ඊජිප්තුවේ නයිල් ඩෙල්ටාවේ පුංචිම පුංචි ගම්මානයක ජීවත්වුණු හසනාත් ෆවුසි තමන්ගේ දහතුන් හැවිරිදි දුවත් සමඟ හදිසියේම වාගේ අස්ලාන් හමෞදා දොස්තර මහත්තයාගේ පෞද්ගලික සායනයට ගොඩවැදුනාය. හසනාත් ෆවුසිට දොස්තර මහත්තයා හමුවී කතා කරගන්නට වැදගත් සහ බරපතළ දෙයක් තිබිණි.
වැදගත් වූත්, බරපතළ වූත්, ඒ මදිවාට අතිශයින්ම තීරණාත්මක වූත්, එකී කාරණය වූ කලී සිය දහතුන් හැවිරිදි සුහයිර් අල් බටා දුවණියගේ ජනනේ්න්ද්‍රිය විච්ඡේදනය කිරීමේ කටයුත්ත නොහොත් සම්ප්‍රදායික සුන්නත් කරන කාර්යයයි.ගමේ ගොඩේ කාගේ කාගේත් පවුල්වල නිතර දෙව්ලෙහි ඇතිවන මේ වගේ වුවමනා ඉටුකරදෙන ගැහැනුන් නොකැඳවා හසනාත් දිස්පැන්සරියකටම ආවේ වැඩි ආරක්ෂාව බලාගෙන ය. එක් පැත්තකින් දුවට අනතුරක් නොවී පහසුවෙන් හා වේදනාවකින් තොරව වැඩය කරවා ගන්නට පුළුවන් වන්නේ මේ වාගේ පෞද්ගලික දිස්පැන්සරියක් තුළදී ම.
දුවව නිර්වින්දනය කර විච්ඡේදන කටයුත්ත ශල්‍යකර්මයක් විදියට සලකා කරන්නේ දොස්තර මහතුන්ම පමණක් නිසා අම්මා එහෙම හිතුවාය. ගමේ ගොඩේ ගැහැනුන්ට අණක් ගුණක් නැත. ඒ නිසා නිර්වින්දනය කිරීමක් ගැන තබා තමන් ගෙන එන බඩු බාහිරාදියේ පිරිසුදුකම ගැනවත් ඔවුහු නොසිතති.අනෙක් පැත්තෙන් රටේ ලෝකයේ තියෙන නීතිය ගැනත් ටිකක් සැලකිලිමත් විය යුතු බව හසනාත් දැන සිටියාය. ඊජිප්තුව කාන්තා සුන්නත්කරණය තහනම් කළේ 2008 වසරේදීය.
කවරකු හෝ එහෙම දෙයක නියැළී අසුවුවහොත් මාස තුනේ සිට වසර දෙකක් දක්වා වූ සිර දඬුවමක් විඳින්නටත්, ලොකු දඩ මුදලක් ගෙවන්නටත් සුදානමින් සිටිය යුතු බව අම්මා දන්නීය.
ඒ කොයි කොයි කරදරයෙනුත් බේරී තමන්ගේ විශ්වාසයේ හැටියට ගැහැනියක වෙනුවෙන් කළ යුතු වැදගත්ම කාර්ය මේ විදියට කරවා ගැනීමේ සැලසුම හස්නාත් ෆවුසිගේ හිත ඇතුළේ පැසෙමින් තිබිණි.
තමන්ගේ වාරය ආ විට වෛද්‍යවරයා ළඟට කිට්ටු වුණු හසනාත් අම්මා පැමිණි කාරණය වටින් ගොඩින් නොකියා කෙළින්ම කියා දැම්මාය. කාරණය කියද්දි ඈ තරමක කලබලයකිනුත් පසු නොවුණාම නොවේ. සිද්ධ වෙන්නට යන දෙය ගැන තරමක බයකින් සහ සැකෙකින් පසුවුණු සුහයිර් දුව දොස්තර මහත්තයාත්, අම්මාත් අතරට මැදි වී ඒ දෙදෙනාගේ සංවාදයට මහත් වුවමනාවෙන් කන්දීගෙන සිටියාය. වැඩිහිටියන් දෙදෙනාගේ කතාව තීරණයකින් ඉවර විය.
ඒත් වැදගත්ම දෙයක් සාකච්ඡා නොවුණු බව සුහයිර්ට වැටහිණි. ඒ නිසා ඈ ටිකක් ඉස්සර වූවාය. වැදගත්ම දේ ඇය හෙම්බිරිස්සාවෙන් පෙළෙන බව මෙහිදී සාකච්ඡා නොවීමයි. තමන් සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන බව ඇය වෛද්‍යවරයාට සැලකර සිටියාය. හෙම්බිරිස්සාවෙන් වැඩයට බලපෑමක් නැති බව පහදා දුන් වෛද්‍යවරයා දුවට ආහාර පානාදියෙන් වැළකී සිට පසුදාම තමන්ගේ සායනයට එන්න යැයි කියා කීවේය. අම්මාත්, සුහයිර් දුවත් ආපසු හැරුණහ.
තීරණාත්මක පසුදාට හිරු පහන් විය. වෛද්‍යවරයාගේ උපදෙසට අවනත වුණු අම්මාත් දුවත් සායනයට පැමිණියහ. වෛද්‍යවරයා සුහයිර්ව නිර්වින්දනය කළේය. ඊළඟට ඇයව සුන්නත් කිරිමේ කටයුත්ත ඇරඹුවේය. ඊට වැඩි වෙලාවක් ගත නොවිණි.
“ඔපරේෂන් එක සාර්ථකයි. තුවාලවලින් රුධිරය වහනය වෙන්නෙත් නැහැ. ඒ නිසා දුවට වැඩි වේදනාවක් නැහැ” යැයි කියා වෛද්‍යවරයා අම්මාට කිව්වේ ඔහුගේ වගකීම් අවසන් බව ද දක්වමිනි.
වැඩය සාර්ථක වුණත්, රුධිරය නොගැලුවත්, වේදනාවක් නොතිබුණත් දුවට සිහි එන පාටක් තිබුණේ නැත. අම්මා කලබල වුවාය. ඈ දුවගේ තාත්තාත් අඬගසාගෙන දුවව ළඟම තිබෙන රෝහලට ඉක්මනින්ම රැගෙන ආවාය. රෝහල වෙත රැගෙන එන විට ඇගේ රුධිර පීඩනය විශ්වාස කරන්නට බැරි තරමට පහළ බැස තිබිණි.
රෝහලේ වෛද්‍යවරුන්ට කරන්නට තවත් කිසිවක් ඉතිරි වී තිබුණේ නැත. නිර්වින්දන ඖෂධ සිරුර තුළ ක්‍රියාත්මක වන විට වැසූ දෑස් ආයෙත් විවර කරන්නට සුහයිර්ට, අවස්ථාවක් ලැබුණේ ද නැත. වසාගත් දෙනෙතින්ම ඈ සැවොම හැර දා ගියාය.
සුහයිර්ගේ මරණයත් සමඟ ම අස්ලාන් හමෞදා දොස්තර මහත්තයාගේ දෑතට මාංචු වැටිණි. සුහයිර් මිහිගැබේ අඳුරුම තැනෙකට වැදෙමින් ඉරණම විසඳා ගනිද්දී විවිධ මට්ටමේ පරීක්ෂණ මෙන්ම නඩු විභාග යනාදිය එක දිගට දිග හැරෙන්නට පටන් ගත්තේය. අස්ලාෆ් හමෞදා දොස්තර මහත්තයා නිර්වින්දන කටයුතු ගැන දැන උගත්කම් ලත් කෙනකු නොවන බව හෙළිවිය. කාන්තා සුන්නත්කරණය ඊජිප්තු නීතිය අනුව සැලකෙන්නේ අපරාධයක් හැටියටයි.
ඒ නිසා අස්ලාන් හමෞදා දොස්තර මහත්තයාත් අපරාධයක් කළ කෙනකු හැටියට සැක කර නඩුව විභාග කිරීම ආරම්භ වී ඇත. නඩු විභාගවලදී වෛද්‍යවරයා දිගින් දිගටම කියන්නේ තමන් සුහයිර් පවුලේ අයගේ වුවමනාවට මේ ශල්‍යකර්මය කළ බව පමණි. කාගේ වුවමනාවට කළත් කර තිබෙන්නේ නීතියට පටහැනි දෙයක් බව ඔහුට නොවැටහෙන්නේ මන්දැයි කියන ගැටලුව පැන නැඟේ. මොනවා කිව්වත් කළත් සුහයිර්ගේ මරණයත් සමඟම ඔහු විශාල අභියෝගයක් ඉදිරියට පැමිණ තිබේ.
ඒ අභියෝගය මතු වී තිබෙන්නේ සුහයිර්ගේ මරණයෙන් අවදිවුණු ලෝක බලධාරින්ගේ බලපෑම් සමඟය. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සුහයිර්ගේ මරණය සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණ වාර්තාවක් ඉල්ලා සිටී.
මේ පරීක්ෂණ වාර්තා මගින් හෙළි නොවන රහසක් සුහයිර්ලා වැනි දැරියන්ගේ ඉරණම පසුපස ලියැවී තිබෙන බව ලෝක සංවිධානවල නියෝජිතයෝ දැනටමත් අවබෝධ කරගෙන සිටිති. ඒ අනෙකක් නොව මිථ්‍යාවයි.
සුහයිර්ට අත්වුණු ඉරණමේ මුල පාරාවෝ රජ පෙළපතේ පාලන කාලය තරමටම පැරණි යැයි කියා කියැවේ. කාන්තාවන්ගේ ජනනේන්ද්‍රය විච්ඡේදනය කිරීමේ කටයුතු ඒ කාලයේදීත් සිදුකෙරී ඇත. හාපි නමින් හැඳින්වෙන නයිල් දෙවියන් ද කාන්තා සුන්නත්කරණයත් සමඟ ඇඳී සිටී.
හාපි දෙවියන් පුංජායාංගධාරියෙකි. වෙනත් විදියකට කිවහොත් පුරුෂයකුගේ වේශයෙන් පෙනී සිටින, කාන්තාවක් මෙන් පයෝධර දරන දෙවි කෙනෙකි.
පවුලක දියණියන් සිටිය යුතු වන්නේත් ඒ ආකාරයට යැයි කියන මතය එදා සිටම සමාජයේ මුල් බැස ගත්තේ මේ පුංජායාංගධාරී දෙවියන් නිසයි. කාන්තා ජනනේන්ද්‍රීයය, පුරුෂ ජනනේන්ද්‍රීයක් බවට පත්වීම වළකා ගැනීමට කාන්තාවන් සුන්නත්කරණය කළ යුතුය යන මතය ඉපැරණි ඊජිප්තු සමාජය තුළ ඒ සමඟම රෝපණය වී තිබේ.
කවදා කොහොම ආරම්භ වුණා දැයි කියා නිශ්චිතවම කියන්නට බැරි කාන්තා සුන්නත්කරණය අද වනවිට රටවල් 28 ක සංස්කෘතීන් සමඟ බද්ධව තිබේ. බටහිර නැඟෙනහිර සහ ඊසානදිග අප්‍රිකා රාජ්‍යයන්, මැදපෙරදිග රාජ්‍යයන් සහ ආසියාවේ ඇතැම් රාජ්‍යයන් මේ රටවල් 28ට අයත් වේ.
ලෝක සෞඛ්‍යය සංවිධානය කියන විදියට ලෝක ජනගහනයෙන් මිලියන 140ක කාන්තාවෝ සහ ගැහැනු ළමෝ පිරිසක් සුන්නත්කරණයේ වේදනාව අත්විඳිති. එයින් මිලියන 101ක්ම ජීවත් වන්නේ අප්‍රිකාවේ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
ගැහැනියක වීම සුන්නත්කරණයේ දුකට මුහුණදෙන්නට සුදුසුකමකි. “ගැහැනුන් කිලිටිය, අපවිත්‍රය, ඔවුන්ගේ අපවිත්‍ර බව නැතිකරන්නට මේ වගේ දෙයක් හොඳයි” ඒ සමහර සමාජවලදී කාන්තා සුන්නත්කරණය සාධාරණීකරණය වන හැටියි. තවත් සමහර සමාජ දැරියක ස්ත්‍රීභාවයට පැමිණ වීමේ සංස්කෘතික සම්ප්‍රදාය ඉටුකරන්නේ සුන්නත්කරණයත් සමඟයි.
ඒ සමාජවල මේ දුක නෑ සිය මිතුරන් සමඟ සතුටින් බෙදා ගන්නා උත්සවයකි. ලිංගිකත්වය සම්බන්ධයෙන් ගැහැනියකට දැනෙන ප්‍රහර්ෂය නොඉවසූ සමාජය ඇයව එයින් ඈත්කර තබන්නට මෙවැනි චාරිත්‍රයක් හඳුන්වා දුන් බවටත් සාක්ෂි තිබේ. එයින් තරුණියකගේ පවිත්‍රත්වය රැකේ යැයි කියන විශ්වාසය මුල් බැස ගෙන තිබිණි.
ඊසාන දිග අප්‍රිකාවේ කාන්තා සුන්නත්කරණය එහි වහල් වෙළෙඳාම සමඟ සම්බන්ධ වී තිබුණු බව දේශපාලන විද්‍යාඥ ගෙරී මැකී පවසයි. ඔහු කියන්නේ වහලුන් වශයෙන් වහල් හිමියන්ට විකුණා දැමු බොහෝ ගැහැනුන්ගේ ජනනේන්ද්‍රය විච්ඡේදනය කර තිබුණු බවකි.
පිළිසිඳ ගැනීම් ඇති නොවන්නට වහල් ගැහැනුන්ගේ ජනනේන්ද්‍රීයන්ට මැහුම් යොදා තිබුණු බවකුත් ගෙරී මැකී පවසයි. එවක් පටන් මේ අපරාධය ලොව සෑම තැනෙකම පැතිරී ගිය බවට සාක්ෂි ඇත. කාන්තාවන්ගේ සරු බව රැකීමටත් උපතේදී දරුවන් මියයාම අඩු කරන්නටත්, කාන්තා ජනකේන්ද්‍රීය ව්‍යවච්ඡේදනය කළ යුතු බවට විශ්වාසයක් ඇතැම් සමාජවල අදටත් තිබේ. සමහර සමාජ තුළ කාන්තාවන්ට මේ හිංසනය පමුණුවන්නේ ආගමේ නාමයෙනි.
“සුන්නත්කරණය කියන්නේ අල්ලාහ් දෙවියන්ගේ අණක්. අල්ලාහ් දෙවියන්ගෙන් ලැබුණු ඒ අණ යථාර්ථයක් කළ යුතුයි” කියා කියන්නේ ඊජිප්තුවේ ඉස්ලාමික ආගමික කටයුතු පිළිබඳ නායකයකු වන ෂෙයික් යුසෙෆ් අල් බඩ්‍රිය.
ෂෙයික් බඩ්‍රි කියන ආකාරයට ඉස්ලාමික ආචාර ධර්මවලට ලැදි සමහර රටවල් දැන් දැන් බටහිර අනුකරණය කරන්නට පටන්ගෙන තිබේ. ඒ නිසා ඒවායෙහි කාන්තා සුන්නත්කරණය සිදුවන්නේ නැත. එහි ජනයා නියම ඉස්ලාමික බැතිමතුන් විය නොහැකි බවත් ෂෙයික් බඩ්‍රි පෙන්වා දෙයි. මේ මත සහ විශ්වාස පදනම් කරගෙන ෂෙයික් බඩ්‍රි ඊජිප්තු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ එරට තුළ කාන්තා සුන්නත්කරණය යළිත් නීතිගත කරන ලෙසයි.
දැරිය නිර්වින්දන තත්ත්වයට පමුණුවා සුන්නත්කරණය කිරීම ඇරඹුණේ මෑතකදීය. එතෙක් එය සිදුවුණේ හිරිවැට්ටවීමකුදු නැතිව අතිශය අමානුෂික තාඩන පීඩනවලට දැරිය යටත් කරමිනි. එදා සිටම මේ කටයුත්ත ප්‍රගුණ කළ වැඩිහිටි ගැහැනු ඒ ඒ සමාජ තුළ සුන්නත්කරණ චාරිත්‍ර ඉටුකළහ. ඔවුහු එය සිදුකරන හැටි මැනැවින් දැන සිටියහ.
තමන්ගේ කාර්ය කිරීමට ඔවුන් උපයෝගීීකර ගත්තේ පිහිය, රේසර, කතුරු, වීදුරු කැබලි, ඉතා තියුණු ගල් සහ හොඳින් තියුණු කරන ලද නියපොතු ය. මේවා ආශ්‍රයෙන් කැපුම් සිදුකරන ඔවුහු ඊළඟට මැහුම් දැමීමත් කළහ. ඒ සඳහා උපයෝගී කරගත්තේ ගස්වල උල්කටුය. පුංචිම පුංචි පහේ ගලක් පසට පෑගුණත් රිදුම් දෙන මිනිස් සිරුරේ සංවේදී තැන් අතට හසුවන ඕනෑම විදියක තිබුණු උල් අවි ආයුධයකින් කපා කොටා දමන විට ඇති වන්නේ කෙබඳු වේදනාවක් දැයි කියා අමුතුවෙන් කිව යුතු නැත.
ප්ලෑන් යූකේ වෙබ් අඩවියට තමන්ගේ අත්දැකීම් කියන ඊජිප්තු ජාතික විසි නව හැවිරිදි සාමියා ගේ මේ කතාව ටිකක් විමසිල්ලෙන් කියෙව්වොත් පුංචි කෙල්ලකට මුහුණ දෙන්නට වන අත්දැකීම් මේ තරම් රළු ගොරෝසු වුණේ කොහොමදැයි කියා ඔබ ප්‍රශ්න කරනවා ඇත.
“කාන්තා සුන්නත්කරණයේ වේදනාව මේ රටේ සෑම ගැහැනු ළමයකුටම අත්විඳින්න වෙන දෙයක්. ගැහැනියකට ඒ අත්දැකීම කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. මට මතකයි, මම ඒ අත්දැකීමට මුහුණ දුන්නු හැටි. මගේ අම්මා මගෙත් මගේ සහෝදරියගේත් ජනනේන්ද්‍රීය ව්‍යවච්ඡේදනය කරන්න වින්නඹු ගැහැනියක් අරගෙන ආවා.
සිද්ධ වෙන්න යන්නේ මොකක්ද කියලා මට දැනුණා. ගෙයින් එළියට පැන්න මම ගම පටන් ගන්න තැන තියෙන කුඹුරු යාය හම්බ වෙනකම්ම දිව්වා. මම කොතෙකුත් පලා යන්න හැදුවා. කාටවත් හොයා ගන්න බැරි විදියට හැංගෙන්න පුළුවන් තැනක් හෙව්වා. ඒ වෙලාවේ මගේ හදවතේ ස්පන්දනය නැවතිලා තිබුණේ. මම හරිම අවාසනාවන්තයි. අන්තිමට මාව ඔවුන්ගේ අතටම අහුවුණා. ඒ අය නැවතුණේ මට ඒ වේදනාව දීලමයි...”
හරියටම කියනවා නම්, ඊජිප්තු ජාතික 13 හැවිරිදි ආහ්ලම් පසුගියදා මියගිය සුහයිර් වගේම පුංචි දැරියෙකි. හැම කෙනකුගේම සම්මුතියෙන් එකඟ කරගත් සමාජ සම්ප්‍රදායක කඳුළු ඒ ළපටි දෑස් මත තැවරුණු හැටි ඈ විස්තර කරන්නේ මෙහෙමයි.
“මට කවදාවත් ඒ දවස අමතක වෙන්නේ නැහැ. මගේ අම්මා මහ පාන්දරින්ම මාව නිදි පැදුරෙන් නැගිට්ටවලා ගත්තා. නැඟිටපන් දැන් මේ චාරිත්‍රවලට සුදානම් වෙයන් කියලා ඈ කෑගැහුවා. අම්මා කියපු කිසිම දෙයක් මට තේරුණේ නැහැ. මට හොඳටම බය හිතුණා. වයසක ගෑනු කෙනෙක් ඉක්මනින් ඇවිත් මගේ කාමරයට රිංගා ගත්තා.
එයා එයාගේ බෑග් එක ඇරලා රේසරයක් ගත්තා. අම්මා මාව තදින් අල්ල ගත්තා. කොච්චර තදින් අම්මා මාව අල්ලගෙන හිටියද කිව්වොත් මට හෙලවෙන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ එක්කම වයසක ගැහැනිය තමන්ගේ වැඩේ කරලා ඉවර කළා. මට වේදනාව දරාගන්න බැරුව ගියා. මම මරහඬ තියලා කෑගැහුවා.
ඒත් මගේ ඇඬිල්ලවත් වේදනාවවත් අහන්න කවුරුවත්ම මා ළඟට ආවේ නැහැ. දරාගන්න බැරි වේදනාව ඉවර වෙනකම්ම මම ඇඬුවා. මට ඇහුණා අම්මා වයසක ගැහැනියට සල්ලි වගයක් දෙනවා. ඒ එක්කම ඒ ගැහැනිය අපේ ගෙදරින් පිටවෙලා යන්න ගියා. තුවාලවලින් ආව ලේ මගේ ඇඟ පුරා ගලාගෙන ගියා. ඒත් මං ගැන බලන්න කාත් කවුරුවත් එහි හිටියේ නැහැ...”
තවත් මෙවන් කතා මිලියන ගණනක් ලෝකය පුරා තිබෙන බව අපි අමතක නොකළ යුතුවෙමු. ඒ දුක ගැහැනුන් ලුහුබඳිමින් එන්නේ මිත්‍යාව සහ ආගම ඉස්සර කරගත් පුරුෂ ආධිපත්‍යයේ අදිසි හස්තය සමඟයි. වෛද්‍ය විද්‍යාව හෝ වෙන මොනයම් විද්‍යාවක් හෝ කාන්තා සුන්නත්කරණය අවශ්‍ය බව හෝ වැදගත් බව හෝ තහවුරු කරන්නේ නැත.
වෛද්‍ය විශේෂඥයන් හැමවිටම පෙන්වා දෙන්නේ සුන්නත්කරණයට ලක්වුණු කාන්තාවන් තුළ මතුවන නොයෙක් ආබාධ තත්ත්වයි. මුත්‍රා පද්ධතිය ආශ්‍රිත ආබාධ, ආසාදන තත්ත්ව කාන්තාවන්ගේ සරු බව නැතිවීම, උපතේදී දරුවන් මියයෑම, කාන්තාවන්ගේ ජනනේන්ද්‍රය පද්ධතිය ආශ්‍රිත ආබාධ ඒ අතර තිබේ.
මේ සියල්ලටම වඩා මහා භයානක දෙයක් සුන්නත්කරණය හරහා සිදුවෙමින් ඇත. ඒ එච්.අයි.වී. දරුවන්ගේ ශරීරවලට ඇතුළුවීමට තිබෙන අවදානමයි. මෙය සිදුවන්නේ සුන්නත්කරණයේදී භාවිතයට ගන්නා ජීවානුහරණය නොකරන මෙවලම් නිසයි.
කාන්තා සුන්නත්කරණයට විශාල සමාජ වටිනාකමක් ලබාදෙන සංස්කෘතියක් තුළ සුන්නත්කරණයට ලක්නොවූ කාන්තාවන් ගණන් ගන්නේ නැත. සමාජයෙන් කොන් වී අඳුරු ජීවිතයක් ගත කරන්නට කා තුළත් කැමැත්තක් ඇති නොවේ. විශේෂයෙන් මවුපියෝ දරුවන්ට එහෙම ඉරණමක් උරුම කරන්නට නොකැමැත්තෝය.
දූලා දීග දී අම්මලා තාත්තලාත් නිදහස් විය යුතුය. කාන්තා සුන්නත්කරණයට වැඩි වටිනාකමක් දෙන සමාජයක් තුළ සුන්නත්කරණයට ලක් නොවූ ගැහැනියක් දීගයක යන්නටත් නුසුදුසුය. පවතින සංස්කෘතික ප්‍රවාහය තුළම හැපෙමින්, ගැටෙමින් ජීවිතය ගැට ගසා ගන්නට දඟලන මිනිසුන්ට විද්‍යාවත් අවිද්‍යාවත් අතර වෙනස පෙනෙන්නේත් දැනෙන්නේත් නැත.
එහෙව් ලෝකයක සුහයිර්ලා වැනි අහිංසක දැරියෝ ඕනෑ තරම් මිය ඇදෙති. 2005 වසරේදී යුනිසෙෆ් සංවිධානය කළ පර්යේෂණයකින් හෙළිව තිබෙන්නේ ඊජිප්තුවේ සිටින වයස අවුරුදු 15ත් 49ත් අතර කාන්තාවන්ගෙන් 96%ක්ම සුන්නත්කරණයට ලක්ව ඇති බවයි. කාන්තා සුන්නත්කරණය ඊජිප්තුව තුළ ඒ තරමට සුලබ වන විට කී දහසක් දරුවන් සුහයිර්ලා මෙන් අකලට මිය යන්නට ඇතිද?
ඇසුරිනි මංජුලා විජයරත්න