වාස් ගුණවර්ධන ජූලි 9වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් නමැත්තාගේ ඝාතනයේ සැකකාර පොලිස් කොස්තාපල්වරයකුගේ බිරියට දුරකථනයෙන් තර්ජනය කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරියට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එම්. සහබ්දීන් මහතා ඊයේ (25) නොතිසී නිකුත් කළේය.
කොස්තාපල් (51799) අතපත්තුගේ ගාමිණි සහන්චන්ද්‍ර නැමැත්තාගේ බිරියට දුරකථන ඇමතුම් 25කට අධික ප්‍රමාණයක් ගෙන වාස් ගුණවර්ධන මහතාගේ බිරිය මෙසේ තර්ජනය කොට ඇත. මේ සෑම ඇමතුමක්ම දුරකථන ඇමතුම් කාලය තත්පර සීයය ඉක්මවන බවට රහස් පොලිසිය වාර්තා මඟින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
'ඔයාගේ මහත්තයා රජයේ සාක්කිකරුවෙකු වෙන්න හදනවා කියලා ආරංචියි, අපිට විරුද්ධව සාක්කි දෙන්න එපා' යැයි පවසමින් පවුලේ අයට දුරකථනයෙන් බලපෑම් කළ බවට රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව මේ අමැතුම් තහවුරු වන බව පැවසූ රහස් පොලිසිය ඇය අධිකරණයට ගෙන්වා සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට තරයේ අවවාද කරන මෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. සියාම් නමැත්තාගේ ඝාතන සිද්ධිය ඊයේ (25) යළි අධිකරණය හමුවේ කැඳවූ අතර බන්ධනාගාර අධිකාරී විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අධිකරණයට ඉදිරිපත් කොට තිබිණ.
මෙහිදී පැමිණිල්ලට මුල පුරමින් අධිකරණය වෙත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පැවසුවේ සිද්ධියට සම්බන්ධ පළමු හා දෙවන සැකකරුවන් තවමත් රහස් පොලිසියේ රැඳවුම් භාරයේ සිටින බවය.