බලශක්ති අර්බුදය හා ඉහළ දමන ලද මිල පිළිබඳව විවිධ විචාරකයන් විසින් කර තිබෙන විචාර නැවත විචාරයට ලක් කිරීම මගින් මෙම ප‍්‍රශ්නය පිළිබඳව වඩා හොඳ චිත‍්‍රයක් ඇති කරගත හැකිය.
මහජන වැදගත්කමක් ඇති රාජ්‍ය ආයතන කළමනාකරණයේදී නිදහසින් පසු මේ දක්වා රට පාලනය කර ඇති හැම ආණ්ඩුවක්ම පාහේ නොසලකා හරින ලද වැදගත් මූලධර්මයක් මෙසේය. කිසියම් නිෂ්පාදනයක් සේවාවක් පවත්වාගෙන යන ආයතනයක් අලාභ නොලබා පවත්වාගෙන යෑමට නම් නිපදවන භාණ්ඩ හෝ සේවාව නිෂ්පාදන මිලට විකිණිය යුතුය. මහජන වැදගත්කමක් ඇති දේවලදී හැම ආණ්ඩුවක්ම එම රාජ්‍ය ආයතනය සිය නිෂ්පාදනයන් හා සේවාවන් නිෂ්පාදන මිලට වඩා අඩු මිලකට විකුණනවා දක්නට කැමතිය. කිසියම් භාණ්ඩයකට සහන මිලක් ලබාදිය යුතුයැ’යි ආණ්ඩුව කල්පනා කරන්නේ නම් එම රාජ්‍ය ආයතනය එම භාණ්ඩය සහන මිලට විකිණීමෙන් ලැබෙන පාඩුව ආණ්ඩුව විසින් පියවිය යුතුය. එසේ නොවුවහොත් එම රාජ්‍ය ආයතනය පවත්වාගෙන යා නොහැකි දුෂ්කර තත්ත්වයකට පත්වන්නේය. ලංගම, දුම්රිය දෙපාර්තමේන්තුව වැනි ආයතන අවුල් ජාලයක් බවට පත්වූයේ ඒ නිසාය. විදුලිබල මණ්ඩලය මුහුණ දී තිබෙන අර්බුදය කෙරෙහිද එම සාධකය විශාල ප‍්‍රමාණයකට බලපා ඇතැ’යි කිව හැකිය.
තිලක් සියඹලාපිටිය හා උදය ගම්මන්පිල
විදුලි විෂයෙහි ප‍්‍රවීණයකු ලෙස සැලකිය හැකි ආචාර්ය තිලක් සියඹලාපිටිය විදුලි බිල වැඩි කළාට විරුද්ධ නැත. සාමාන්‍ය ජනයාට දෙන සහන මිලකට වැඩි සහන මිලකට කර්මාන්තකරුවන් වැනි තොග ගැනුම්කරුවන්ට දෙනවාටද පක්ෂය. ඔහුගේ මතය අනුව ගල්අඟුරු බලාගාර ඉදිකිරීම දිගින් දිගට ප‍්‍රමාද කිරීම මෙම අර්බුදයට හේතුවී තිබේ.
උදය ගම්මන්පිල කියන්නේද නොරොච් චෝලේ ගල්අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක වූයේ නම් හා සාම්පූර් බලාගාරය ඉදිකර තිබුණේ නම් මේ තත්ත්වය මෙසේ නොවන්නට ඉඩ තිබුණු බවය. ඔහු සාම්පූර් බලාගාරය ඉදිකිරීමේ ප‍්‍රමාදයේ වරද මුළුමනින් පටවා තිබෙන්නේ ඉන්දියාව මතය. ඔහුට අනුව ඉන්දියාව ඒ සඳහා ඉදිරිපත් කර තිබෙන කොන්දේසි ඉතා අසාධාරණය. එය ඉදිකිරීම ද වසර 10ක් තිස්සේ එකතැන පල්වෙන තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ ඉන්දියාවේ අසාධාරණ කොන්දේසි ලංකා ආණ්ඩුව නොපිළිගැනීම නිසාය. ඔහුට අනුව දැන් කළ යුතුව තිබෙන්නේ ඉන්දියාව සිය අවාසිදායක කොන්දේසි අත්නොහරින්නේ නම් වෙනත් රටක් සමග එකතු වී ඒ බලාගාරය ඉදිකිරීමය.
හර්ෂ ද සිල්වා හා චම්පික රණවක
ආචාර්ය හර්ෂ ද සිල්වාට අනුව මෙම අර්බුදයට හේතුවී ඇත්තේ ආණ්ඩුවට බලශක්ති ප‍්‍රශ්නය පිළිබඳව යථාර්ථවාදී ඉදිරි දැක්මක් නැතිකමය. ආණ්ඩුවේ සමහර ජාවාරම්කාර දේශපාලකයන් සේ ම විදුලි ක්ෂේත‍්‍රය තුළ ක‍්‍රියාත්මක වන විදුලි මාෆියාවද මෙම ක්ෂේත‍්‍රයේ අවුල් ඇති කරමින් උපරිම ලෙස ගසාකන තත්ත්වයක් ඇතිවී තිබේ. කිසියම් බලාගාර ප‍්‍රභවයකින් වඩා අඩු මිලකට විදුලිය ලබාගත හැකි අවස්ථාවලදී පවා එය නොසලකා වැඩි මිල ප‍්‍රභවයකින් විදුලිය ලබාගන්නා ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වන බව ඔහු කියයි. ඔහු මෙම ප‍්‍රවණතාව නම්කර තිබෙන්නේ විදුලි මාෆියාව ලෙසය. මණ්ඩලය විදුලිය මිලදී ගන්නා පෞද්ගලික සමාගම් පිටුපස ඉන්නේද විදුලිබල මණ්ඩලයේම අය බවත් රට විපතට පත් කොට ඔවුන් මහා පරිමාණයෙන් ලාභ සාක්කුවලට දමාගන්නා ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගේ වත්කම් සොයා බැලීම සුදුසු බවත් ඔහු කියයි.
විදුලි ඉංජිනේරුවරයකු වන හිටපු විදුලිබල ඇමති චම්පික රණවකගේ මතය වී ඇත්තේ රුපියලේ මිල අවප‍්‍රමාණය කිරීම මෙම අර්බුදයට බලපා තිබෙන ප‍්‍රධානතම හේතුව වන බවය. නියඟය හා රුපියලේ මිල අවප‍්‍රමාණය කිරීම නිසා කවදාකවත් නොතිබුණු වැය බරක් තෙල් සංස්ථාවට හා විදුලිබල මණ්ඩලයට දරන්නට සිදුවූ බවත් ඒ නිසා ඇතිවූ පාඩුව බිලියන 150ක් බවත්, ඉන් බිලියන 130ක් පාඩු වූයේ රුපියල අවප‍්‍රමාණය කිරීම නිසා බවත්ය. රුපියල අවප‍්‍රමාණය කිරීමේ ප‍්‍රශ්නය ගැන මහා භාණ්ඩාගාරය හා මහ බැංකුව අතර ගැටුමක් තිබූ බවත් ඔහු කියයි.
උදය ගම්මන්පිල කියන්නේ රුපියල අවප‍්‍රමාණය කිරීමේ ප‍්‍රශ්නය මෙම ප‍්‍රශ්නය උග‍්‍ර කිරීමට බලපෑ අතිරේක සාධකයක් පමණක් බවය. ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් වීම හේතු කොටගෙන නියඟය නොපැමිණියත්, රුපියල අවප‍්‍රමාණය නොකළත් විදුලිබල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් ලෙස පවතිනු ඇති බව ඔහුගේ මතය වී තිබේ. එම අලාභයට හේතුව ලෙස ඔහු දකින්නේ විදුලිය ලබාගැනීම සඳහා පෞද්ගලික සමාගම් සමග ඇති කරගෙන තිබෙන අවාසිදායක ගිවිසුම්ය. එහෙත් ඒ ගිවිසුම් මොනවාද, ඒවාහි තිබෙන අවාසිසහගත කොන්දේසි මොනවාද, ඒ ආකාරයෙන් අයථා ලෙස ලාබ ලබන සමාගම් හා ඒවාහි හිමිකරුවන් කවුද කියා ඔහු විස්තර කරන්නේ ද නැත. එය හර්ෂ ද සිල්වා විසින් ද කර තිබෙන වරදක් ලෙස සැලකිය හැකිය.
රුපියල අවප‍්‍රමාණය කිරීම ගැනද හිටපු විදුලිබල ඇමතිවරයා හා ගම්මන්පිල කතා කර ඇත්තේ එහි එක පැත්තක් ගැන පමණය. රුපියලේ හුවමාරු අනුපාතිකය නොවෙනස්ව තබාගැනීම රටේ ආර්ථික ක‍්‍රියකාරිත්වයේ ශක්තියෙන් සිදුවූ දෙයක් නොවීය. එය විශාල වියදමක් දරා කෘත‍්‍රිම වශයෙන් කරන ලද දෙයක් විය. ඒ වෙනුුවෙන් ආණ්ඩුව විශාල වියදමක් දැරුවේය. සමහරවිට රුපියලේ හුවමාරු අනුපාතිකය නොවෙනස් වන තත්ත්වයක තබාගත් අවුරුදු කිහිපයේදී ඒ තත්ත්වය ලබාගැනීම සඳහා ඒ වෙනුවෙන් ලංකාව කරන ලද වියදම ඩොලර් බිලියන දෙක තුනක් විය හැකිය. එය රටේ යහපතට හේතුවූ ප‍්‍රතිපත්තියක් නම් ඒ වෙනුවෙන් කරන ලද වියදම හා ලැබූ ලාභය තුලනාත්මක වශයෙන් පෙන්වා දිය යුතුය. එක දිගට කිසියම් දීර්ඝ කාලයක් එම ප‍්‍රතිපත්තියේ රැුඳීසිට අවසානයේ එය අත්හරින්නට සිදුවීමෙන් පෙනීයන්නේද ඒ ප‍්‍රතිපත්තිය දිගින් දිගට අල්ලාගෙන සිටීමේ හැකියාවක් ලංකාවට නොතිබුණු බවය. එවැනි කෘත‍්‍රිම ප‍්‍රතිපත්තියක පිහිටා ක‍්‍රියා නොකොට රුපියලේ මිල පාවෙන්නට ඉඩදී ඉන් ලැබෙන ලාභය හෝ අලාභය භාරගන්නා ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් සමහරවිට මේ අවුල මේ තරම් පීඩාකාරී ලෙස ජනතාවට බලා නොපාන්නට ඉඩ තිබුණේය.
මණ්ඩලයේ සභාපති
විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල කියන්නේ හැමදාමත් විදුලිබල මණ්ඩලය ජනතාවට විදුලිය දුන්නේ නිෂ්පාදන මිලට නොව සහන මිලකට වන බවය. ඒ නිසා හැමදාමත් විදුලිබල මණ්ඩලයට විශාල පාඩුවක් දරන්නට සිදුවූ බවය. විදුලියේ මිල වැඩි කිරීමෙන් විදුලිබල මණ්ඩලය දරන බර කිසියම් ප‍්‍රමාණයකට සැහැල්ලූ කරගෙන ඇතත්, තවමත් විදුලිබල මණ්ඩලය ජනතාවට විදුලිය දෙන්නේ නිෂ්පාදන මිලට නොව සහන මිලකට වන බවය. එනිසා මෙම අර්බුදය විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාව නිසා ඇතිවූවක් නොවන බවය. විදුලිබල මණ්ඩලය දූෂිතයි කියන චෝදනාවද සභාපතිවරයා පිළිගන්නේ නැත.
විදුලි ජනනයේ ප‍්‍රභවයන් හා නිෂ්පාදන මිල
මෙම අර්බුයේ යථා තත්ත්වය තේරුම් ගැනීම සඳහා විදුලි ජනනයේ ප‍්‍රභවයන් හා ඒවා අනුව දරන්නට සිදුවන නිෂ්පාදන වියදම් සොයාබැලීම වැදගත්ය. ආචාර්ය තිලක් සියඹලාපිටියට අනුව විදුලි නිෂ්පාදනයෙන් සියයට 30ක් නිපදවන්නේ ජලයෙනි. තවත් සියයට හතක් කුඩා බලාගාරවලිනි. තවත් සියයට 15ක් ගල්අඟුරු බලාගාරයෙනි. ඉතිරි සියයට 48 තෙල් බලාගාරවලිනි.
හිටපු විදුලිබල ඇමතිවරයාගේ ඇස්ත මේන්තුව අනුව තෙල් බලාගාරවලින් නිපදවන විදුලි බලයේ පංගුව සියයට 65කි. විදුලිබල මණ්ඩලයේ සභාපති කියන්නේද ජලයෙන් නිපදවන විදුලියේ ප‍්‍රමාණය සියයට 25%ක් පමණක් බවය. එවිට හිටපු ඇමතිවරයා තෙල් බලාගාරවලින් නිපදවන විදුලියේ පංගුව ගැන දෙන ඇස්තමේන්තුව වඩා නිවැරදි වේයැ’යි කිව හැකිය.
පෞද්ගලික අංශය විදුලිබල මණ්ඩලයට සපයන විදුලි නිෂ්පාදනයෙන් සියයට 90ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පොසිල ඉන්ධනවලින් නිපදවන විදුලි බලය වන අතර ලංකාවේ ඛනිජ තෙල් අලෙවියෙන් සියයට 30ත් 40ත් අතර ප‍්‍රමාණයක් යොදා ගැනෙන්නේද පොසිල ඉන්ධනවලින් නිපදවන විදුලිබලය සඳහාය.
දැන් අපට මෙම ක‍්‍රම තුන යටතේ විදුලිය නිපදවීමට යන නිෂ්පාදන වියදම් සලකා බැලිය හැකිය. 1. ජලයෙන් නිපදවන විදුලි ඒකකයක් සඳහා නිෂ්පාදන මිල රු. 1.50කි. 2. ගල්අඟුරුවලින් නිපදවන විදුලි ඒකකයක් සඳහා නිෂ්පාදන මිල රු. 8.00කි. 3. ඞීසල්වලින් නිපදවන විදුලි ඒකකයක් සඳහා ඞීසල් නිෂ්පාදන වියදම පමණක් රු. 23.00කි. ඞීසල්වලින් නිපදවන සමාගම් විදුලිබල මණ්ඩලයට විදුලි ඒකකයක් විකුණන්නේ රු. 40ත් 45ත් අතර මිලකටය.
දැන් අපට මෙම ප‍්‍රශ්නයේ ස්වභාවය යම් පමණකට තේරුම්ගත හැකිය. විදුලි නිෂ්පාදනයේදී අඩුම වියදම් ප‍්‍රභවය ජලයයි. ඊළඟට ගල් අඟුරුය. වැඩිම වියදමක් දරන්නට සිදුවී තිබෙන්නේ පොසිල ඉන්ධනවලින් නිපදවන විදුලිය සඳහාය. එය ජලය මෙන් 26 ගුණයකටද ගල්අඟුරුවල මෙන් පස් ගුණයකටද සමානය. ඒ මිල ඉතාමත් අසාමාන්‍ය මිලක් වන අතර ඒ ප‍්‍රභවය පාවිච්චි කරනවා නම් පාවිච්චි කළ යුත්තේ ඉතාමත් හදිසි අවශ්‍යතාවලදී පමණය. එහෙත් ඇත්තටම ලංකාවේ සිදුවී තිබෙන්නේ ජනතාව දැනුවත් කිරීමකින් තොරව පොසිල ඉන්ධනවලින් තනන විදුලි බලය මත වැඩියෙන් යැපෙන තත්ත්වයකට තල්ලූ කිරීමය. එය හරියට පාන් නැතිකම නිසා ජනතාව පාන් වෙනුවට කේක් කන්නට පුරුදු කළා වැනිය. මෙම විනාශකාරී තත්ත්වයට ඒ ක‍්‍රමය රටට හඳුන්වා දුන් ආණ්ඩුවේ සිට මේ දක්වා කිසිදු විවේචනයකින් තොරව ඒ ක‍්‍රමය පවත්වාගෙන ගිය සියලූ ආණ්ඩු වගකිව යුතුය.
විදුලි මාෆියාව
වැඩි විස්තරවලින් තොරව ආචාර්ය තිලක් සියඹලාපිටිය විසින් කර තිබෙන අපූරු කතාවක් මෙසේය. නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදිකිරීමට අවශ්‍ය ණය ලබාදීමට 1993දී ජපානය කැමැත්ත පළකර තිබුණි. 2002න් පසුවද ඒ කැමත්ත ජපානයට තිබුණේය. 2002 මාර්තු 31 වැනි දින එවකට අගමැතිවරයා ජපන් තානාපති නිවසට කැඳවා බලාගාරය සඳහා මුදල් අවශ්‍ය නැති බව කීවේය. ඔහු ඊට පසු කියා තිබෙන දේ ඊටත් වඩා බිහිසුණුය. (ආචාර්ය සියඹලාපිටියගේ මෙම ප‍්‍රකාශය ඇතුළත් සම්මුඛ සාකච්ඡාව පළවී තිබුණේ 2013 අපේ‍්‍රල් 26 වැනිදා ඉරිදා ලංකාදීප පුවත්පතේය.) පුවත්පතේ පළවී තිබුණු වචනවලින්ම උපුටා දක්වන්නේ නම් ‘ජපානයට ණය එපා කියලා සති දෙකක් යනවිට විදුලිබල මණ්ඩලයට නියෝග කරමින් තෙල් බලාගාර දෙකක් ගැනීමට මිල ගණන් කැඳවීමට පියවර ගත්තා. ඒ දෙක අදටත් ක‍්‍රියාත්මක වෙනවා.’’
එය ඉතාමත් බරපතළ ප‍්‍රකාශයක් බව අමුතුවෙන් කිවයුතු නැත. එවකට අගමැතිව සිටියේ රත්නසිරි වික‍්‍රමනායක මහතාය. ඉතා අඩු මිලකට විදුලිය නිපදවාගත හැකි වැඩසටහනක් කඩාකප්පල් කොට රටට ඔරොත්තු නොදෙන තරම් ඉතා වැඩි මිලකට විදුලිය විදුලිබල මණ්ඩලයට විකුණාගත හැකි බලාගාර දෙකක් ඒ මගින් ආරම්භ කෙරුණු බව ඉන් පෙනේ. මෙම ආත්මාර්ථකාමී හා විනාශකාරී වැඩපිළිවෙළ පිටුපස සිටි අනෙක් පුද්ගලයන් කවුදැ’යි ඔහු අපට අනාවරණය කරන්නේ නැත. ඔහු සමග සම්මුඛ සාකච්ඡුාව කරන ලද ජනමාධ්‍යවේදියා ප‍්‍රශ්න කරන බවක්ද පෙනෙන්නේ නැත. රටේ දේවල් සිදුවෙමින් තිබෙන ආකාරය කොතරම් විනාශකාරී හා බිහිසුණුද යන්න ඉන් අපට සිතාගත හැකිය. රටේ සමහර දේශපාලන හා ව්‍යාපාරික බලවතුන්ට අවශ්‍ය වී තිබෙන්නේ රට වළපල්ලට යවා හෝ මල්ල පුරවා ගන්නටය. එවැනි බිහිසුණු විනාශකාරී දේවල් සොයා බලන හෝ වළකන ක‍්‍රමයක් රටේ නැත.
තෙල් බලාගාරවලින් විදුලිය නිපදවා ඒවා අධික මිලකට විදුලිබල මණ්ඩලයට විකුණන කූට ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ගල්අඟුරු බලාගාරයක් ඇතිවීම වැළකීමට තරම් මෙම කල්ලිය බලවත් වී නම් තෙල්වලින් නිපදවන විදුලිය කෙරෙහි ඇති පරායත්තභාවය තවදුරටත් ආරක්ෂා කොට පවත්වාගෙන යෑම සඳහා ගල්අඟුරු බලාගාර ඇති කිරීම හෝ වෙනත් විකල්ප විදුලි ව්‍යාපෘති ඇතිවීම වැළකීම සඳහා හා තිබෙන එවැනි ව්‍යාපෘති කඩාකප්පල් කිරීම සඳහා ක‍්‍රියාකරන තත්ත්වයක් තිබිය නොහැක්කේ කෙසේද?
නොරොච්චෝලේ චීන ගල් අඟුරු බලාගාරය පළමු අදියරයේදී අපේක්ෂිත ඉලක්ක සම්පූර්ණ කිරීමට සමත් වී නැත. චීනය ගල් අඟුරු බලාගාර විෂයේදී දියුණු තාක්ෂණයකට හිමිකම් කියන රටක් වුවද අපට ලැබී ඇත්තේ නවීන බලාගාරයක් නොව නිතර ලෙඩ වෙන කබල් බලාගාරයකි. එය එසේ වී ඇත්තේ ඇයි? තාප බලාගාරවල හිමිකරුවන් හා චීන ගල් අඟුරු බලාගාරයේ දේශීය නියෝජිතයන් එකම කල්ලියකට අයත් පිරිසක්ද? ඉන්දීය ගල්අඟුරු බලාගාරයට එරෙහිව ක‍්‍රියාත්මක ප‍්‍රචාරක වැඩපිළිවෙළ පිටුපස මෙම තාප බලාගාරවල හිමිකරුවන් සිටිය නොහැකිද? ජල විදුලිය නිපදවීම සඳහා යොදාගන්නා ජලාශ හිස් කිරීම සඳහා සංවිධානාත්මක ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක වන බවට විටින් විට චෝදනා එල්ල වූ බවද අමතක කළ නොහැකිය.
රටේ තාප බලාගාර පිළිබඳ ප‍්‍රශ්නය වහෙන් ඔරෝ භාෂාවෙන් මිස විස්තරාත්මකව කතා කරන තත්ත්වයක් රටේ ඇතිවී නැත්තේ ඇයි? තාප බලයෙන් නිපදවන විදුලිය විකිණීම මගින් තමන්ට මහා පරිමාණයෙන් ලැබෙන ලාභ සලකා ලංකාව වැඩි වශයෙන් තාප බලයෙන් නිපදවන විදුලිය මත රඳා පවතින තත්ත්වයක් ඇති කිරීම කොතරම් බිහිසුණුද?
මෙම තාප බලාගාර සඳහා විදුලිබල මණ්ඩලය සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම්, ඒවාට ඇතුළත් කොන්දේසි, තාප බලයෙන් නිපදවන විදුලිය මිලදී ගැනීම සඳහා මණ්ඩලය කර තිබෙන වාර්ෂික වියදම් හා මෙම තාප බලාගාරවල හිමිකරුවන් කවුද යන්න රටට හෙළිදරව් නොකරන්නේ ඇයි? 2007 වසරේ මහ බැංකු වාර්තාවේ තාප බලාගාර සමග ඇති කරගෙන තිබෙන එක පැත්තකට බර ගිවිසුම් හා ඒ මගින් විදුලිබල මණ්ඩලයට දරන්නට සිදුවී තිබෙන පාඩුව ගැන ඊට ඇතුළත්ව තිබූ විශ්ලේෂණයක් මෙසේය.
තාප බලාගාර ගැන මහ බැංකුව
‘‘ශ‍්‍රී ලංකාවේ විදුලිබලය සපයන පෞද්ගලික අංශයේ ආයතනවල මෙහෙයුම් කටයුතු නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යන ස්වරූපයේ සබඳතාවක් විදුලිබලය සපයන පෞද්ගලික අංශයේ ආයතන සහ ලංවිම අතර ඇති කරගෙන ඇති අතර එය සාවද්‍ය සංකල්පයකි. මෙම සම්බන්ධතාව ලංවිම ව්‍යාපෘතියේ පාර්ශ්වකරුවකු ලෙස සලකා කොන්ත‍්‍රාත්තු නිර්මාණය වී තිබිය යුතුය. ව්‍යාපෘති පිරිවැයෙන් විශාල කොටසක් (සියයට 70ක්) ලංවිම දරන අතර එහි සහතික කළ බලශක්ති ගාස්තු සඳහා රජයේ ඇපවීමක් ලැබේ. එම නිසා අවම වශයෙන් සියයට 70කට සමාන හිමිකාරිත්වයක් පවත්වා ගත යුතුය. ඒ අනුව, ස්වාධීන විදුලිබල නිෂ්පාදකයන්ගේ උපරිම වත්කම් හිමිකම සියයට 30කට හෝ වත්කම්වල මුළු වාණිජමය වටිනාකමින් ඔවුන්ගේ කොටස් දායකත්වයට පමණක් සීමා කළ යුතුය. කෙසේ වුවද, පවතින රාජ්‍ය-පෞද්ගලික ගිවිසුම් යටතේ සියලූම වත්කම්වල හිමිකාරිත්වය විදුලි බලය සපයන පෞද්ගලික අංශයේ ආයතනවලට ලබාදේ. විදුලි බලාගාර ඉදිකිරීමේදී ‘නිම කළ ක‍්‍රමය’ (turn-key)යටතේ බලාගාරය ඉදිකළ හැකි අතර, මෙහිදී විදුලි බලය සපයන පෞද්ගලික අංශයේ ආයතනවලට ක‍්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බලාගාරයක් ලැබේ. එසේ නැතහොත්, සම්පූර්ණ යෙන්ම ඉදිකිරීම් පිළිබඳ විශේෂඥ තුන්වන පාර්ශ්වයක් විසින් ඉදිකිරීම් කටයුතු ක‍්‍රියාත්මක කර (greenfield) විදුලිබලය සපයන පෞද්ගලික අංශයේ ආයතනවලට මෙහෙයුම් සඳහා සූදානම් කළ බලාගාර ලබාගත හැකිය. කෙසේ වුවද, ශ‍්‍රී ලංකාවේ කිසිදු තරගකාරී හෝ ටෙන්ඩර් කැඳවීමේ ක‍්‍රමයකින් තොරව විදුලි බලාගාර ව්‍යාපෘතියේ සිවිල් ඉදිකිරීම් කටයුතුද, විදුලිබලය සපයන පෞද්ගලික අංශයේ ආයතන විසින්ම පවරා ගන්නා අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ව්‍යාපෘතිය වාණිජ මෙහෙයුම් ඇරඹීමට පෙරම අධිතක්සේරු කළ පිරිවැය තුළින් ජනිත වන විශාල ලාභයක් හිමිකර ගැනීමට අවකාශ සැලසී ඇත.
සාමාන්‍ය වෙළෙඳපොළ පොලී අනුපාතයන්ට වඩා බෙහෙවින් වැඩි අනුපාතයන් යටතේ විදුලි බලය සපයන පෞද්ගලික අංශයේ ආයතන ලබාගත් මූල්‍ය පහසුකම් සඳහා ලංවිම විසින් පොලී පිරිවැය ගෙවනු ලබයි. වාණිජ පොලී අනුපාත මත ලබාගත් මූල්‍ය පහසුකම් සඳහා තවදුරටත් ීඋ්ඡු අනුපාතයන් ගෙවීම තුළින් මූල්‍ය පිරිවැය අධිතක්සේරු වී ඇත.
වෙළෙඳපොළ මිල ගණන්වලට බෙහෙවින් ඉහළ මිලකට තරගකාරී නොවන පදනමක් හරහා රක්ෂණ වාරිකවල මිල නියම කරගෙන ඇත. රක්ෂණ අයිතිවාසිකම් ඉල්ලීමකදී, විදුලි බලය සපයන පෞද්ගලික අංශයේ ආයතන රක්ෂණ අයිතිවාසිකම් භුක්ති විඳින අතර, ඒ සඳහා ලංවිම විසින් වාරිකය ගෙවනු ලබයි.
කාරක ප‍්‍රාග්ධනය ප‍්‍රධාන වශයෙන් ආරක්ෂණ ඉන්ධන තොග සඳහා වේ. එය මූලික ව්‍යාපෘති පිරිවැයට එකතු වන අතර එහි ප‍්‍රතිලාභ වාණිජ මෙහෙයුම් ඇරඹීමෙන් පසු විදුලිබලය සපයන පෞද්ගලික අංශයේ ආයතන ලබාගන්නා නමුත් එය කිසිවිටෙකත් ලංවිමට ආපසු ගෙවීමක් හෝ ගැළපීමක් සිදු නොකරයි.
ඉන්ධන ප‍්‍රවාහන පිරිවැය වෙළෙඳපොළ අනුපාතයන්ට වඩා බෙහෙවින් ඉහළය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පෞද්ගලික අංශයට ගෙවනු ලබන ඉන්ධන ප‍්‍රවාහන අනුපාතයන්ට වඩා තුන් ගුණයක පමණ අනුපාතයක් විදුලි බලය සපයන පෞද්ගලික අංශයේ ආයතන අය කරනු ලබයි.
විදුලි බලය මිලදී ගැනීමේ ගිවිසුම්වල ඌනතා නිසා, කොටස් හිමිකම ප‍්‍රාග්ධන පිරිවැයෙන් සියයට 30ක් පමණ වන විදුලි බලය සපයන පෞද්ගලික අංශයේ ආයතන, ඉහත වාසි අත්විඳින අතර සාමාන්‍ය ජනතාවට අවසානයේ ලංවිමයේ අධික පාඩුවල බර දැරීමට සිදුවේ. සමස්තයක් වශයෙන් ඉහතින් සඳහන් කළ අධිතක්සේරු කළ පිරිවැය 2007 වෙළෙඳපොළ මිල ගණන්වලට අනුව නැවත ගණනය කළහොත් මෙගාවොට් 550ක තාප බලාගාරවලින් සැලකිය යුතු මුදලක් ලංවිමයට ඉතිරි කරගත හැක. ඉහත අවාසිදායක තත්ත්වයන් නිසා ඇතිවන වාර්ෂික පිරිවැය රුපියල් බිලියන 3ක් පමණ වේයැ’යි ඇස්තමේන්තු කර ඇත.
ඊට අමතරව වත්කම්වල වටිනාකමින් සියයට 70ක හිමිකාරිත්වය දීම තුළින් ලංවිමට අහිමිවන්නේ වාර්ෂික ලාභයෙහි තම කොටස පමණක් නොව කොන්ත‍්‍රාත් කාලපරිච්ෙඡ්දය අවසානයේ වත්කම් වටිනාකමද අහිමි වේ. ලංවිම මෙගාවොට් 550ක තාප බලාගාරයන් සඳහා ව්‍යාපෘති පිරිවැයෙන් සියයට 70ක් දරද්දී ලංවිමට අහිමි වන වාර්ෂික ලාභය දළ වශයෙන් රුපියල් බිලියන 3ක් පමණ වේ. ඒ අනුව විදුලි බලය මිලදී ගැනීමේ ගිවිසුම්වල පවත්නා අවාසිදායක කොන්දේසි නිවැරදි කිරීම තුළින්, ලංවිමට දළ වශයෙන් රුපියල් බිලියන 6ක් පමණ වාර්ෂිකව ඉතිරි කරගත හැක.
තවද, විදුලි බලය සපයන පෞද්ගලික අංශයේ ආයතන විසින් මෙහෙයවන මෙගාවොට් 100ක තාප විදුලි බලාගාර සඳහා වර්තමාන වෙළෙඳපොළ මිලට ගණනය කළ විට සියයට 70ක වත්කම් වටිනාකම් අහිමිවීම තුළින් ලංවිමට රුපියල් බිලියන 7ක් පමණ අහිමි වන බව ඇස්තමේන්තු කර ඇත. මෙම සියයට 70ක වත්කම් වටිනාකම විදුලි බලය සපයන පෞද්ගලික අංශයේ ආයතනවල සම්පූර්ණ ධාරිතාවටම ගැළපීම හරහා ලංවිමට ඉතා ඉහළ වටිනාකමකින් යුත්, වත්කම් ව්‍යාපෘති අවසානයේ ලබාගත හැක.
විදුලි බලය සපයන පෞද්ගලික අංශයේ ආයතන සමග පවතින විදුලි බලය මිලදී ගැනීමේ ගිවිසුම්වල බරපතළ වැරදි හේතුවෙන් ලංවිමට අධික පාඩු විඳීමට සිදුවී ඇති අතර, එය විදුලි මිල දැඩි ලෙස ඉහළ යෑමටද හේතුවී ඇත. මෙම ඌනතා නිවැරදි කර නොගතහොත්, ගල්අඟුරු ඇතුළු මිල අඩු බලශක්ති මූලාශ‍්‍ර මගින් ශ‍්‍රී ලංකාවේ විදුලි ජනනයේදී අපේක්ෂා කරන පිරිවැය අවම කිරීමේ ඉලක්ක ළඟා කරගත නොහැකි වේ. විදුලිබල උත්පාදනය කිරීම සඳහා වන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව හරහා අපේක්ෂිත ප‍්‍රතිඵල ලබාගැනීමට නම් එම ගිවිසුම තරගකාරී පදනමක් යටතේ අවදානම/ප‍්‍රතිලාභ බෙදාගැනීමේ පදනම මත සකස් කළ යුතුය. පවත්නා ගිවිසුම්, එකී කාල වකවානුවේ පැවති වාතාවරණය සහ හදිසි තත්ත්වය පදනම් කොට ගෙන ලංවිම සහ විදුලි බලය සපයන පෞද්ගලික අංශයේ ආයතන අතර එළඹගත් අතර වර්තමානයේ මෙම ගිවිසුම් යළි සලකා බලා විදුලි බලය සපයන සහ මිලදී ගනු ලබන පාර්ශ්වයන් අතර නිසි ලෙස අවදානම/ප‍්‍රතිලාභ බෙදී යන පරිදි සකසා ගත යුතුය.
වික්ටර් අයිවන් Rawaya [Sunday, May 5, 2013]
වික්ටර් අයිවන් Rawaya [Sunday, May 5, 2013]