පුතා ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය බලන්න ආසාවෙන් හිටියේ. හැමදාම කියනවා බලන්න යමුකෝ කියලා. ඒ නිසා මම කීවා ඉරිදා යමු කියලා. එදා පෝය කියලවත් මට මතකයක් තිබුණේ නෑ. මම චූටි දුවත් ලෑස්‌ති කරගෙන ලොකු පුතාත් එක්‌ක රඹුක්‌කන චිත්‍රපටය පෙන්වන හෝල් එකට ගියා. එතැන හිටිය කෙනෙක් කීවා අද පෝය නිසා හෙට එන්න කියලා. ඒ නිසා මම පුතාට කීවා අපි දළුග්ගලේ පන්සලටත් ගිහිල්ලා බතඹුරේ මහ ගෙදර යමු කියලා. එහෙම යනකොට කෑගල්ල පැත්තේ ඉඳලා අපේ ඇඟටම බස් එකක් එනවා මම දැක්‌කා. මම දරු දෙන්නා එක්‌ක කාණුවට බැස්‌සා. මට මතක එච්චරයි. සිහිය එනකොට මම හිටියේ රඹුක්‌කන රෝහලේ යෑයි ඉකුත් පොසොන් පොහොය දින රඹුක්‌කන දළුග්ගලදී දරු දෙදෙනකු මරුමුවට පත් කරමින් සිදු වු මාරක අනතුරට මුහුණදුන් එම දරුවන්ගේ මව වන ඩබ්ලිව්. සිරිමා ස්‌වර්ණලතා (38) මහත්මිය පැවසුවාය.
මෙම අනතුරින් මරණයට පත්වූයේ රඹුක්‌කන හේවාදිවෙල අළුගොල්ලේ පදිංචිව සිටි ඒ. සසංක මිහිරංග (අවු( 11) සහ ඒ. මල්ෂා නෙතුමිණි (අවු( 2) යන දරු දෙදෙනාය.මෙම අනතුරට මුහුණ දුන් ස්‌වර්ණලතා මහත්මිය හේවාදිවෙල අළුගොල්ල සමුපකාර ප්‍රාදේශිකය භාරව සේවය කරමින් සිටි අතර ඇයගේ ස්‌වාමි පුරුෂයා වන ඒ. සුසන්ත කිත්සිරි යුධ හමුදා සේවයේ යෙදී සිට වෛද්‍ය හේතූන් මත සේවයෙන් ඉවත්ව සිටින අයෙකි.

මෙම දරුවන්ගේ ඥති නැන්දනියක වන රඹුක්‌කන රෝහලේ උපස්‌ථායිකාවක ලෙස සේවය කරන පී. චම්පා දිල්රුක්‍ෂි ජයතිලක මහත්මිය.
මිය ගොස් සිටින්නේ මගේ ඥති මල්ලිගේ දරු දෙන්නා. අනතුරවෙලා රෝහලට ගේනකොටත් මම සේවය කරමින් සිටියේ. මට අදහාගන්න බැරි වුණා. මට දරු දෙන්නා දකින කොට ඉබේම කෑ ගැහුණා.

අළුගොල්ල විහාරයේ විහාරාධිපති සියඹලන්ගමුවේ ධම්මසිරි හිමි,
මියගොස් සිටින සසංක පුතා මෙම විහාරස්‌ථ දහම් පාසලේ සිටින තවත් දක්‍ෂ දරුවෙක්. නොවරදාවම දහම් පාසල් එනවා. මේ දරුවා අපි තෝරාගෙන හිටියා මෙවර විහාරස්‌ථානයේ පැවැත්වෙන උත්සවයකදී බටනලා වාදනයට සහ බෙර වාදනයකට. දක්‍ෂ බෝසත් දරුවෙක් තමයි මේ රටට අහිමිවෙලා තිබෙන්නේ.
රඹුක්‌කන පොලිසිය විසින් සිද්ධියට සම්බන්ධ බස් රථයේ රියෑදුරු සහ බස් රථයද අත්අඩංගුවට ගෙන අධිකරණයට 23 දින ඉදිරිපත් කරන ලද අතර 24 වැනිදා රියෑදුරු ඇප මත නිදහස් කර තිබේ. මේ නිසා බොහෝ පිරිසක් රඹුක්‌කන නගරයට එක් රොක්‌වී කලහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන තිබූ අතර පොලිසිය මැදිහත්වී පිරිස විසුරුවා හරින ලදී.
මෙම මාරක අනතුර සිදුවූ රඹුක්‌කන - කෑගල්ල මාර්ගයේ පුද්ගලික බස් රථ පසුගිය 23 වැනිදා සහ 24 වැනිදා ධාවනය නොකිරීම නිසා මගීහු දැඩි ගමන් දුෂ්කරතාවකට පත්ව සිටියහ. මෙම දරු දෙදෙනාගේම උපන් දිනය වී තිබුණේ අගෝස්‌තු මස 10 වන දින වුවද ඊට පෙර මරු වැළඳගත් සිඟිති මල්ෂාගේ සහ සසංකගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු ඊයේ (26 වැනිදා) පස්‌වරුවේ හේවාදිවෙල, අළුගොල්ල දෙමටගොල්ල පවුලේ සුසාන භූමියේදී විශාල පිරිසකගේ සෝ සුසුම් මැද සිදුවිය.
දිවයින පුවත්පත ඇසුරිනි