නිර්මාංශ ආහාර පාන සඳහා ප්‍රමිතියක් ගේන සැලසුමක් - The vegetarian food

නිර්මාංශ ආහාර පරිභෝජනය කරන පුද්ගලයින් සඳහා නිර්මාණය කර ඇති ප‍්‍රමිති කෙටුම්පතට මහජන අදහස් ලබාගැනීම ලබන 22 වන දා ප.ව. 2.30ට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ දී සිදු කෙරේ.

පිළිගත් ප‍්‍රමිතියකට නිර්මාංශ ආහාර පිළියෙළ කිරීම, වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම, ආහාර සැකසීම හා පිළිගැන්වීම යන කරුණු සිදුනොවීම නිසා සද්භාවයෙන් නිර්මාංශ ආහාර ගන්නා ජනතාවගේ නියම අරමුණු ඉටු නොවේ. එම අඩුපාඩුව මඟ හැර ගැනීම වෙනුවෙන් නිර්මාංශ ආහාරපාන සඳහා ප‍්‍රමිති හඳුන්වාදීමට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මේ වන විට කටයුතු සිදු කරමින් සිටී. නිර්මාංශ ආහාරපාන ලෙස හිමිකම්පෑමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සඳහා විශේෂ කෙටුම්පතක් මේ වන විට ඉදිරිපත් කර ඇත.

මෙම ප‍්‍රමිති කෙටුම්පතේ අඩංගු කරුණුවල පූර්ණභාවය හා නිවැරදිභාවය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මහජන අදහස් විමසීමේ හමුව පැවැත්වෙන අතර මේ වන විටත් ප‍්‍රසිද්ධ කර ඇති අදාළ කෙටුම්පත ප‍්‍රධාන මහජන මත විමසුමකට ලක් කිරීම, අංක 17, වික්ටෝරියා පෙදෙස, ඇල්විටිගල මාවත, කොළඹ 08 ස්ථානයේ පිහිටි ශ‍්‍රී ලංකා ප‍්‍රමිති මූලස්ථානයේ දී සිදු කෙරේ.

නිර්මාංශ ආහාරපාන සඳහා වන ප‍්‍රමිති කෙටුම්පත පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, එහි අන්තර්ගතය පිළිබඳව මහජන අදහස් ලබා ගැනීම හා එහි ප‍්‍රායෝගික භාවිතය පිළිබඳව මහජනතාව සහ මෙම ක‍්‍රියාදාමයට ඍජුව හා වක‍්‍රව සම්බන්ධ වන පාර්ශව දැනුවත් කිරීම මෙම හමුවේ ප‍්‍රධාන අරමුණ බව ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනෙවීර මහතා පවසයි.

මෙම හමුව සඳහා මහජන නියෝජිතයින්, දේශපාලන පක්ෂවල නියෝජිතයින්, බෞද්ධ හා හින්දු සංස්කෘතික සංවිධාන, අන්‍යාගමික සංවිධාන, අවිහිංසාවාදී සංවිධාන, නිර්මාංශ ආහාර වෙනුවෙන් කැපවෙන්නන් හා නිර්මාංශ ආහාර පිළිගන්වන ආපනශාලා හිමියන්ට ද ආරාධනා කර ඇත.
*New set of standards will be introduced for the vegetarian food

Gossip Lanka Hot News Previous News Archive