ප්රජාතන්ත්රවාදය පිළිබඳ ඇති විශ්වාසය කඩවීමට ඉඩනොදී ජනතාවගේ මතය ප්රජාතන්ත්රවාදී අන්දමින් පාලන ක්රමයටත් රටේ ජීවන ක්රමයටත් යොදා ගෙන ජනතාවට නිදහසත් ජන ජීවිතය දියුණු කිරීමටත් එය යොදා ගනිමු යැයි තායිලන්ත අග්‍රාමාත්‍ය යින්ග්ලක් ෂිනවත්‍රා මැතිනිය අද (31) පස්වරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් පැවසුවාය.
දෙදින නිල චාරිකාවක් සඳහා අද (31) පෙරවරුවේ ලංකාවට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යතුමිය අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්ත වූවාය. එහිදී කතානායක චමල් රාජපක්ෂ මැතිතුමා විසින් එතුමිය පිළිගෙන සභාගැබට කැඳවාගෙන පැමිණියේය. ෂිනවත්‍රා මැතිනිය වෙනුවෙන් කතානායකතුමාගේ ආසනය අසලින් විශේෂ ආසනයක් පනවා තිබූ අතර ගරු කතානායකතුමාගේ පිළිගැනීමේ කතාවෙන් පසු ව ෂිනවත්‍රා මැතිනිය සභාව අමතනු ලැබුවාය.
"මීට වසර 10කට පෙර මගේ සොහොයුරා විසින් මෙම පාර්ලිමේන්තුව ඇමතූ පසු මේ ප්‍රථම අවස්ථාව මා හට ඔබ අමතන්නට ලැබෙන. එම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මාගේ ස්තූතිය පිරිනමන අතර ශ්‍රී ලංකාව වගේ මනරම් දිවයිනක සංචාරයක නිරත වීමට ලැබීම ගැන මම ඉතාම සතුටුවෙනවා.
අප දෙරට අතර ආගමික මෙන්ම දේශපාලනික වශයෙන් ඉතාම සමීප සම්බන්ධතාවක් තිබේ. ඒ වගේම මේ සභාව අමන්නේ මම ඉතාම ආඩම්බරයකින්. එසේම මෙලෙස අමතන්නට ලැබීම ශ්‍රී ලංකා ජනතාවට කරන ගෞරවයක්. ශ්‍රී ලාංකික ජනතාව හැමවිටම ඔවුන්ගේ ප්රජාතන්ත්රවාදය රැකගැනීමට කටයුතු කරන බව මා දන්නවා. ඒ වගේම මම ඉතාමත් ගරු කොට සලකනවා ලෝකයේ පළමු අග්‍රාමාත්‍යතුමිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බිහි වූ රටට පැමිණ පාර්ලිමේන්තුව අමතන්නට ලැබීම ගැන.
එසේම මා ලංකාවට පැමිණියේ දෙරට අතර පවතින ද්විපාර්ශවික සම්බන්ධතා තර කර ගැනීමට හා මේ වගේ බහුවිධ ජාතීන් වෙසෙන රටක් සමග අපේ රටේ සබඳතා තර කර ගැනීමටත් යන කාරණා මුල් කර ගනිමිනි. තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර දිගු කලක සිට පවතින සම්බන්ධතා තුළින් අපට පැහැදිලිව පෙනෙනවා ශ්‍රී ලංකාවට දැනට ශතවර්ෂ 8කට පමණ පෙර බුද්ධාගම නැවත ප්‍රතිස්ථාපනය කිරීමට තායිලන්තයෙන් උදව් දුන්නා. එකල උපසම්පදා කර්මය කිරීමට අපේ රටින් ශ්‍රී ලංකාවට උපකාර කළ අතර සියම් මහා නිකාය ඇරඹුණේ එලෙසයි. ඒ තරම් ඈත ශතවර්ෂ ගණනාවක සිට අප දෙරට අතර මිත්‍රශීලී සම්බන්ධතාවන් පවතිනවා. අපේ රටේ ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟින් එතරම් කුළුපගයි.
ඒ වගේම මේ වන විට ලෝකය ඉතාම කඩිනමින් දේශපාලනික, ආර්ථික වර්ධනයන් සිදු වන අතර ධනවාදයේ වර්ධනයත් සිදු වනවා. එසේම සමාජ අසාධාරණකම්ද සිදු වන බව අප දකින අතර මේ සඳහා ඉතාමත් හොඳ ජීවන දර්ශනයක් බුද්ධාගම තුළින් අපට දැකගත හැකි වනවා. එනිසා මා ඉතා ගරු කරන මතයක් ලෙස තායිලන්තයේ සාමය උදාකරගැනීමට බුද්ධාගම ඉවහල් වූවා සේම ශ්‍රී ලංකාවේද එම තත්ත්වය එසේම වනවා.
තවද දේශපාලන අතින් බැලුවත් අප දෙරට ප්රජාතත්ත්රවාදය ගරුකරන පාලන දෙකක්. අපි ප්රජාතන්ත්රවාදය පිළිබඳ ඇති විශ්වාසය කඩවීමට ඉඩනොදී ජනතාවගේ මතය ප්රජාතන්ත්රවාදී අන්දමින් පාලන ක්රමයටත් රටේ ජීවන ක්රමයටත් යොදා ගෙන ජනතාවට නිදහසත් ජන ජීවිතය දියුණු කිරීමටත් එය යොදා ගනිමු.
අද වන විට ලෝකය කාලගුණික වෙනස්කම් හා ස්වභාවික ව්‍යසනයන්ට ගොදුරු වෙමින් පවතින බව පේනවා. අප දෙරට 2004 වසරේදී සුනාමි ව්‍යසනයට මුහුණ දුන්නා. මීට වසර 2කට පෙරද ලෝක කාලගුණික වෙනස්කම් හමුවේ අප ඉතා විශාල ව්‍යසනයකට මුහුණ දුන්නා. එම නිසා ලෝක කාලගුණික වෙනස්කම් මධ්‍යයේ ජනතාව රැක ගැනීම සඳහා මෙන්ම ජීවිතවලට ඇති අවධානම අවම කර ගැනීමටද අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා අපට දෙරට අතර ඇති සම්බන්ධතාව ඉතාම වැදගත්.
ආර්ථික වශයෙන් ගත්තත් ලෝකයේ 60%ක් ජීවත්වන්නේ ආසියාවේ වගේම ලෝක ආර්ථික වර්ධනයට ප්‍රබල දායකත්වයක් ලබා දෙන ප්‍රදේශයක් බවද පැවසීය. ඉන්දියානු සාගරය වටා කලාපය ගත් විට ආසියාවේ සහ අප්‍රිකාවේ බිලියන 3ක ජනතාවක් වාසය කරනවා. මෙම කලාපයන්හි ආර්ථික සම්බන්ධතාවන් ඉතාමත් වැදගත්. මේ සඳහා තායිලන්තය සෑම විටම දකුණු ආසියානු කලාපයේ සම්බන්ධතා වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවද පැවසීය.
මේ වන විට ඇමෙරිකන් ඩොලර් මිලිනය 66ක් තායිලන්තයේ යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා යොදවා තිබෙන අතර එයින් විශේෂයෙන්ම වෙළෙඳ හා සංචාරක ක්ෂේත්රයන්හි වැඩි දියුණුවක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. එලෙස ආයෝජනය කර ඇති එක් ව්‍යාපෘතියක් ලෙස මියන්මාරය සමඟින් අන්දමන්ද මුහුදේ වරාය සම්බන්ධයෙන් කරනු ලබන ව්‍යාපෘතිය. එමඟින් අපට ඉන්දියානු සාගරයට පැසිෆික් සාගරයේ සබඳතා ගොඩනගා ගැනීමට හැකිවෙනවා. එලෙස ගැඹුරු මුහුදු වරාය සංකල්පය තුළින් ශ්‍රී ලංකාවටත් ජාත්‍යන්තර වෙළෙඳ සම්බන්ධතා වැඩි කර ගැනීමට හැකිවෙනවා.
ඒ වගේම තායිලන්තය දකුණු ආසියානු සහයෝගීතා සමුළුවේ ද අප ක්‍රියාත්මක වෙනවා ආසියාවේ වාණිජ කටයුතු ලෝකයට ගෙනයාමට අප හැමවිටම කටයුතු කරනවා. ඒ වගේම අප්‍රිකානු රටවල් සමඟ ද අප පොදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ තුළින් තායිලන්තය මේ වසරේ නොවැම්බර් මාසයේදී අප්‍රිකානු රටවල් සමඟ සම්බන්ධතා රැසකට මුලපුරනවා. එහිදී ආසියානු කලාපය හා ඉන් පිටස්තර ලෝකය සමඟ සම්බන්ධ කිරීමට ශ්‍රී ලංකාව අපට හොඳ සංධිස්ථානයක් වන අතර එමඟින් ශ්‍රී ලංකාවද ලෝක ආර්ථිකයට විවර වෙනවා.
අවසන් වශයෙන් මා ගරු බහුමානයෙන් පිළිගෙන කැඳවාගෙන ඒම ගැනත් කෘතඥතාව පළකරනවා. මෙම නිල සංචාරයෙන් දෙරට අතර සබඳතා වඩා ශක්තිමත් වෙනවා. තායිලන්තයටත් ශ්‍රී ලංකාවටත් දීප්තිමත් සංවර්ධිත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සාමය හා සෞභාග්‍යය අප දෙරටටත් අප කලාපයටත් සැමදෙනාටමත් උදාවේවායි පතනවා. පාර්ලිමේන්තුවට පැමිණ ඔබ අමතන්නට ලැබීම ඉමහත් ගෞරවයක් මෙන් ම මගේ ජීවිතයේ මා ලද භාග්‍යයක් මෙන් ම දුර්ලභ අවස්ථාවක් ලෙස මා සලකනවා. ඔබ සැමට මගේ ස්තූතිය පුද කරනවා."
ෂිනවත්‍රා මැතිනිය සභාව ඇමතීමෙන් අනතුරුව ස්තූති යෝජනාව ඉදිරිපත් කරමින් සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාව ඇමතූ අතර එම යෝජනාව ස්ථිර කරමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සභාව ඇමතීය. අනතුරුව කතානායකතුමා විසින් පවත්වන ලද තේපැන් සංග්‍රහයට ආරාධිතයෝ එක් වූහ.