පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුදු ගිය ධීවරයන් 27 දෙනකු මියගොස් තවත් ධීවරයන් 29 දෙනකු සහ ධීවර යාත්‍රා 31 ක් අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පසුගිය (7) දා රාත්‍රියේ හටගත් තද සුළං ස්වාභාවය සහ වර්ෂාව හේතුවෙන් මේ පිරිස මියගොස් තිබෙන අතර අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් මියගිය මුළු ගණන 28 ක් බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා දිනමිණ ට පැවසීය.
අහුංගල්ල පොලිස් වසමේ එක් පුද්ගලයකු මියගොස් තිබෙන අතර එම ප්‍රදේශයේ ධීවරයන් 17 දෙනෙකු සමඟ ධීවර යාත්‍රා 8 ක් අතුරුදන්ව තිබේ. ඊට අමතරව බෙන්තොට පොලිස් වසමේ එක් පුද්ගලයකු, මොරටුව ප්‍රදේශයේ එක් පුද්ගලයකු සහ ගාල්ල පොලිස් වසමේ එක් පුද්ගලයකු මියගොස් තිබෙන අතර බේරුවල පොලිස් වසමට අයත් පුද්ගලයෙකුද මියගොස් තිබේ.මේ අතර අනතුරට ලක් වූ ධීවරයන් 6 දෙනකුගේ ජීවිත බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ. අතුරුදන් ධීවරයන් සොයා සුරනිමල, සාගර සහ ජයසාගර නෞකා විශේෂ මෙහෙයුම් ආරම්භකර තිබෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට ඇදහැළෙන ධාරානිපාත වැසි සහ සුළිසුළං තත්ත්වය හේතුවෙන් ආපදා තත්ත්වයක් හටගෙන තිබෙන අතර ප්‍රදේශ රැසකින් මුහුදුගිය ධීවරයන් විශාල පිරිසක් මෙසේ අනතුරට පත්ව තිබේ.
අම්බලන්ගොඩ, මෝදර, දෙහිවල, මීගමුව, බේරුවල, ගාල්ල, බෙන්තොට, අහුංගල්ල ප්‍රදේශ ඒ අතර වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. අතුරුදන් ධීවරයන් සොයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකක් මෙහෙයුම් කටයුතුවල නිරතව තිබෙන අතර ඊට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව අතුරුදන් ධීවරයන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භකර තිබේ.
අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් මුහුදුගිය ධීවරයන් තිදෙනකු සමඟ ධීවර යාත්‍රාවක් සහ මෝදර ප්‍රදේශයෙන් මුහුදුගිය ධීවරයන් තිදෙනකු හා ධීවර යාත්‍රාවක් අතුරුදන්ව තිබෙන අතර දෙහිවල ප්‍රදේශයෙන් මුහුදුගිය ධීවරයන් පස්දෙනකු හා ධීවර යාත්‍රා 4ක් අතුරුදන්ව තිබෙන බවද පොලීසිය සඳහන් කරයි. මීගමුව ප්‍රදේශයෙන් මුහුදුගිය ධීවරයන් දෙදෙනෙකු හා ධීවර යාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙන අතර බේරුවල ප්‍රදේශයෙන් මුහුදුගිය ධීවරයන් 15 දෙනකුද හා ධීවර යාත්‍රා 14ක් අතුරුදන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටී.
මේ අතර විපතටපත් ධීවරයන් වෙනුවෙන් සහන සැළසීමට පියවර ගන්නා බව රජය සඳහන්කර ඇති අතර ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අනතුරට ලක් වූ ධීවරයන් 10 දෙනකු මේ වනවිට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මීට අමතරව අවිස්සාවේල්ල, මාතර, ගාල්ල, බේරුවල, බලපිටිය සහ රත්නපුර ප්‍රදේශවල පහත් බිම් කිහිපයක් ජලයෙන් යටවී තිබෙන බවද ගස් කඩා වැටීමෙන් බාධා එල්ල වූ අවිස්සාවේල්ල සහ වෙරළබඩ මාර්ගවල දුම්රිය ගමනාගමන කටයුතුද මේ වනවිට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව පොලීසිය සදහන් කරයි.