පසුගිය වෙසක් පුන් පොහෝ දිනය ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයින් මහත් කම්පනයට පත්වූ දිනයක් විය. ඉතිහාසයේ පළමු වතාවට මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට දී සංඝයා වහන්සේ නමක් තම සිරුරට ගිනි තබාගෙන අපවත්වීමේ ඛිෙදවාචකය ලොව පුරා ප්‍රචලිතවීමට ගතවූයේ ඉතා ස්වල්ප වේලාවකි.
ගව ඝාතනය නතර කිරීම හා තවත් ඉල්ලීම් කීපයක් මුල් කරගෙන මෙසේ සියදිවි හානිකර ගත්තේ බෝවත්තේ ඉන්දරතන හිමියන්ය. උන්වහන්සේ වෙසක් පුර පසළොස්වක දින දළදා මාලිගාව අභියසට පැමිණ සිය සිරුරට පෙට්‍රල් හලා ගෙන උන්වහන්සේ අත තිබූ ලයිටරයකින් දල්වාගෙන සිරුරට ගිනි තබාගත්හ.සමහරුන්ට මෙය ජීවිත පූජාවක් වූ වීර ක්‍රියාවකි. තවත් සමහරුන්ට මෙය සියදිවි නසාගත් නීච ක්‍රියාවකි. තවත් සමහරෙක් මෙම හිමිනමගේ ජීවිතය බේරාගැනීමට කටයුතු නොකර එම සිදුවීම වීඩියෝ ගතකළ මාධ්‍යවේදියාට දොස් පවරති.
මෙම ශෝකජනක සිදුවීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ විශාල පිරිසක් රැස්ව සිටියහ. ඒ පුන් පොහෝදින දළදා හිමි වැඳපුදා ගැනීමටය. එම පිරිස වෙනුවෙන් මල්, දන්සල්, සිසිල් පැන් දන්සල් හා කිරි දන්සල් ද එම ස්ථානයේ පැවැත්වෙමින් තිබිණි. කටුගස්තොට, කලුගලවත්ත, අංක 33 ඒ යන අංකය දරන ස්ථානයේ පදිංචි ටී.ඩබ්ලිව්.එස්.කේ. ඩයස් (48) මහතා තිදරු පියෙකි. ඔහුද එදින සිය බාල පුතු සංඛ සපුමල් (12) සමග දළදා වඳින්නට පැමිණියහ. ඒ වන විට වේලාව පෙ.ව. 10.45 පමණ විය. ඔවුන් දළදා වඳින්නට මල් වට්ටියක් ගැනීමට සූදානම්වෙද්දී ඒ අසල තිබූ කිරි දන්සලක් සංඛ සපුමල් පුතුගේ ඇස ගැටිණි.
තාත්තෙ කිරි දන්සලෙන් කිරි බොමු… සංඛ සිය පියාට යෝජනාවක් කළේය.
එම යෝජනාවට අවනත වූ ඩයස් සිය පුතු සංඛ සමග කිරි දන්සලෙන් කිරි කෝප්ප දෙකක් ගෙන බොමින් ඉදිරියට පැමිණියහ. ඉන් අනතුරුව සිදුවූ සිදුවීම ඩයස් මහතා විස්තර කළේ මෙලෙසය.
මමයි පුතයි දන්සලෙන් කිරි කෝප්ප දෙකක් අරගෙන බොමින් ඉදිරියට ආවා. එතකොට සංඝයා වහන්සේ නමක්ද අපේ ඉදිරියට ආවා. උන්වහන්සේ කීවා ගව ඝාතනය හෙළා දකින්න ඕනේ. ගව ඝාතනයට මම විරුද්ධයි. දළදා වහන්සේ ඉදිරියේ අධිෂ්ඨාන පූජාවක් කරලා මම ගිනි තියාගන්නවා කියලා. ඒ හාමුදුරුවෝ එතන එහෙට මෙහෙට ඇවිද ඇවිද කිව්වා. එහෙම කියන ගමන් සිවුර හදාගෙන පෙට්‍රල් කෑන් එකකින් ඇඟට පෙට්‍රල් හලා ගත්තා. ඒ හාමුදුරුවන්ගේ වම් අතේ නිල්පාට ලයිටරයක් තියනවා මම දැක්කා. ඒත් එක්කම සංඛ පුතා ඇහුවා තාත්තෙ මේ හාමුදුරුවෝ මැරෙන්න පෙර බේර ගන්න ක්‍රමයක් නැද්ද කියලා… මට හිතුණා මේ හාමුදුරුවෝ ගිනි තියාගනියිම කියලා. මම ආයෙ දෙපාරක් හිතුවේ නැහැ. බොමින් හිටිය කිරි කෝප්පය අතහැරලා එක පාරටම හාමුදුරුවන් අත තිබුණු ලයිටරය උදුර ගන්න මම ඉදිරියට පැන්නා. ලයිටරයට මගේ අත අඟලක් වගේ තිබියදී හාමුදුරුවෝ ලයිටරය පත්තු කළා. එක පාරටම හාමුදුරුවන්ගේ ඇගේ මහා ගිනි ජාලාවක් පත්තු වුණා. මගේ ඇඟටත් ගිනි ඇවිළුණා. හාමුදුරුවො ගිනි ජාලාවකින් වැසී යන විට මම අහකට පැන්නා. ඒත් සමගම මගෙ ඇඳුම්වලට ගිනි ඇවිළුණා. මගේ ඇඟට ඇවිළුණු ගින්න නිවන්න වත් කවුරුවත් කිට්ටුවට ආවෙ නැහැ. මම දළදා වහන්සේ සිහිකරගෙන මගේ ඇගේ තිබුණු ගිනි තනිවම නිවාගන්න උත්සාහ කරමින් දුවන්න පටන් ගත්තා. කවුදෝ කියනවා ඇහුණා ඇඳුම ගලවන්න. ඇඳුම ගලවන්න කියලා. ඒත් එක්කම මම බිම වැටුණා. …. බිම පෙරළෙමින් මම ගින්න නිවන්න උත්සාහ කළා. ඒ අතර තමයි මගේ දෙවනි පුතා එතනට ඇවිත් මගේ ඇගේ තිබූ ගින්න නිව්වේ…….
මමයි සංඛ පුතයි ගෙදරින් එනවිට මගේ දෙවනි පුතා හිටියෙ ගෙදර. ඒත් සිද්ධිය වුණ තැනට නුදුරින් මම වැටිලා නැගිටින කොට දෙවනි පුතා මගේ ළඟට ආවා. මට තවමත් හිතාගන්න බෑ. මම දළදා වඳින්න එනකොට ගෙදර හිටපු මගේ පුතා මේ සිද්ධිය වෙලාවෙ මගේ ළඟට ආවෙ කොහොමද කියලා. පුතා ඇවිත් තාත්තෙ……. තාත්තෙ……. කියලා මගේ ඇගේ තිබුණු ගින්දර නිවලා දැම්මා. දෙවනි පුතා ඇහුවා මගෙන් කෝ තාත්තෙ පොඩි මල්ලි කියලා. ……. මම කිව්වා සංඛ පුතා මට මගහැරුණා. ඉක්මනට හොයන්න කියලා. මගේ දෙවනි පුතා සංඛ පුතාව සොයාගෙන ආවා මම ඉන්න තැනට. පසුව පුතා මාව ත්‍රීවිල් එකක දාගෙන පේරාදෙණිය රෝහලට ගෙන ගියා. එතනින් මූලික ප්‍රතිකාර කරලා මාව ගිලන් රථයකින් මහනුවර මහ රෝහලට මාරු කර එව්වා……
මට තවමත් හිතෙනවා මාව බේරගන්න මොකක් හරි අදෘෂ්‍යමාන බලවේගයකින් මගේ දෙවනි පුතා මගේ ළඟට එව්වා කියලා. එදා මගේ පුතා නොහිටින්න මමත් හොඳටම පිළිස්සී මගේ ජීවිතයත් නැති වෙන්න ඉඩ තිබුණා. මම ඉපදුනේ මහනුවර ත්‍රිකුණාමලය විදියේ නිවසක. දළදා හිමිගේ ආශිර්වාදය ලබමින් මම ඉපදුනේ. මම හිතනවා ඒ ශක්තිය ධෛර්යය නිසා මම මේ වගේ දෙයකට පෙළඹෙන්න ඇති කියලා. මම තව තත්පරයක් ඉස්සර වුණා නම් කොහොම හරි හාමුදුරුවො අත තිබුණ ඒ ලයිටරය උදුර ගන්නවා. ඒත් ඉතින් අනේ මම මේක දැක්කෙ ක්ෂණිකව. මේ සිදුවීම වෙලාවෙ හාමුදුරුවො බේරගන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. මම බැලුවෙ හාමුදුරුවෝ අපවත් කරනවාට වඩා උන්වහන්සේ ජීවත් කරවන්නයි. මට ඒ වෙලාවේ කිසිම බියක් දැනුණේ නැහැ.
මෙම හිමිනම අපවත් වුණා කියලා දැනගත් විට මට මහා දුකක් ඇතිවුණා. අනේ දෙවියනේ මම තව ටිකක් ඉස්සර වුණා නම් මේ හිමිනම අද ජීවතුන් අතර නේද කියලා හිතුණා…….. මම අවංකවම මේ හාමුදුරුවො ගිනි තියාගත් එක අනුමත කරන්නේ නැහැ. ජීවිතය විනාශ කර ගැනීම උතුම් ක්‍රියාවක් නොවෙයි. ජීවිතය නැතිකර ගැනීම මහා පාප කර්මයක් . භික්ෂූන් වහන්සේලා හෝ කවුරුන් වේවා ජීවිතය නැති කර ගන්නවාට වඩා ජීවත්ව හිඳිමින් විශාල සේවයක් රටට, සමාජයට කරන්න පුළුවන්. ඒ නිසා මම බෞද්ධයෙක් ලෙස මෙම සිදුවීම අවංකවම අනුමත කරන්නෙ නැහැ. කියා ඩයස් මහතා කියයි.
මෙම සිදුවීම අවස්ථාවේ අහඹු ලෙස තම පියාගේ ජීවිතය බේරාගැනීමට පියවර ගත් ඩයස් මහතාගේ දෙවනි පුත් ඉරේෂ් දිල්ශාන් (20) මෙසේ කීය.
මම රැකියාව කරන්නෙ මහනුවර රැජින හෝටලයේ . එදා මෙම සිදුවීම වුණ දිනයේ මට රැකියාවට යන්න තිබුණෙ දහවල් දෙකට. ඒත් එදා වෙසක් පුන් පොහෝ දින නිසා තාත්තයි පොඩි මල්ලියි මාලිගාවට ආවා. මමත් ඊට ටික වේලාවකට පසුව මගේ මිතුරෙක් සමග මහනුවරට ආවා. මම ටිකක් කලින් නුවරට ආවෙ දළදා මාලිගාවට ගොස් දළදා වැඳගෙන වැඩට යන්නයි. මම මහනුවරට බස් එකෙන් ඇවිත් මාලිගාව ඉදිරිපිට බස් නැවතුම්‍පොළෙන් බැස්සා. එතකොට වෙලාව දහවල් 11.00 ට විතර ඇති. මම එතනින් බැහැලා මාලිගාවට යන්න යන විට බෝ ගහ යට විශාල ගිනි ජාලාවක් දැක්කා.
මිනිසුන් ඒ මේ අත දිව්වා. මම දැක්කා ඒත් එක්කම හාමුදුරුනමක් ගිනිගෙන කට්ටිය වටවෙලා නිමනවා. ඒත් සමගම කවුද ගිනිගෙන දුවනවා දැක්කා. එයා තනියම ගින්න නිවාගන්න උත්සාහ කළා. මට හිතුණා එයාට උදව් කරන්න ඕනෙ කියලා. මම එතනට ළංවෙලා බලනකොට දෙවියනේ ඒ මගේ තාත්තා. මම ඉක්මනට ඒ ගින්න නිවා දැම්මා. ඒ අසල තිබුණු හෝටලයකින් වතුර ඉල්ලගෙන තාත්තගේ ඇඟට දාලා තාත්තාගේ ඇගේ ඇවිලී තිබූ ගින්න නිවා දැමුවා. ඊට පසුව මල්ලි හෙව්වා. මල්ලියි මමයි තාත්තව පේරාදෙණිය රෝහලට ඇතුළත් කළා.
මම පස්සෙ තමයි දැන ගත්තෙ තාත්තා මේ ගින්න නිවන්න ගිහින් තාත්තගේ ඇඟට ගිනි ඇවිළුණා කියලා . ඇත්තටම හරි කනගාටුයි. තාත්තා ගිනිගෙන දුවනකොට කවුරුත් තාත්තා දිහා බැලුවේ නැහැ. මම එතනට ආවෙ නැතිනම් තාත්තව තවතවත් ගිනිගෙන පිළිස්සෙන්න ඉඩ තිබුණා.
ඇත්තටම හරිම කනගාටුයි කියන්න. සමහරු කීවා තාත්තා තමයි හාමුදුරුවන්ට ගිනි තිබ්බෙ කියලා. තාත්තා ගියේ හාමුදුරුවෝ බේරගන්න. ඒත් මිනිසුන් මොනව කීවත් කවදාහරි සත්‍ය ජය ගනීවි ඔහු හැඟුම්බරව කීය.
මෙම හිමිනමගේ ජීවිතය බේරා ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ බවට අද බොහෝදෙනා කතා කරති. තවත් සමහරු මෙම සියදිවි නසා ගැනීම ජීවිත පූජාවක් ලෙස අගය කරති. එහෙත් තම ජීවිතය පරදුවට තබා හිමිනම ගිනිතබා ගැනීම වැළැක්වීමට ගියේ ඒ සිදුවීම දෙස බලා සිටි සිය ගණනක් අතරින් ඩයස් මහතා පමණි. අධික ලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිටින ඩයස් මහතා දෙස බලන්නට අද කිසිවෙක්ද නැත. ඩයස් මහතාගේ පරාර්ථකාමී ඒ වීරත්වය අගය කරන්නටද අද කිසිවෙක් නැත. ඒ බව අප කනගාටුවෙන් වුවද සිහිපත් කළ යුතුය.
- ගයා වන්නිආරච්චි / Lakbima