ගායන ක්ෂේත්රයට පිවිසෙන්න ඔබට පසුබිම සකස් වුණේ මොන විදියටද?
මම ඉස්කෝලෙ ගියේ හලාවත St. Maries එකට. මුල්ම කාලෙ ඒ කියන්නෙ පුංචි දවස්වල ඉඳලම සංගීතය ගැන මගේ අදහසක් තිබුණා. ඒත් ඒකට නියම විදියට අඩිතාලම දාල දුන්නේ මගේ මවුපියන්. ඒ ගැන තමයි සඳහන් කරන්න තියෙන්නෙ. මවුපියෝ මට හදල දුන්න පාර දිගේ තමයි තවමත් මම ඇවිදගෙන එන්නේ.
එතකොට 'සුපර් ස්ටාර්' කෙනෙක් වුණේ?
ඒකට අයැදුම් පත්‍ර දෙකක් යොමු කරලා තිබුණා. ඒක මම දන්නේ නෑ. නමුත් මම එක් අයදුම්පත්‍රයක් යොමු කළා. මම යොමු කරපු අයැදුම් පත්‍රයට තරගකරුවන් තෝරාගන්නවා කියලා මට දිනයක් සමඟ දැනුම්දීමක් ලැබුණා. නමුත් ඒකට මට සහභාගි වෙන්න බැරි වුණා ඒ දවසෙම මට වෙනත් ටී.වී. චැනල් එකක පවත්වපු අවසාන තරගයකට සහභාගි වෙන්න තිබුණු නිසා.
ඊට පස්සෙ?
ඉන් පස්සෙ මට අවස්ථාව ලැබුණෙ දෙවැනි අයැදුම්පත්රයට. ඒකෙන් තමයි මට chance එක හම්බ වුණේ, සුපර් ස්ටාර් තරගයේ ඉදිරියටම එන්න.
ඔබ දැන් මේ ක්ෂේත්රයට ඇවිල්ලා යම් කිසි කාලයක් වෙනවා. මේ කෙටි කාලයක් තුළ පැවැත්මට කුමක් හෝ හේතුවක් තියෙනවද?
ඔව්. අපි සතුව හැකියාවත්, දක්ෂතාවයක් තියෙනවානම් ඒ වෙනුවෙන් ප්රතිලාභ අපට ලැබෙනවා. ඒ වගේම තමයි අපි ළඟ හොඳ ගතිගුණ තිබෙනවානම් ඒ දේවල් පවා අපේ ඉදිරි ගමනට යම් තරමකට බලපානවා.
හිතෙනවද සුරේන්ද්‍ර පෙරේරා කියන්නෙ මේ වෙනකොට ලංකාවෙ යම්කිසි සලකුණක් තියල තියෙනවා කියලා.
ඔව්. සුරේන්ද්‍ර කියන්නෙ මේ වෙනකොට ලංකාවෙ Marck එකක් තියල තියෙනව කියලා මම හිතනවා.
Sunglass දෙකක් දැක්කොත් අන්න සුරේන්ද්‍රගෙ වගේ Sunglass දෙකක් කියන අයත් ඉන්නවා. ඒ කියන්නෙ සුරේන්ද්‍ර කියන පුද්ගලයාව ඔවුන්ට ගොඩක් දැනිලා තියෙනවා. කොහොම වුණත් මම simple විදියට තමයි ජීවත් වෙන්නෙ.
සියලු භාවිතයන් ඇතුළෙ ඔබට හිතෙනවද තමා දක්ෂතාවන්ගෙන් පිරිපුන් තමන්ගෙම නිර්මාණයක් කරන්න පුළුවන් කෙනෙක් කියලා.
මම එහෙම හිතනවා. මම විතරක් නෙවෙයි ලංකාවෙ බොහෝ දෙනෙක් ඒක පිළිගත්තා. ඒකට හොඳම උදාහරණය තමයි සුපර් ස්ටාර් තරගයේදී මම දෙවැනි ස්ථානයට පැමිණීම. ඒ වගේම තමයි පස්සෙ කාලෙකදි මගේ 'වැහි පබළු' ගීතය ජනතා සම්මානයට පවා නම් කළා.
ඔය තරම් හැකියාවක් තියෙනවානම් ඇයි අනුන්ගෙ ගීත ගායනා කරන්නෙ?
ඒ කිව්වෙ?
කෙළින්ම අහනවා නම් එච්.ආර්. ජෝතිපාල මහත්මයාගෙ සින්දු කියන්නෙ?
මුලින්ම කියන්න ඕන ජෝතිපාල මහත්මයා කියන්නෙ ලංකාවෙ හිටපු ශේර්ෂ්ඨතම ගායකයෙක්. එදා විතරක් නෙවෙයි අද වුණත් ජනප්‍රියම ගායකයා ජෝතිපාල මහත්මයා. හොඳ පෞරුෂයක් තිබුණු ගායකයෙක්. මම වේදිකාවට නැඟල සින්දු කියනකොට යම් යම් ඉල්ලීම් එනවා ජෝතිපාල මහත්මයගෙ සින්දු කියන්න කියලා. ඉතිං ඒ ඉල්ලීම්වලට තමයි මම ඔය වෙනත් ගායකයොයි කියන ජෝතිපාල මහත්මයාගෙ සින්දු කියන්නෙ. ඒත් ප්රසංගවලදි ඉල්ලීම් ආවාට මම හැම ඉල්ලීමක්ම බාර ගන්නෙ නෑ. ගායනා කරන්න බැරිනම් මම කියනවා මට මේ ගීතය ගායනා කරන්න බෑ. මේ, මේ, කරුණු කාරණා තියෙන නිසා කියලා.
ඒක වෙනම කතාවක්නෙ. එතකොට ජෝතිපාල මහත්මයගෙ ගීත එකතු කරලා සී.ඩී. එකකට සින්දු කිව්වෙ?
ඔතන තමයි ගැටලුව තියෙන්නෙ. මම වෘත්තීයමය ගායකයෙක්. ඒ නිසා මම බැඳිලා ඉන්නවා ගීත ගායනයට. ගීතයක් ගත්තම ඒ සම්බන්ධයෙන් අයිතියක් තියෙනවා එහි සංගීතඥයාට වගේම ගීත රචකයාටත්. ගීත සම්බන්ධයෙන් නීතිමය අයිතියක් තියෙන අය තමයි මට කිව්වෙ අපි මෙහෙම දෙයක් කරමු කියලා. ඒක නිසයි මම ජෝතිපාල මහත්මයාගෙ ගීත තියෙන සී.ඩී. එකක් කළේ. නැතුව මේ සිදුවූ කිසිම දෙයක් මගේ වුවමනාවට සිදුවූ දේවල් නෙවෙයි. ඒත් කවුරුත් ඇඟිල්ල දික් කළේ මට. සුරේන්ද්‍ර පෙරේරා ජෝතිපාලගෙ සින්දු කියනවා කියලා.
ඊට පස්සෙ?
විවිධ අයගෙ චෝදනාවලට මුහුණ දෙන්න වුණේ මට. ඒක මට ගැටලුවක් නෙවේ.
ජෝතිපාල මහත්මයා ජීවතුන් අතර හිටියා නම් මේ කිසි කෙනෙක් එයා ගැන කතා කරන්නෙ නැතිවෙයි. පෞද්ගලිකවම මම ජෝතිපාල මහත්මයාගෙ සින්දුවලට කැමති කෙනෙක්. අපේ අම්මයි තාත්තයි විවාහ වෙන දවසෙත් ජෝතිපාල මහත්මයා, මිල්ටන් පෙරේරා මහත්මයා එහෙම ඇවිත් පා(ර්)ටි එකේ සින්දු කියලා තියෙනවා. මගේ තාත්තත් බොහොම ප්‍රිය කරන ගායකයෙක් තමයි ජෝතිපාල මහත්මයා කියන්නෙ.
කොහොම වුණත් කියන්න තියෙන්නෙ මම බලහත්කාරයෙන් ජෝතිපාල මහත්මයගේ සින්දු කිව්වෙ නෑ. මුල්ම කාලෙ මම රුවන් ශ්රීලාල්ගෙ සින්දු කිව්වා. එතකොට කවුරුවත් මට ඔහොම ලොකුවට චෝදනා එල්ල කළේ නෑ. ඒත් දැන් තමයි කවුරුත් කියන්නෙ මෙයා ජෝතිපාලගෙ සින්දු කියනවා කියලා. මම අනුකරණය කරන්න ගියේ නෑ. අනුකරණය කරනවානම් ඉතින් මම ජෝතිපාල මහත්මයා වගේ කතා කරන්නත් ඕනෙ හැසිරෙන්නත් ඕනෙ.
ඔබ පිළිගන්නවද ඔබ මෙතෙන්ට උස්සල තිබ්බෙ රසිකයො කියලා?
ඔව්, අනිවාර්යයෙන්ම මම ඒක පිළිගන්නවා. සුපර් ස්ටාර් තරගාවලියෙදීත් ඔවුන්ගෙ එස්.එම්.එස්. මට විශාල ශක්තියක් වුණා.
එහෙමනම් එස්.එම්.එස්. එවපු රසිකයෙක්ට නේද මීට අවුරුදු දෙකකට විතර ඉස්සරවෙලා ඔබ දඹුල්ලෙ තානායමක් ඇතුළෙදි පහර දුන්නෙ?
ඒක මම කරපු දෙයක් නෙවෙයි. ඒත් එතන මම හිටියා. මේ විනෝද චාරිකාවට මමත් සම්බන්ධ වුණා. ඒක ඇත්ත. මගෙන් කිසිම වරදක් වුණේ නෑ. මම හිතන්නෙ මේ හැමදෙයක්ම මගේ ජනප්‍රියත්වයට විරුද්ධව එන දේවල් කියලා.
කොහොමද ඔය සිදුවීමට ඔය තරම් ප්‍රසිද්ධියක් ලැබුණෙ?
මේ වගේ දේවල් කොතැනත් සිද්ධ වෙනවා. ක්ෂේත්රයෙ මොකක් වුණත් කවුරුහරි ජනප්‍රිය කෙනෙක් මේ වගේ සිදුවීමක් වෙන තැනක හිටියොත් ඒ සිදුවීම වාර්තාවෙන්නෙ එතැන ඉන්න ජනප්‍රියම කෙනාත් සම්බන්ධ කරගෙනනේ.
මාධ්‍යවලත් ඔය කියපු සිදුවීම පළවුණේ ඔබව ඉලක්ක කරලනේ?
මාධ්‍ය ආයතන කරන්නේ කාගේ හෝ ප්‍රකාශයක් පළකිරීමනෙ. ඒක මාධ්‍යයේ වගකීම. ඒත් වැරැද්ද තිබුණෙ මාධ්‍යවල නෙවෙයි ප්‍රකාශය ඉදිරිපත් කරපු කෙනාගෙ. මම බොහොම සරලව උඩට ආව මනුස්සයෙක්. මට කිසිම කෙනෙක්ට හානියක් කිරීමේ වුවමනාවක් නෑ. මම අද වුණත් කියන්නෙ මාධ්‍යවලින් සුරේන්ද්‍ර පෙරේරා කියන පුද්ගලයාව යම් තැනකට ගෙන ආවා.
දැන් තරුණ තරුණියන්ට තියෙන පහසුකම් ගැන මොකද හිතෙන්නෙ?
තමන්ගෙ ඉලක්කය අනුව තමයි තමාගේ අනාගතය තීරණය වෙන්නෙ. පහසුකම් තිබුණය කියලා හැමදෙයක්ම කරන්න බෑ. පහසුකම් කොහොම වුණත් තමන්ගෙ කැපවීම තියෙන්න ඕනෙ.
ඔබට විරුද්ධවාදීන් ඉන්නවද?
කොහේදි, කොතැනක වුණත් විරුද්ධවාදීන් ඉන්න පුළුවන්. හැමෝම එක්ක වාද කරන්න ගියොත් තමයි ප්‍රශ්න ඇතිවෙන්නෙ. සියලු දෙනා එක්කම හිනාවෙලා ඉන්නවානම් ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ. එදා මට විරුද්ධකාරයෝ ඉන්න ඇති. අද ඊටත් වඩා ඉන්නවා ඇති.
සුපර් ස්ටාර් තරගයෙන් ඉවත් වුණාට පස්සෙ ගමේ අය අරන් දුන්නු කාර් එකද සුරේන්ද්‍ර තවමත් පාවිච්චි කරන්නෙ?
වාහන ප්‍රශ්නයක් නම් තිබුණා. සුරේන්ද්‍ර කියන්නෙ අපේ කොල්ලෙක් එහෙම වෙන්න දෙන්න බෑ කියන ආදරේට සල්ලි එකතු කරලා වාහනයක් අරන් දෙන්න සූදානම් වුණා. ඒත් මමත්, අම්මත් ඒකට අකැමැති වුණේ මට ඒ වෙනකොටත් වාහනයක් ගන්න පුළුවන්කමක් තිබුණු නිසා. මම සල්ලි දීලා තමයි වාරික වශයෙන් ගෙවන්න වාහනය ගත්තේ. ඒ අය මට අරන් දෙන්න හිටපු වාහනේම තමයි මම ගත්තේ.
දැන් තියෙන්නෙත් ඒ වාහනයද?
නෑ. මම වාහන කීපයක්ම මාරු කරගත්තා.
ඔබේ දේශපාලනය?
මට එහෙම දේශපාලනයක් නෑ. මගේ ගීතවලට රසිකයො කැමැත්තක් දක්වන්නෙ පක්ෂ දේශපාලනයක් හින්ද නෙවෙයිනෙ. මට ඒ හැමදෙනාම වුවමනායි. ඒත් මගේ තාත්තා දේශපාලනය කළා.
ඉස්සර මචං කියපු යාළුවොන්ට තවමත් සුරේන්ද්‍ර මචං කියනවාද?
ඔව්. එදා හිටපු යාළුවෝ තවමත් මට යාළුවෝ. මම නගර සභාවෙ සුපවයිසර් කෙනෙක් විදියට ජොබ් එක කළේ. සමහර වෙලාවට මම ඒ අයත් එක්ක දැන් කතා කළත් යාළුවො ඉන්න පරිසරය අනුව ඒ අයට මාත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නෙත් නැතුව යනවා.
රජිත බස්නායක