‍යාපෘතිද මෙම පාඩුවට හේතු වෙනවා.

ඒ නිසාම මෙම විදුලිබිල වැඩිවීමට ජනතාව කිසිසේත් වගකිව යුතු නැහැ. මේවා ආණ්ඩුවේ තීන්දු තීරණයි. ලංකා ඉතිහාසයේ අධිකම මිලවැඩිවීම මෙයයි. ඒ වගේම අතිශය විකෘති සහගත ගණිතමය මූලධර්මයන්ට අනුව මෙම මිලවැඩිකිරීම් සිදුකොට තිබෙනවා. එපමණක් නොවෙයි මෙම මිලවැඩිකිරීමට ආණ්ඩුවේ විවිධ අය විවිධ අදහස් පළකළා. අමුණුගම කිව්වා මෙය ඉතා සාධාරණ වැඩිවීමක් කියලා. මහජන උපයෝගිතා කොමිසමේ ජයතිස්සද කොස්තා කිව්වා ගෑස් සොයාගත්තාට පසුව මිල අඩුකළ හැකියි කියලා. පවිත‍්‍රා කිව්වේ ගල් අඟුරු බලාගාර හැදුවාම මිල අඩුකරන බවයි. ජනාධිපතිවරයා මෙයට මූලික හේතුව ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම ප‍්‍රධාන හේතුව බව කිව්වා. එය ඉතා අතිශය වැරදි ප‍්‍රකාශයක්. පහුගිය අවුරුදු 3ක කාලය ඇතුළත තෙල් බැරලයක අඩුම මිල වාර්තා වෙලා තියෙනවා. එය ඩොලර් 81ක්. තව දුරටත් ජනාධිපතිවරයා කියා සිටියේ ඇමරිකාව විසින් ඉරානයට සම්බාධක පැනවීම නිසා විදුලි බිල ඉහළ දැමීමට සිදුවූ බවයි. කෙහෙළිය කියා සිටියේ නිකං කන්න දෙනකං බලා ඉඳලා රටක් සංවර්ධනය කරන්න බැහැ කියලා. මෙම වැඩිකිරීම ආන්ඩුවේ සාමූහික තීරණයක්. මට විතරක් තනියෙන් නාන්න ඕන නැහැ කියලා කිව්වා. හැබැයි ජනාධිපතිවරයා ඊයේ මේ සියලු දෙනා නෑව්වා බාගෙට.

අපේ රටේ 40%ක් ජලයෙන් විදුලිය නිෂ්පාදනය කරනවා. ජල විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 3.25යි. ලක්‍ෂපාන බලාගාරයේ ඒකකයක මිල ශත 45ක් පමණයි. එනිසා විදුලි ඒකක 90ක් පරිභෝජනය කරන සියලු දෙනාට විදුලිය ලබාදීමට මෙම ජල විදුලි නිෂ්පාදනය හොඳටම ප‍්‍රමාණවත් වෙනවා. අතිරේක නිෂ්පාදනයක් අවශ්‍ය වන්නේ විදුලි ඒකක 90ට වඩා පරිභෝජනය කරන අයටයි. එසේ තිබියදී මුග්ධ ලෙස හිතුවක්කාරී ලෙස මෙම මිල වැඩිකිරීම් සිදුකර තිබෙනවා. මෙම තීරණය මුදල් අමාත්‍යංශයේ තීරණයක්. ඒ කියන්නේ මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂගේ අමාත්‍යංශයයි. ජනවාරි 21 විදුලි බල අමාත්‍යංශයේ ලේකම්ට ලිපියක් ලියන මුදල් අමාත්‍යංශ ලේකම් මාර්තු 01 සිට කි‍්‍රයාත්මක වන පරිදි විදුලි බිල වැඩිකළ යුතු යැයි යෝජනා කරනවා. එය මහජන උපයෝගීතා කොමිසම ඉදිරිපත් කළ යෝජනාවට හරයෙන් සමාන බව එම ලිපියෙන් සඳහන් වෙලා තිබුණා.

මෙම විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් ජයතිස්ස ද කොස්තා කීවේ මෙය රජයේ ප‍්‍රතිපත්තිය අනුව වැඩිකළා කියලයි. වරායක්, විද්‍යාගාරයක්, පිට්ටනියක් රඟහලක් හැදුවොත් එය මහින්ද රාජපක්‍ෂ නමින් නම් කරනවා. මේ විදුලි බිල වැඩිකිරීමත් ඒ වගේම රාජපක්‍ෂ සංකල්පයක්. මෙම වැඩිවීමට රාජපක්‍ෂවරු දෙදෙනෙකුගේ බලපෑම තිබෙනවා. විදුලිබිල වැඩිකිරීම සම්බන්ධව සාකච්ඡාව තිබුණේ බැසිල් රාජපක්‍ෂගේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ. එයට නිළධාරීන් මෙන්ම විදුලිබල ඇමති පවිත‍්‍රත් කැඳෙව්වා. බැසිල් තමයි එහි මුලසුන ගත්තේ. එනිසා මෙය රාජපක්‍ෂවරුන්ගේ නිර්මාණයක්. මාධ්‍ය ආයතනවලට පහර දෙනවා වගේම, නඩු තිබෙන අය නිදහස් කරනවා වගේම මේක් සම්පූර්ණයෙන් රාජපක්ෂවරුන්ගේ මෙහෙයුමක්. මාධ්‍යවේදීන් ඔබ ලියන්න එය. ජනතාවට කරන්න පුළුවන් හැම හතුරුකමක්ම කරලා වේදිකාවට ඇවිත් බොරුවට කෑ ගහනවා. ඉඩ දෙන්න එපා.

මෙම රාජපක්‍ෂ තරම් බොරු වපුරන, දෙබිඩි පුද්ගලයෙක් අපේ රටේ ඉතිහාසයේ මේ රජ පුටුවට ඇවිත් නැහැ. ජනතාවට සියලු සතුරුකම් කරලා වේදිකාවට ඇවිත් කරට අත දාගන්න පුද්ගලයෙක්. මේ ඉන්නේ ප‍්‍රබන්ධ රාජපක්‍ෂ කෙනෙක්. මේ තවත් ප‍්‍රබන්ධ රාජපක්ෂගේ එළිදරව්වීමක්. සමහර මාධ්‍ය කියා සිටියේ මෙය රාජපක්ෂ මැයි දින සහන කියලයි. රාජපක්ෂ මිල වැඩි කරයි කියලා ලිව්වේ නැහැ. එක පුවත්පතක් කාටුන් එකක් ඇදලා තිබුණා. උද්ඝෝෂණ කළ ජනතාවට ටොක්කක් ඇනලා. ඒ විදියට නින්දිත ලෙස හැසිරෙන්න එපා කියලා අපි මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් රාජපක්‍ෂට අඩියක් පස්සට ගන්න සිදුවෙලා තියෙනවා. ඒකක 60 දක්වා විදුලි බිල වැඩිවීමක් නැහැ කියලා කියා තිබෙනවා. 60 සිට 180 දක්වා මොකක්දෝ සහනයක් දෙන බවත් කියනවා. හැබැයි තවම සහනය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. සමහර විට පිටිපස පොකැට්ටුවෙන් රුපියල් 1000ක් පොකට් ගහලා ඉස්සහ සාක්කුවට රුපියල් 10ක් දානවා වගේ සහනයක් වෙන්නත් පුළුවන්. මෙයින් ලබාදෙන තව සංකේතයක් තිබෙනවා. ජනතාව අරගල කළොත් ඕනෑම සටනක් දිනන්න පුළුවන් ජනාධිපතිවරයාත් අවුරුද්දට සුබ නැකතට ගිණි මොලවලා ශිරන්ති රාජපක්‍ෂට කිරිබත් කවන ගමන් අපිට විදුලි බිල වැඩිකළා. අවුරුදු සමයේ ජනතා විරෝධී තීන්දු තීරණ ගත්තා.

මේ වෙලාවේ සමහර මාධ්‍යය ආයතනවලට අපගේ ස්තුතිය පළකළ යුතුව තිබෙනවා. විදුලි බිල වැඩිවිමෙන් ජනතාව මත හෙළන ලද පීඩනට එරෙහිව එහි තොරතුරු වාර්තා කරමින් විශාල කාර්ය භාරයක් ඉටු කළා. වෘත්තීය සමිති මීට එරෙහිව තමන්ගේ තීන්දු තීරණ ප‍්‍රකාශයට පත්කරලා තිබෙනවා. 2/3 බලයක් තියෙනවා යැයි කියපු ආණ්ඩුව අඩියක් පස්සට ගැනීමට බලපෑමක් සිදුවෙලා තිබෙනවා.

ආණ්ඩුවේ මූල්‍ය ප‍්‍රතිපත්ති බලශක්තිය සම්බන්ධයෙන් ගෙන ඇති ප‍්‍රතිපත්ති මත ගත් තීන්දු අනුවයි මෙම විදුලි බිල වැඩිවීම සිදුකළේ. එනිසා විදුලි ඒකක 60 සිට 180 දක්වා දෙන සහනය මොකක්ද කියලා ජනතාවට වහා ඉදිරිපත් කළ යුතුයි. අප කියා සිටින්නේ විදුලි බිල ආපසු තිබුණු තැනට කැඳවිය යුතු බවයි. නැතිනම් ජනතාවට සහනයක් සිදුවන්නේ නැහැ. පූජනීය ස්ථානවලට විශේෂ සහනයක් ලබාදිය යුතුයි. නමුත් අමාත්‍යවරුන්ගේ නිළ නිවාසවලටත් එම සහනය ලබා දෙනවා. එතකොට අමාත්‍යවරුන්ගේ නිල නිවාස වැටෙන්නේ පූජනීය ස්ථාන ගනයටද? බලශක්තිය පිළිබඳ අර්බුදයක් තිබෙනවා නම් ඒ පිළිබඳ වෙනම සාකච්ඡා කරමු. මෙම විදුලි බිල වැඩිවීම ජනතාව අනුමත කළ යුතු වැඩිකරීමක් නොවෙයි. අපි ජනතාවට ස්තුතිවන්ත වෙනවා සටන් කිරීමට සූදානම් නම් අයිතීන් දිනාගත හැකි බව ඔප්පු කළාට."