ඉරබටු තරුව නමින් ද, ග්‍රහ මණ්ඩලයේ අගමැති වශයෙන්ද හඳුන්වනු ලබන සිකුරු ග්‍රහයා මෙතෙක් ගමන් කළ මේෂ රාශියෙන් මිදී වෘෂභ රාශියට සංක්‍රමණය වීම ලබන මැයි මස 5 දා ශ්‍රී ලංකා වේලාවෙන් පාන්දර 00.28 හෙවත් 4 රාත්‍රි 12.28 ට සිදුවන්නේය. ඉන් පසුව සිකුරු එම රාශියේ මැයි මස 29 දා උදේ 10.55 දක්වා ගමන් කරනු ඇත.
වෘෂභයට සිකුරු පැමිණීමෙන් බලවත් වේ. ඊට හේතුව සිකුරුට වෘෂභයේදී ස්වක්ෂේත්ර බලය ලැබීමයි.
සිකුරු මාරුව කුම්භ ලග්න හිමි ශ්‍රී ලංකා කේන්ද්‍රයේ හතරවැන්නේ සිදුවන අතර ජනරජ කේන්ද්‍රයේ 10 වැන්න වනු ඇති නිසා පවතින ගැටලුවලට තරමක සහනදායක තත්ත්වයක් සිකුරු මාරුවෙන් පසුව උදාවනු ඇත.මේ අනුව මැයි මස 5 දිනට පසුව රට පුරා නව නිවාස ගොඩනැංවීම් මුල්ගල් තැබීම් නව නිවාසවලට ගෙවැදීම් මෙන්ම ගෙවල්වලට අලුතින් කොටස් එකතු කිරීම් ද බහුල වනු ඇත. මේ කාලය ගෘහ නිර්මාණ ශිල්පයේ නවෝදයක් උදාවන කාලයකි. එමෙන්ම සුඛෝපභෝගී වාහන වන මෝටර් රථ අලෙවියද ඉහළ යනු ඇත. වාහන මිලට ගැනීම කෙරෙහි ජනතා අවධානය වැඩිවන කාලයකි.
කෘෂිකාර්මික අංශයෙන් බලන විට කෙසෙල්, පළතුරු දෙහි, දොඩම්, අන්නාසි වැනි ඇඹුල් වර්ග වල පලදාව ඉහළ යනු ඇත. ඒවායේ මිල පහළ බසී. එමෙන්ම මල් වගාව ව්‍යාප්ත වේ. ව්‍යාපාරික වශයෙන් මල් වවන්නන්ට සුබදායක වනු ඇත.
කලා ක්ෂේත්රයේද කැපී පෙනෙන වර්ධනයක් ඇතිවේ. චිත්‍රපට හා රූපවාහිනි ශිල්පීන්ට, නළුවන්ට, ගායක ගායිකාවන්ට සුබදායක කාලයකි. සංගීත ශිල්පීන්ට, නර්තන ශිල්පීන්ට මෙන්ම රූපලාවන්‍ය ශිල්පීන්ට ද සුබයි. ගෘහ අලංකරණ කටයුතුවල යෙදෙන අයටද සුබයි.තවද මෙම කාලය තුළ ව්‍යාපාර අංශවල වර්ධනයක් සිදුවේ. විවාහ මංගල උත්සව බහුල වේ. පෙම්වතුන්ට සුබකාලයක් වන අතර විවාහ ප්‍රමාද වූ තරුණ තරුණියන්ට මංගල යෝග උදාවනවා ඇත. මංගල උත්සව සඳහා නැකැත් උදාවන කාලයකි.
තවද මෙම මාසය තුළ රටපුරා ආගමික ප්රබෝධයක් ඇතිවේ. වෙසක් උත්සවය අලංකාර ලෙස සමරනු ඇත. පින්කම් බහුල වේ. උසස් අධ්‍යාපන ආයතනවල නවෝදයක් ඇතිවේ. විහාරස්ථාන වැඩිදියුණු කිරීමට කටයුතු කෙරේ. භික්ෂූන් වහන්සේලාටද සුබකාලයක් වනු ඇත.
සිකුරු මාරුව ලග්න අනුව උදාකරන පලාපල පහත පරිදි වනු ඇත.
මේෂ -
පවුලේ දියුණිව ඇතිවේ. රැකියා හා ව්‍යාපාර අංශවලට සුබයි. ධනලාභ ලැබේ. බිරිඳ හෝ සැමියාට සුබඵලදායකයි. හවුල් ව්‍යාපාර වලට සුබයි.
වෘෂභ - පසුගිය කාලයේ තිබූ බාධා ඉවත් වේ. සතුටින් කාලය ගතවේ. මංගල යෝග උදාවේ. දරුවන්ට සුබඵල ලැබේ. පෙම් සබඳතා ස්ථිර වේ.
මිථුන - දරුවන්ට අපලදායකයි. විදේශ ගමන් සාර්ථක කෙරේ. වියදම් ඉහළ යයි. බලාපොරොත්තු නොවූ බාධා පැමිණේ. අධ්‍යාපනයට බාධා පවතී.
කටක - ගෘහ ජීවිතයේ ප්‍රගතියට කරුණු සැලසේ. නව මිතුරු මිතුරියන් හඳුනාගැනීමට ලැබේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. රැකියා ගැටලු විසඳේ. වාහන ලාභ ලැබේ.
සිංහ - ව්‍යාපාරිකයන්ට සුබය. සතුටින් කාලය ගතවේ. සහෝදරයකුගේ උසස්වීමකට හේතුයි. උසස් අයගේ උදව් උපකාර ලැබේ. දරුවන්ට ශුභයි.
කන්‍යා - අධික වියදම් පාලනය කර ගත හැකිවේ. පෙරපින වාසනාව උදාවේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කෙරේ. ධනය අතින් සුබපල ලැබේ.
තුලා - ලග්නපති අටවැන්නට පැමිණීම තරමක් අපලදායක බව පෙනේ. නමුත් අන්තිම කැමැත්තත් වැනි දෙයක් නිසා බලාපොරොත්තු නොවූ ධනයක් උරුම විය හැකිය.
වෘශ්චික - බිරිඳ හෝ සැමියාට සුබදායකයි. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. ප්‍රමාද වූ මංගල යෝජනා ඉටුවේ. පෙම්වතුන්ට සුබදායකයි.
ධනු - සිකුරු හයවැන්නට පැමිණීම තරමක් අපලදායකයි. විවාහ සහකරු සමග මතභේද ඇතිවිය හැකිය. ශරීර සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රවේශම් වන්න.
මකර - ආයෝජන වලින් ලාභ ලැබේ. දරුවන්ගේ කටයුතු සාර්ථක කරගත හැකිවේ. අධ්‍යාපන කටයුතුවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබේ. පෙම් සබඳතා සාර්ථක වේ.
කුම්භ - භූමි ලාභ, වාහන ලාභ, නිවාස ලාභ ලැබේ. සතුටින් කාලය ගතවේ. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වනවා ඇත.
මීන - උත්සාහය ධෛර්ය වැඩිවේ. සහෝදරයකුගේ විශේෂ දියුණුවක් ඇතිවේ. අසල්වාසීන් සමග පවතින සබඳතා අලුත් වේ. සෞඛ්‍ය තත්ත්වය රැකගත යුතුය.
කෑගල්ලේ - සුනිල් කුමාර ගම්ලත්