ශ්‍රී ලංකා-එංගලන්ත තීරණාත්මක තරගය අදයි

එංගලන්තයටත් මාලිංග භිතිකාව
චැම්පියන්ස්‌ කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සඳහා තීරණාත්මක තරගයක්‌ වන එංගලන්තය සමග තරගය අද (13 දා) ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා රාත්‍රි තරගයක්‌ ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 5.00 ට පමණ ඇරඹීමට නියමිතය.

එංගලන්ත කණ්‌ඩායම සමග සමාරම්භක තරගයේදීම ඔස්‌ටේ්‍රලියාව පරාජය කරමින් මේ වන විට 'ඒ' කාණ්‌ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්‌ථානයට පත්ව සිටින අතර ඔවුන් අද තරගය ජය ගතහොත් අවසන් පූර්ව වටයට පැමිණීම සඳහා වැඩි අවස්‌ථාවක්‌ නිර්මාණය වනු ඇත.

ශ්‍රී ලංකාව මේ වන විට නවසීලන්ත තරගය පරාජය වීම මත අද තරගය ජය ගැනීම තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා බෙහෙවින් උපකාරී වන අතර ඊයේ (12 දා) පැවැති ඔස්‌ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර තරගයේ ජයග්‍රහණයද 'ඒ' කාණ්‌ඩයට තීරණාත්මක සාධකයක්‌ව පැවතිණි.ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහභාගිවූ තරග හයකදී හතර වරක්‌ පරාජය වී ඇති අතර තරග දෙකක්‌ පමණක්‌ ජයගෙන තිබේ. සත්කාරක එංගලන්ත කණ්‌ඩායම ඕවල් ක්‍රීඩාංගණයේදී ජයග්‍රාහී ප්‍රතිශතය 59% ක්‌ ලෙස පවත්වාගෙන යැමට සමත්ව තිබේ. එහිදී එංගලන්තය තරග 38 කට සහභාගි වී ජයග්‍රහණ 15 ක්‌ ලබා තිබේ.
ප්‍රේක්‍ෂකයන් 24500 කට පමණ තරග නැරඹිය ද ඕවල් ක්‍රීඩාංගණයේ අද තරගය සඳහා සියලු ප්‍රවේශපත්‍ර විකිණී අවසන්ව ඇති අතර මෙම තරගය සඳහා සූදානම් කර ඇති තණතීරුව පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටද මනා සහයෝගයක්‌ දෙනු ඇතැයි අපේක්‍ෂා කළ හැක. කෙසේ වෙතත් අද තරගය ශ්‍රී ලංකාව දළ ලකුණු වේගය කෙරෙහිද වැඩි අවධානය සමග ජය ගැනීම ඉදිරි වටය සඳහා වාසිසහගත වන අතර මේවන විට ශ්‍රී ලංකාව දළ ලකුණු වේගය - 1.048 ක ලබා සිටියි. එය 'ඒ' කාණ්‌ඩයේ අවම දළ ලකුණු වේගය ලෙස සටහන් වේ.

එංගලන්ත පිතිකරුවන්ගේ ප්‍රධාන අවධානය ලසිත් මාලිංග වෙතට එල්ල වී ඇති බව එංගලන්ත කණ්‌ඩායමේ ජොස්‌ බට්‌ලර් පවසයි.

සමස්‌තයක්‌ ලෙස එංගලන්ත කණ්‌ඩායම මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර, සහ තිලකරත්න ඩිල්ෂාන් කෙරෙහි විශේෂ අවධානයක්‌ සමගින් තරග වැදීමට සූදානම් බව බට්‌ලර් වැඩිදුරටත් පවසයි.

අද තරගය සඳහා ශ්‍රී ලංකා සංයුතියේ වෙනසක්‌ බලාපොරොත්තු විය හැකි බව ඊයේ පුහුණු වීම්වලදී පෙනෙන්නට තිබුණ අතර එහිදී නුවන් කුලසේකර තරගය සඳහා සූදානම් වන අයුරක්‌ දිස්‌විය. නුවන් කුලසේකර ක්‍රීඩා කළහොත් ෂමින්ද එරංගට සිය ස්‌ථානය අහිමිවී යැමට වැඩි අවස්‌ථාවක්‌ පවතී. එංගලන්ත මාධ්‍ය විසින් ශ්‍රී ලංකා යොවුන් ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පිළිබඳව ප්‍රසංශාත්මකව වාර්තා කර තිබෙන අතර එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ කුසල් පෙරේරා යනු සනත් ජයසූරියගේ අනුරුවක්‌ ලෙසය. ඔහුගේ පිතිහරඹය දිග හැරුණොත් එංගලන්ත කණ්‌ඩායමට හිසරදයක්‌ වනවාට සැක නැති බවද එංගලන්ත පුවත්පත් සඳහන් කර තිබේ.

Nuwan Kulasekara at the nets monitored by Sri Lanka bowling coach Chaminda Vaas at the net session at the Oval last afternoon. 

Gossip Lanka Hot News Previous News Archive