මට විවාහ වෙන්න උනන්දුවක් නෑ - Nirosha Perera

නිරෝෂා පෙරේරා මාධ්‍ය ක්ෂේත්‍රයේ කා අතරත් ඉතාම සුහදශීලී චරිතයකි. ඇය ඉතා දක්ෂ නිවේදිකාවකි. එසේම දක්ෂ රංගන ශිල්පිනියකි. ඊට අමතරව ඇය දියුණු කරගත් හැකියාවන් බොහෝය. මීට කලකට පෙර නිරෝෂා සහ ඇගේ නැගණිය වන ඉරෝෂා එක්ව ඉදිරිපත් කළ “නීරෝෂයි – ඉරෝෂයි” රූපවාහිනී වැඩසටහන කා අතරත් ජනප්‍රියත්වයට පත්විය. මේ දිනවල නිරෝෂා ‘හිරු’ නාළිකාවෙන් ඉදිරිපත් කරන වැඩසටහන රූපවාහිනී මාධ්‍යයට නවතම ආකෘතියක් එක් කළ වැඩසටහනකි. අද  නිරෝෂා පෙරේරා එක්කර ගත්තේ ඇයගේ නවතම තතු විමසා බලන්නටය.

ඉතින් කොහොමද නිරෝෂා. මොනවද මේ දවස්වල කරන්නේ?

මේ දවස්වල ‘හිරු’ නාළිකාවෙන් NIROSHA AND THE STARS වැඩසටහන ඉදිරිපත් කරනව. ප්‍රධාන වශයෙන්ම යෙදිල ඉන්නෙ ඒ වැඩේ තමයි.


ඔබේ මේ නවතම වැඩසටහන රූපවාහිනී මාධ්‍යයට අලුත් ආකෘතියක් නේද?

ඔව්. මේක වැඩසටහන් ඉදිරිපත් කරන්නිය මූලික කරගෙන ඉදිරිපත් කරන වැඩසටහනක්. මෙවැනි වැඩසටහනක් ලංකාවේ විකාශය වෙන්නේ පළමු වතාවට. මේ වැඩසටහනට අපි ගෙන්වන්නේ පෞද්ගලිකව මගේ ජීවිතයට කුමන අන්දමකින් හෝ සම්බන්ධකමක් තිබෙන පුද්ගලයින්. සමහර වෙලාවට මාත් එක්ක රඟපාපු, මාත් එක්ක වැඩසටහන් ඉදිරිපත් කළ රටේ ජනප්‍රිය කවුරුත් ආදරය කරන පුද්ගලයින්. මීට පෙර රූපවාහිනී මාධ්‍යයෙන් විකාශය වුණේ ආරාධිත පුද්ගලයාගේ නිවෙසට වැඩසටහන ඉදිරිපත් කරන්නා යන වැඩසටහන්. මේ වැඩසටහනේදි ආරාධිතයා මගේ නිවෙසට එනවා. මේක පටිගත කරන වැඩසටහනක්. සම්ප්‍රදායික විදියට රූපවාහිනී කැමරාවක් ඉදිරිපිට කතා කරන ආකාරයෙන් නෙමෙයි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා නරඹන්න පුළුවන් වෙන විදියට තමයි මෙය ඉදිරිපත් කරන්නේ.

’එකමත් එක රටක’ චිත්‍රපටයෙන් පසුව චිත්‍රපටයක රඟපෑවේ නැතිද?

මම රඟපෑ අලුත්ම චිත්‍රපටයේ වැඩ අවසන් වූයේ මේ ළඟදි. ඒ චිත්‍රපටයට යොදා ඇති නම “නොනිමි” සමහරවිට ඒ නම ඉදිරියේදී වෙනස් වේවි. එය විශ්ව බාලසූරියගේ නිෂ්පාදනයක්. උදාර අබේසුන්දරගේ අධ්‍යක්‍ෂණයක්.

ඇයි ඔබ මේ චිත්‍රපටයේ රඟපාන්න සිතුවේ?

මට චිත්‍රපට කීපයකටම කතා කළා. නමුත් මම ඒවා බාරගත්තේ නෑ. මේ චිත්‍රපටය බාරගන්න හේතුවුණු මූලිකම හේතුව තමයි සෑම රූපරාමුවකම රංගනයෙන් යමක් කරන්න අවස්ථාව තිබීම.

මෙහි ඔබේ චරිතය කෙබඳුද?

මම මෙහි කළේ ප්‍රධාන චරිතය. ඇත්තටම ඒ චරිතයේ ස්වභාවය කුමක් ද කියල හරියට කියන්න බැහැ. ප්‍රේක්ෂකයින් තමයි හඳුනාගන්න ඕන චරිතයේ ස්වභාවය.

ඇයි ඔබේ නවතම රූපවාහිනී වැඩසටහනට නංගි සම්බන්ධ නොවුණේ?

’සිරසෙ ‘ඉරෝෂයි – නිරෝෂයි’ වැඩසටහන අපි අවසන් කළාට පස්සෙ නාළිකා කීපයකින්ම අපට කතා කළා එවැනි වැඩසටහන් කරන්න. නමුත් අපි ඒවා බාරගත්තේ නෑ,, මම හිතන්නේ ලෝකයේ රූපවාහිනී නාළිකාවක සහෝදරියන් දෙදෙනෙක් ඉදිරිපත් කළ පළමු වැඩසටහන වෙන්න ඕන “ඉරෝෂයි – නිරෝෂයි”. ඒ වැඩසටහන අවසන් කරල අවුරුද්දක් විතර අපි කිසිම දෙයක් කළේ නෑ. අවුරුද්දකට පස්සෙ තමයි මම අලුත් වැඩසටහන පටන් ගත්තේ. මේක වෙනස් ආකෘතියක්. නංගි ‘හිරු’ නාළිකාවෙ වෙනත් වැඩසටහන් කරනවා. එයාට මේ වැඩවලට යෙදෙන්න කාලයක් නෑ. එයා ව්‍යාපාරික කටයුතුවලටයි සම්බන්ධ වෙලා ඉන්නේ.

ඇයි ඔබ සිරසෙන් ඉවත් වෙලා හිරු නාළිකාවට සම්බන්ධ වුණේ?

මම නිදහස් නිවේදිකාවක්; වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. මම කිසිම නාළිකාවකට බැඳිල නෑ. ඒ කිසිම නාළිකාවක ස්ථිරව වැඩ කරන්නේ නෑ. මම කැමැති නෑ දිනපතා ඔෆිස් ගිහිං වැඩ කරන්න. මට ඒක කරන්න බැහැ. මම සිරස නාළිකාවෙ වැඩසටහන් කීපයක් ම කළා. “ඉරෝෂයි – නිරෝෂයි” වැඩසටහන අවුරුදු 7 ක් කළා. ඒ වගේම SUPER STAR SEASON 04 ඉදිරිපත් කළා. DANSING STAR වැඩසටහන ඉදිරිපත් කළා. ඒ වැඩසටහන් ගොඩක් ජනප්‍රිය වුණා. මම වැඩියෙන්ම වැඩ කරල තියෙන්නෙ සිරස නාළිකාවත් එක්ක. ඊට අමතරව තවත් නාළිකා ගණනාවකම මම වැඩසටහන් ඉදිරිපත් කරල තියෙනව. හැබැයි, එක් නාළිකාවක වැඩ කරන ගමන් තවත් නාළිකාවක වැඩ කරන්නේ නෑ. සිරස එක්ක තියෙන සම්බන්ධකම් එහෙමම තියෙනව. මගෙ යාළුවො ගොඩක් තාම එතැන ඉන්නව. සමහර විට මගේ ඊළඟ වැඩසටහන සිරස නාළිකාවෙන් කරාවි.

ඔබට ටෙලිනාට්‍යයක රඟපාන්න ආරාධනාවක් ලැබුණොත්?

කීපදෙනෙක්ම මට කතා කළා ටෙලිනාට්‍යවලට. ටෙලිනාට්‍යවලට අකැමැති හේතු කීපයක් ම තියෙනවා. එකක් තමයි රූපවාහිනියෙන් නිතර පේන්න අකැමැති වීම. අනෙක රස්සාවට යනව වගේ දිනපතා රූපගත කිරීම්වලට යන්න අකැමැති වීම. අනෙක දැන් හැදෙන බොහොමයක් ටෙලිනාට්‍යවල අවසානයක් කවුරුත් දන්නේ නැතිවීම. මේ කාරණා නිසයි මම ටෙලිනාට්‍යවල රඟපාන්න අකැමැති. නමුත් මම හා කියපු පිටපතක් දෙකක් තියෙනව. ඉදිරියේදී ඒවාට සම්බන්ධ වේවි.

ඔබ විවිධ විෂයන් ඉගෙන ගත් සහ ඉගෙන ගන්නා කෙනෙක් නේද?

ඔව්. ඉගෙන ගන්න මම ආසයි. මට භාෂා 7 ක් හසුරුවන්න පුළුවනි. සංගීතය හොඳින් ඉගෙන ගෙන තියෙනව. නර්තනය, තොරතුරු තාක්ෂණය, මනෝ විද්‍යාව වැනි විෂයන් ඉගෙන ගෙන තියෙනව. මම ඒවා ඉගෙන ගන්නේ ඒවායෙන් ඉහළටම යන්න නෙමෙයි. ඒ විෂයන්ට තිබුණු කැමැත්ත නිසා. මගේ ජීවිතයේ විවිධ අවස්ථාවල මට ඒ දැනුම ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන් ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී විවිධ විෂයන් ගැන දැනීම ප්‍රයෝජනවත්.

ඔබ මනෝ උපදේශන කරනවාද?

කෙනෙකුට සවන් දෙන්න, තවත් කෙනෙකුගේ ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න උදව්වෙන්න මට හැකියාවක් තියෙන බව මාව ආශ්‍රය කරන අය දන්නවා. “ඕනෑම ප්‍රශ්නයකට නිරෝෂා ගාව උත්තරයක් තියෙනව“ කියල මාව ළඟින්ම ආශ්‍රය කරන අය කියනවා. ඒ නිසා මම දැන් හැකි අයුරින් අනුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න උදව් වෙනවා.

ඔබ නිදහසට කැමැති කෙනෙක් ද?

අපොයි ඔව්. සමහර වෙලාවට මට වැඩකට කතා කළාම මම බැහැයි කියනව. ඒ මට වෙනත් වැඩක් තියෙන නිසා නෙමෙයි. මට ගෙදරට වෙලා නිදහසේ ඉන්න ඕන නිසයි. නමුත් මම වැඩක් පටන් ගත්තොත් ඒකට උපරිමයෙන් කැප වෙනවා උනන්දු වෙනවා. නමුත් මම නිදහසේ ගෙදරට වෙලා ඉන්න හරිම කැමැතියි.

එකලාසයක් වෙන්න අදහසක් නැතිද?

සමහර ගෑනු ළමයි තරුණ වියට එළඹුණු හැටියේම විවාහයක් වෙලා පවුල් ජීවිතයක් පටන් ගන්න හිතනවා. සමහරු තරුණ වියට එළඹුණාම “මම විවාහ වෙන්නෙ මෙන්න මේ වගේ කෙනෙක් එක්ක” කියල හිතාගෙන ඉන්නව. මොකද මන්ද මට නම් තවම එහෙම දෙයක් ගැන හිතෙන්නෙ නෑ. මගේ පවුලේ අය එක්ක මට විශාල බැඳීමක් තියෙනව. මම නිදහස අගය කරන කෙනෙක්. මම විවාහ වෙලා දරුවො හැදුවෙ නැති වුණාට රටේ විවිධ දුෂ්කර පළාත්වල පාසල් දරුවො ගණනාවකට මම ඉගෙන ගන්න උපකාර කරනවා. හැබැයි මට විවාහ වෙන්න උනන්දුවක් නෑ. හැම කෙනාම බඳින නිසා මම බැන්ඳෙ නෑ කියල ප්‍රශ්නයක් නෑ නේද?

ගාමිණී සුසන්ත



 








Gossip Lanka Hot News Previous News Archive