තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධියෙන් වසර එකහමාරකට පසුවත් ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් ආරම්භ නොවීම පිළිබඳව බ්‍රිතාන්‍ය රජය සිය දැඩි කනස්සල්ල පළකර තිබේ.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ තම රටවැසියාට සාධාරණය ඉටු කිරීම සඳහා අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා තුරු දිගින් දිගටම තමන් මේ පිළිබඳ අවධානය යොමු කරන බවයි. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
තංගල්ලේදී නිවාඩුවක් ගත කරමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් මරාදමා ඔහුගේ පෙම්වතිය වික්ටෝරියාට පහර දීමේ සිද්ධියට වසර 1 1/2ක් ගතවී ඇත. එහෙත් මේ පිළිබඳ නඩු විභාගයක් තවම ආරම්භ නොවීම නිසා බ්‍රිතාන්‍ය රජය ඉමහත් කනස්සල්ලට පත්ව සිටී. අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවා මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාට සාධාරණය ඉටුවන තුරු බි්‍රතාන්‍ය රජය මේ ගැන අවධානයෙන් සිටිනු ඇත. මේ ගැන සාධාරණය ඉටු කිරීමෙන් මියගිය කුරාම් ෂෙයික්ගේ පවුලේ උදවියට මෙන්ම ශ්‍රී ලංකාවේ සෑම වසරකම සංචාරය කරන්නට බලාපොරොත්තු වන බිබ්‍රිතාන්‍ය සංචාරකයන්ටද ඉමහත් අස්වැසිල්ලක් වනු ඇත.
2011 වසරේ දෙසැම්බර් 25 වැනි දින තංගල්ලේ නේචර් රිසෝට් නම් හෝටලයේ පැවැති නත්තල් සාදයේදී ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සේවකයකු වූ කුරාම් ෂෙයික් සාමන් නමැත්තා වෙඩි තබා කපා මරා දමා ඔහුගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩර් නෝවා හට පහර දී දූෂණය කර බරපතළ තුවාල සිදුකර තිබිණි.
මේ සිද්ධිය පිළිබඳව තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ මහතා ඇතුළු 6 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන 2012 නොවැම්බර් මාසයේදී ඇප මත මුදාහරින ලදී.