හොඳට ඉන්න පවුල් කඩන එක ආනන්තරීය පාප කර්මය හා සමාන එකක් - Semini Iddamalgoda

ඉද්දමල්ගොඩ ප්‍රවීණ රංගන ශිල්පියකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වූ සනත් ගුණතිලක මේ දවස්වල අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. චිත්‍රපටයේ නම “සිනහව අතරින්”.“සිනහව අතරින්” චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය හැටියට කටයුතු කරන්නේ සේමිණී ඉද්දමල්ගොඩයි. “සේමිණී මේ චිත්‍රපටයේ අපූරුවට රඟපානවා.” ඊයේ පෙරේදා දවසක අහඹු විදියට හමුවුණු සනත් ගුණතිලකත් අප සමග කිව්වා. කොහොම හරි මේ ගැන වගේම සේමිණීගේ අලුත් තොරතුරු මොනවද කියලා හොයලා බලන්න හිතාගෙන අපි ඇයට කතා කළා.

“සිනහව අතරින්” චිත්‍රපටය ගැන මුලින් ම කතා කරමු.

“ඇත්තටම මම මුලින්ම මේ චරිතයට මාව තෝරා ගැනීම ගැන සනත් අයියට ස්තුතිවන්ත වෙන්න ඕන.” මම හැමදාම හිතන දෙයක් තිබෙනවා. ඒ තමයි අපේ ප්‍රවීණ නළු නිළියන් එක්ක වැඩ කරද්දි අපට ඉගෙන ගන්න තිබෙන දේවල් වැඩියි කියලා.
සනත් ගුණතිලක මහතා ඒ වගේම සුදත් රෝහණ මහතා කියන්නේ තිස්ස අබේසේකරයන් සමග වැඩ කළ අය. ඔවුන් එක්ක වැඩ කරද්දී ඇත්තටම මටත් විශාල සතුටක් දැනුණා.

සිනහව අතරින් චිත්‍රපටය රූපගත කරද්දී බොහොම අපූරු දේ වුණා කියලා ආරංචි වුණා?

(සිනාසෙමින්) ඔව්. ඒක හරිම සුන්දර අත්දැකීමක්. ඒ වගේම නළු නිළියන්ට දර්ශන තලයේදී දැක්වූ ගෞරවාන්විත සැලකුම් ගැනත් මතක් කළ යුතුමයි. අපි අහලා තිබෙනවා මාලිනී ෆොන්සේකා මහත්මිය, ශ්‍රියානි අමරසේන වගේ අපේ ප්‍රවීණ නිළියන්ට ඒ දවස්වල දර්ශන තලයේදී කොයිතරම් හොඳින් සලකා තිබෙනවාද කියලා. දැන් බොහෝ අය නිළියන්ට එහෙම සලකන්නේ නැහැ. නමුත් සනත් ගුණතිලක මහතා ඒ යුගයේම කෙනෙක් නිසාදෝ අපට උපරිමයෙන් සැලකුවා. ඔහු සමග වැඩ කරන අයත් එහෙමයි.


ඒ වගේම ඔබ ඇහුවා වගේ දර්ශන තලයේදී තවත් අපූරු දේ සිදුවුණා. සමහර අවස්ථාවලදී සනත් ගුණතිලක මහතාව තේරුම් ගන්න මට බැරි වුණා. වෙලාවක අපිව ගණන් ගන්නේ නැතිව ඉන්නවා. තවත් වෙලාවකට බොහොම ආදරයෙන් කතා කරනවා. බලද්දි මේක අධ්‍යක්ෂවරයා හැටියට ඔහු යෙදූ උපක්‍රමයක්. ඊළඟට රූපගත කරන රූප රාමුවට ඕන හැටියට මාව මුල සිටම හැඩ ගන්වා අරන් තිබෙන්නේ ඒ විදිහටයි.

දැන් ඔබේ නඩුවේ වැඩ කටයුතු කොහොමද?

ඒක ජූලි මාසේ විභාගයට ගැනෙයි. මගේ පාර්ශ්වයෙන් මට එහෙම දන්වලා තිබෙනවා.

තුන්වන පාර්ශ්වයක් මේ ප්‍රශ්නය සමථයකට පත් කරන්න උත්සාහ ගත්තා නේද?

මම මේ විදියට නීතිමය පැත්තට ගියේ මේ සිදුවීමෙන් ඇතිවුණු සිත් වේදනාව හා අපහසුතාවය වැඩි වූ නිසාමයි. මට පවුලක් තිබෙනවා. ඉතාමත් හොඳින් ඉවසීම තිබෙන ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. එහෙම නොවෙන්න මගේ පවුල කැඩෙන්න තිබුණා. එවැනි වාතාවරණයක් ඇති වුණා නම් මොකද වෙන්නේ.

මම මේ කියන්නේ ‍පොදුවේ. අපේ ක්ෂේත්‍රයේ වගේම මේ සමාජය තුළ ඉන්නා වෙනත් ක්ෂේත්‍රවල ඉන්න ඇතැමුන් වැඩ කරන්නේ ආත්මාර්ථකාමී විදිහටයි. ඔවුන් කැමතියි හොඳට ඉන්න පවුල් කඩා දමන්න. කැඩී බිඳී යන විදිහට කට කතා හා වැරදි ආරංචි පතුරුවන්න. මම පත්වුණෙත් ඒ තත්ත්වයටමයි. ඇත්තටම කියනවා නම් මම හිතන්නේ හොඳට ඉන්න පවුල් කඩන එක ආනන්තරීය පාප කර්මය හා සමාන එකක්.

ඒ නිසා තුන්වන පාර්ශ්වය පැත්තකින් තියලා නීතිය ඉදිරියට ගිහින්ම මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න ඕන. අනික ප්‍රශ්නයක් පටන් ගත්තට පස්සේ තුන්වන පාර්ශ්වයකින් වැඩක් නැහැ. ඒ ප්‍රශ්නය පටන් ගන්න කලින් තමයි එහෙම නොවිය යුතුයි කියලා හිතන්න වෙන්නේ. ප්‍රශ්නය ඇද්දට පස්සේ ආපහු අකුල ගන්න එක නමෛයි වැඩේ.

ඔබ මේ දවස්වල සුවිශේෂී සමාජ සත්කාර වැඩ කීපයකට යොමු වී සිටිනවා?

ඔව්... මේවා මම කාලෙක ඉඳලා කරන සමාජ සත්කාර වැඩ. එය ප්‍රසිද්ධියේ කරන්නේ නැහැ. නමුත් හිමිහිට කරනවා. ඒ ආත්ම තෘප්තිය වෙනුවෙන්.

ඒ අනුව මේ දවස්වල මම බොහොම දුප්පත් පවුලක් පාරට වැටෙන්න යන එකින් බේරගන්න හිතුවා. ඔවුන්ගේ නිවස බැංකුවට සින්න වෙන්න යනවා. පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්න මේ පවුලට තාත්තෙක් පවා නැහැ.
දැනට මමත්, ධම්මිකත් එකතු වෙලා අපේ මුදල්වලින් රුපියල් ලක්ෂයක් බැංකුවට බැඳලා නඩු මාර්ගයට යන එක නවත්වලා තිබෙනවා. ඉතින් මම බලා‍පොරොත්තු වෙනවා මට හිතවත් අය සමග එකතු වෙලා ඉතිරි මුදලත් බැංකුවට ගෙවලා මේ නිවෙස අර දුප්පත් පවුලට බේරලා දෙන්න.

මේ කතන්දරය පළවුණේ ‘රිද්ම’ අතිරේකයේමයි. ඒකත් විශේෂ දෙයක්.
ඒ වගේම තවත් ඉගෙනුමට දක්ෂ දරුවෝ දෙන්නෙකුට මම මාස් පතා මුදල් යවනවා. ඒවා තමයි මේ දවස්වල මම කරන වැඩ. මේ හැමදේකටම ධම්මිකගෙන් මට ලැබෙන සහයෝගය මතක් කළ යුතුමයි.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

Semini and Sanath

Gossip Lanka Hot News Previous News Archive