[Sunday, May 12, 2013] රාවය කතුවැකිය
කොළඹ හිටපු නගරාධිපති අසාද් සාලි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම විසින් රටේ දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ වැදගත් හැඟවුම් සමූහයක් මතුකරයි.
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනු 1978දී ජේආර් ජයවර්ධන රජය විසින් පනවන ලදුව තවමත් අඛණ්ඩව පවත්වාගෙන එන අත්තනෝමතික, මර්දනකාරී නීතියකි. ඒ යටතේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයකු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත්කරනු ලබන රැඳවුම් නියෝග මත අවම වශයෙන් මාස තුනක්ද ඉන්පසු තවත් අවශ්‍ය තරම් කාලයක්ද අත්අඩංගුවේ තබාගැනීමට අවකාශය සැලසෙයි. අධිකරණයක් විසින් පුද්ගලයකු වැරදිකරුද නිවැරදිකරුද යන්න තීරණය කිරීමට පෙර මෙලෙස දිගුකලක් අත්අඩංගුවේ තබාගැනීමේ නියෝග නිකුත්කරන්නට හැකියාව ලැබීමෙන් වරදට නියම දඬුවම් ලැබෙන්නට පෙරම කිසිවකු දඬුවමට පාත‍්‍රකැරෙන බව පැහැදිලිය. අනෙක් අතට අධිකරණ ක‍්‍රියාදාමයකින් නිවැරදිකරු වුවද, ඔහු එතෙක් දිගුකලක් අත්අඩංගුවේ සිටීමෙන්ම දඬුවමක් අනියම් ලෙස ලබා අවසන්ය.
මේ සිදුවීමේදී සාලි මහතා රාජ්‍ය ආරක්‍ෂාවට තර්ජනයක් වන ප‍්‍රකාශ කළ බවක් කියැවෙයි. ඔහු රටේ ආරක්‍ෂාවට තර්ජනයක් වන දෙයක් කීවේයැ’යි නිගමනය කොට ඇත්තේ අධිකරණයක් විසින් නොවේ. හුදු රාජ්‍ය නිලධාරියකු හෝ කිහිපදෙනෙකු විසිනි. අනෙක් අතට ‘රාජ්‍ය ආරක්‍ෂාව’ යනු අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව නිශ්චිත ලෙස අර්ථකථනය කොට ඇති දෙයක් නොවන නිසා තමන්ට වුවමනා විදියට රාජ්‍ය ආරක්‍ෂාව යන්න අර්ථදක්වා ගැනීමේ හැකියාවක්ද බලධාරීන්ට තිබේ. භයානක වන්නේ, තමන්ට වුවමනා විදියට අර්ථදක්වාගත් නීතියක් යටතේ පුද්ගලයකු මාස ගණනක් අත්අඩංගුවේ තබාගැනීමේ නියෝ්ග නිකුත්කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඇති අභිමතයයි.
හිටපු උපනගරාධිපතිවරයාට එරෙහිව මේ පනත දැන් ක‍්‍රියාත්මක කිරීමෙන් තවදුරටත් පෙනෙන්නේ තමන්ට විවේචනයක් ගෙනෙන අයට ආණ්ඩුව සලකන්නට සුදානම්වන ආකාරයයි. සාලි මහතා එක්සත් ජාතික පාක්‍ෂිකයකු ලෙස සිට ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවට එකතුවූවෙකි. ඒ දිනවල ඔහු ආණ්ඩුවේ සමීපතමයෙක් විය. පසුව ආණ්ඩුවෙන් ඉවත්වූ ඔහු විරුද්ධ පක්‍ෂ දේශපාලනය සමග එකතුවිය. තමන් සමග සිටින විට ඔහුට ආදරයෙන් සැලකූ ආණ්ඩුව තමන්ට එරෙහිව විවේචනයක් ගෙනෙන විට ඔහුට සලකන්නේ දේශද්‍රෝහියකු හෝ ත‍්‍රස්තවාදියකු හෝ ලෙසය.
අනෙක් අතට ආණ්ඩුව විසින්ම ත‍්‍රස්තවාදීන්යැ’යි නම්කරන ලද විශාල පිරිසක් අද මේ ආණ්ඩුවේ මැති ඇමැතිකම් දරමින්, ආණ්ඩුවේ සුරතලූන් ලෙස කටයුතු කරද්දී සාලි මහතා ‘ත‍්‍රස්තවාදියකු’ වීම විකාරසහගත විහිළුවකි. සාලි මහතාගේ ක‍්‍රියාකාරිත්වය විශේෂයෙන්ම කැපීපෙනුණේ පසුගිය කාලයේ රටේ මුස්ලිම් ජනතාවට එරෙහිව ගොඩනැගී ආ වෛරී ව්‍යාපාරයට එරෙහිව ඔහු මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනීසිටිමින් බලවත් හඬක් නැගීම නිසාය. සුළු ජාතික හැඟීමෙන් මඬනා ලද මුස්ලිම් ජනතාව එම ඊනියා සිංහල බෞද්ධ වෛරී ව්‍යාපාරයට එරෙහිව හඬක් නගන්නට දෙවරක් සිතමින් සිටියදී අසාද් සාලි මහතා පුරෝගාමී දායකත්වයක් දුන්නේය. දැන් ඔහු අත්අඩංගුවට ගෙන ඇතැ’යි කියන්නේද එම අවස්ථාවේදී ඔහු කළායැ’යි කියන ප‍්‍රකාශ පදනම් කරගෙන බව පෙනෙයි. යම් හෙයකින් සාලි මහතා ජාතීන් අතර වෛරය වපුරවන හෝ ප‍්‍රචණ්ඩත්වයක් ඇතිකරන හෝ ප‍්‍රකාශ කළැ’යි කියන්නේ නම්, ඊට වඩා සිය දහස් වාරයක් එවැනි වෛරසහගත, ප‍්‍රචණ්ඩත්වයට මහජනයා පොළොඹවන ප‍්‍රකාශ හා ක‍්‍රියා සිදුකළ භික්‍ෂූන් හා ගිහියන් ගැන ආණ්ඩුව කරන්නේ කුමක්දැ’යි අසන්නට සිදුවෙයි.
තමිල්නාඩුවේ සඟරාවකට සාලි මහතා එවැනි ප‍්‍රකාශයක් කරන ලදැ’යි චෝදනා නැගෙන මුත්, මුස්ලිම් ජාතියට එරෙහිව සිංහල ජනයා උසිගන්වන, ප‍්‍රචණ්ඩත්වයට පොළොඹවන වෛරී ප‍්‍රකාශන අපට අසන්නට දකින්නට ලැබුණේ නිතර දෙවේලේ රටේ ප‍්‍රධාන නගරවල, ප‍්‍රධාන මාධ්‍යවලය. එහෙත් ඒ කිසිවකට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනුණේ නැතිවා පමණක් නොව සීමිත ලෙස නීතිමය ක‍්‍රියාමාර්ග ගැනුණු අවස්ථාවලදී පවා ඒවා ආශ්චර්යමත් සමථයන් හරහා නිශ්ශබ්ද කරන ලදි. තෝරාගත් එක් පිරිසකට වුවමනාවෙන්ම නීතිය ක‍්‍රියාත්මක නොකර සිටින ආණ්ඩුව අවශ්‍ය අයට එරෙහිව පමණක් අවශ්‍ය මොහොතේදී නීතිය ක‍්‍රියාත්මක කරන බව එයින් පැහැදිලිව පෙනෙයි.
ආණ්ඩුවේ අත්තනෝමතික ක‍්‍රියාකලාපයට එරෙහිව රටේ පොදු විරුද්ධ පක්‍ෂ ක‍්‍රියාමාර්ගයක් නැති තැන එවැනි විරෝධතා මතුවන්නේ හුදෙක් පෞද්ගලික හෝ සීමා සහිත හෝ කැරලි ලෙසය. එවැනි විරෝධතාකරුවන් තනිකොට පහරදීමෙන් එම විරෝධතාවලට බලවත් බලපෑමක් එල්ලකරන්නට ආණ්ඩුවට හැකිය. සාලි මහතාගේ සිදුවීමෙන් පෙන්නුම් කරන අනෙක් කාරණය එයයි. සිය ශක්ති පමණින් ආණ්ඩුව විවේචනය කරන්නට ඉදිරියට එන්නන් වහා නිහඬ කිරීමේ උපක‍්‍රමයක් ලෙසද මෙවැනි ක‍්‍රියාමාර්ග ආණ්ඩුව විසින් යොදාගැනෙයි.