
"දැනුම කේන්ද්‍රීය සංවර්ධන ඉලක්කය තුළ ළමුන් සියයට 65ක් සාමාන්‍ය පෙළ සමත් වෙනවා. අනෙක් 35% බෙල්ල නැති මනුස්ස ජීවිත. ගණිතය අසමත් නිසා විභාග දෙපාර්තමේන්තුව ඔවුන්ගේ හිස ගසා දමලා." අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසුවේ අ.පො.ස. උසස් පෙළට තාක්‍ෂණ විෂයය හඳුන්වා දීමේ උත්සවයට සහභාගි වෙමිනි.
"මෙතැන ඉන්න ගේර්රු මහත්තයත්, මමත් ඉපදුණේම උගන්වන්න. උගුරට ලේ රහ එනතුරු මේස් බැනියම ඇඟට ඇලෙනතුරු යෞවනයේ පොපියන චමත්කාරයත්, භද්‍ර යෞවනයත් අපි ඉගැන්වීම වෙනුවෙන් කැප කළා. වෘත්තීය පුහුණුව සහ පාසල අතර පාලමක් නැහැ. ඒ නිසා උසස් පෙළට තාක්‍ෂණ විෂයය ඇතුළත් කිරීමට යෝජනා කෙළේ ඩලස් ඇමැතිතුමායි.
පසුගිය කාලෙ නව නිපැයුම්කරුවන්ගේ තරගයේදී රටවල් 78ක් අතරින් ප්‍රථම ස්ථානයට ආවෙ ලංකාවෙ පොළොන්නරුවෙ දරුවෙක්. ඒ කාලෙ සාමාන්‍ය පෙළ මට්ටමට ආවම තිබුණු රජයේ පොදු විභාගයෙන් පාස් වුණේ සියයට 15.9ක් වගේ කොටසක්. මමත් ඒ කොටසෙ කෙනෙක්. එහෙම අය දක්‍ෂයො නොවේ, අති දක්‍ෂයෝ. අද අපිත් එක්ක සිටි අපේ යාළුවො කොහෙද බලද්දි සමහරු මැරිලා, සමහරු බන්ධනාගාරවල, සමහරු මත්ද්‍රව්‍යයන්ට පුරුදු වෙලා, සමහරු ජීවිත අරගලයෙන් හෙම්බත් වෙලා මහණ වෙලා.