හැම තිස්සෙම හිනාවෙලා ඉන්නයි මම කැමැති - Ashika Manasinghe

‘හේඩි’ සුන්දර යුවතියකි. එහෙත් ඇය ආබාධිතයි. සිරුරින් ආබාධිත වුණත් ඇයගේ සිත ශක්තිමත්. ඒ නිසාම ඇයට ජීවිතය ජයගන්න හැකි වෙනවා. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ‘හේඩි’ ටෙලි නාට්‍යයේ හේඩිගේ චරිතය නිරූපණය කරන්නේ යොවුන් රංගන ශිල්පිනී අශිකා මනසිංහ. අද අප එක්කර ගන්නේ ඇයයි.

කොහොම ද ‘හේඩි’ ට ලැබෙන ප්‍රතිචාර?

දැන් මට හැමෝම කතා කරන්නේ හේඩි කියලා. මගතොටේ දී හමුවන අයත් ක්ෂේත්‍රයේ අයත් වෙඩින් එකක් වගේ උත්සවයක ගියාම හමුවන අයත් මට කියන්නේ හේඩි කියලා. ඒකෙන් තේරෙනවා ඒ චරිතයට සමාජයේ ගොඩක් දෙනෙක් ආදරය කරන බව.

කොහොමද ඔබ හේඩි ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ?

දවසක් සංජය නිර්මාල් අයියයි එයාගෙ නෝනයි අපේ ගෙදරටම ඇවිත් මේ ටෙලි නාට්‍යයේ පිටපත දුන්න. එදා ඔවුන් මට කතාව ටිකක් පහදල දුන්නා.

පිටපත ‍කියෙව්වට පස්සෙ මට හරිම ආශාවක් ආව මේ චරිතය කරන්න. ඒ මොකද මම දැනට කලාවට සම්බන්ධ වෙලා කලක් ගත වුණත් කාටත් දැනෙන විදියේ චරිතයක් කරන්න ලැබුණේ නෑ. ඒ ආශාව ‘හේඩි’ ටෙලි නාට්‍යයෙන් ඉටුකරගන්න ලැබුණා. ඒකට මම ස්තූතිවන්ත වෙන්නේ ‘හේඩි’ අධ්‍යක්ෂතුමාට.


මේ දවස්වල ඔබ මොන වගේ වැඩත් එක්ක ද ඉන්නේ...?
පසුගිය දින කීපයේම ‘හේඩි’ ටෙලි නාට්‍යයේත් ‘සිදන්ගනාවෝ’ ටෙලි නාට්‍යයේත් රූපගත කිරීම්වලට සහභාගි වුණා. මේ දවස්වල ටිකක් විවේකයෙන් ඉන්නවා.

ඔබ කොහොම ද කලාවට සම්බන්ධ වුණේ?

මම ඉගෙන ගත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ. පාසලේ තිබුණු සෝෂල් ඩේ එකකට සහභාගි වෙන්න ඕන වෙලා අන්දගන්න මම ගියා කමලා කහගලගේ මහත්මිය හමුවෙන්න. ඇය මගෙ අම්මගෙ යාළුවෙක්. එදා ඇය මට කිව්ව ‘දුව රඟපාන්න යොමුවෙන්න ඔයාට ඒක හොඳවෙයි’ කියල. රඟපෑම ගැන මට අදහසක් ආවෙ එදා. ඊට පසුව මම කමලා මහත්මියගේ සහ මගේ පාසල් මිතුරියක් වන ජනප්‍රිය නිළි මංජුලා කුමාරිගේ මඟපෙන්වීම මත වෙළෙඳ දැන්වීමකට සහභාගි වුණා. ඒ, මීට අවුරුදු 10 කට ඉස්සර. පළමුවෙන්ම මාව ටෙලි නාට්‍යයකට සම්බන්ධ කරගන්නේ එච්. ඩී. ප්‍රේමරත්න සර්. ඒ විදියටයි මම කලාවට සම්බන්ධ වුණේ.

මේ වන විට ඔබ ටෙලි නාට්‍ය කීයකට පමණ දායක වෙලා තියෙනව ද?

ටෙලි නාට්‍ය 15 කට මේ වන විට දායක වෙලා තියෙනව. ‘කිඳුරංගනා’, ‘සසර බැඳි බැමි’, ‘සසර සෙවණැලි’, ‘හිමිකාරි’, ‘භාර්යාවෝ’, ‘නිලංජනා’ වැනි ටෙලි නාට්‍ය.

තවම සිනමාවට ආරාධනයක් ලැබුණේ නැත් ද?
ආරාධනා ලැබුණා. නමුත් සිනමාව වැනි දැවැන්ත ක්ෂේත්‍රයකට සහභාගි වෙන්න මට තාම දැනුමක් නෑ කියලයි මම හිතන්නේ. සිනමාවට මම තවම ළදරුවෙක්. ඒ නිසා වෘත්තීය රංගන ශිල්පිනියක් කියල හිතාගෙන සිනමාවට දායකවෙන්න තවම මට අපහසුයි. ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් යටතේ සිනමාව ගැන දැනගන්න ගමන් සිනමා නිර්මාණයකට දායක වෙන්න මම හරිම ආශාවෙන් ඉන්නේ.

ඔබ රංගනයට යොමු නොවුණා නම්...?

මගෙ පුංචි ආශාවක් තිබුණා බැංකු ක්ෂේත්‍රයට යොමුවෙන්න. ඒක මඟ හැරුණා. රංගනයට යොමු නොවුණානම් මම ව්‍යාපාරයකට යොමු වේවි; නැතිනම් ගෘහණියක් විදියට ඉඳීවි.

දිගටම ඔබ කලාවේ රැ‍ඳෙනව ද?
අවුරුදු 10 ක් තිස්සේ මම මේ ගමන ආවේ හරි හෙමින්. කලාකාරියක් විදියට අද මම පුංචි තැනක ඉන්නවා. ඉතින් මගේ රංගන හැකියාව හොඳින් පෙන්වමින් ඉදිරියේ දී හොඳ නිර්මාණවලට දායක වෙමින් හැකිතාක් කල් කලාවේ රැ‍ඳෙනවා.

කලා ක්ෂේත්‍රයේ පැතිර යන කටකතා ඔබට ගැටලුවක් නෙමෙයි ද?

ඇත්තටම මට කටකතා ගැන කිසිම ගැටලුවක් නෑ. මගෙ අම්ම, මගෙ මහත්තය මා වටා ඉන්න අය මා ගැන හොඳින් දන්නවා. ඒ නිසා කටකතා මට අදාළ නෑ. කටකතා ඇති නොවෙන විදියට වැඩ කරන්නයි මම හැම තිස්සේම උත්සාහ කරන්නේ.

මොනව ද ඔබේ පවුලේ තොරතුරු?

මගේ පියා බැංකුවක කළමනාකාරවරයෙක් විදියට වැඩ කළ කෙනෙක්. පියා දැන් ජීවතුන් අතර නෑ. අම්ම රාජ්‍ය සේවයේ වැඩ කළා. මට නංගිල දෙන්නෙක් ඉන්නව. මම විවාහකයි. මගෙ මහත්තය සුරේන්ද්‍ර ගුවන් හමුදාවේ ඉංජිනේරු වරයෙක් ලෙස සේවය කරනවා. මට පුංචි දුවෙකුයි පුතෙකුයි ඉන්නවා.

සුරේන්ද්‍ර ඔබ රඟපානවට කැමැති ද? ‍

සුරේන්ද්‍ර තමයි මාව රඟපෑමට උනන්දු කරන්නේ. එයාට කලාව ගැන කලා ලෝකය ගැන මටත් වැඩිය අවබෝධයක් තියෙනව කියල මට හිතෙනව. කලා ක්ෂේත්‍රයේ අය එක්කත් එයා හරිම සුහදයි. ඒක මට හරිම පහසුවක්. සුරේන්ද්‍රගේ උදව්ව උපකාරය මගේ අම්මගේත් සුරේන්ද්‍රගේ අම්මගේත් උපකාරය නැතිනම් පුංචි දරුවො දෙන්නෙක් එක්ක කලා කටයුතුවල යෙදෙන්න මට ලැබෙන්නේ නෑ.

ඔබ මොන වගේ කෙනෙක් ද?

හැමෝගෙම ආදරය ලබන්න මම කැමැතියි. තැනකට ගියාම මා එක්ක කතා කරනවට මට ආදරය දක්වන විට මම කැමැතියි. හැම තිස්සෙම හිනාවෙලා ඉන්නයි මම කැමැති. ඒ වගේම මම කිසිම දෙයක් හිතේ තියාගෙන ඉන්නේ නෑ. මම ඉතාම සරලව ජීවත්වෙන්න කැමැති කෙනෙක්.

ඔබට බලාපොරොත්තු ගොඩක් තියෙනව ද?

මහ විශාල බලාපොරොත්තු අපට නෑ. සුරේන්ද්‍රයි දරුවො දෙන්නයි එක්ක සතුටින් ඉඳීමයි විශාලම බලාපොරොත්තුව. කවදාහරි රංගනයට සම්මානයක් ගන්න පුංචි බලාපොරොත්තුවක් හිතේ තියෙනවා.

හැඩගැන්වීම - සමුද්‍ර
ඡායාරූප - ටෙනිසන්

Gossip Lanka Hot News Previous News Archive