ලෝක ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක් අපතේ - Global Food Waste

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ගණන් බැලීම්වලට අනුව ලෝක ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක් (1/3) අපතේ යෑමට හෝ විනාශ වීමට භාජන වන බවත් මේ තත්ත්වය මත සෑම හත්දෙනකුගෙන් එක් අයකු බඩට අහරක් නොමැතිව නින්දට යන බව අනාවරණය වී ඇති බවත් ශ්‍රී ලංකා සොබා සාමුහිකයේ සභාපති තිලක් කාරියවසම් මහතා සඳහන් කරයි.

ඒ සමඟම ලොවපුරා වයස අවුරුදු පහකට අඩු ළමන් 20,000ක් දිනපතා බඩගින්න නිසා මියයන බවත් හෙතෙම පවසයි.ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ගණන් බැලීම්වලට අනුව සතියක් තුළදී ලෝකයේ මිල අධිකම ආහාර පරිභෝජනයක් දක්නට ලැබෙන්නේ ජර්මානු පවුල තුළිනි. එය ඩොලර් 500කි. ලොව සතුටින්ම සිටින ජාතිය ලෙස නම් කරන භූතානයේ ආහාර පරිභෝජන වියදම ඩොලර් 05ක් වේ.එසේම ආසියාවේ ආහාර පරිභෝජනයට වැඩිම විදයමක් දරන රට වන්නේ ජපානයයි. එය ඩොලර් 317ක් වන අතර එම ආහාරවලින් පරිසරයට ඇසුරුම් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුදාහැරෙන බව හෙළි වී තිබෙන බවද තිලක් කාරියවසම් මහතා පෙන්වා දේ.

මේ අනුව ඉහත කී බරපතළ තත්ත්වය හමුවේ ජන ජීවිතය ඉතා අසීරු අඩියකට භාජන වන තත්ත්වයක් තුළ පරිසරයට එමඟින් ඇතිවන බලපෑම පිළිබඳවද ඉලක්ක කර ගනිමින් මෙවර පරිසර දින තේමාව මඟින් අප සියලු දෙනාටම හිතන්නට යමක් මෙන්ම ඒ පිළිබඳ දැනුම්වත් වීම තුළින් අපගේ ආහාර රුචිකත්වය හා ආහාර තේරීම තුළ ඇති පාරිසරික බලපෑම් මොනවාද යන්න තේරුම් ගෙන තෝරා ගැනීම්වලට යොමු විය හැකි බව හෙතෙම පෙන්වා දේ.

ආහාර අපතේ හැරීම යනු ස්වාභාවික සම්පත් විනාශ කර හරින ප්‍රධාන මාර්ගයක් වන අතරම පාරිසරික ආර්ථික සහ මානුෂීය වශයෙන් සිදුවන බලපෑම්වලට ප්‍රධාන හේතුවක්ද වන බව තිලක් කාරියවසම් මහතා පෙන්වා දේ. මෙවර ජගත් පරිසර දින සැමරුම් තේමාව 'සිතමු' ආහාර ගනිමු, ඉතිරි කරමු, ඔබේ ආහාර පියසටහන අඩු කරමු' යන්නයි.

මේ තේමාව උපත ලැබුවේ ආහාර ඉතිරි කරමු වැඩසටහන හෙවත් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය, මැසේ ඔසෙල්ඩෝෆ් යන එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ සාගිනි පිටු දැකීමේ අභියෝග යන වැඩසටහන්වල එකතුවේ ප්‍රතිඵලයක් වශයෙන් බව පෙන්වා දෙන හෙතෙම ඒ තේමාව අනුව අප සියලු දෙනාටම අපගේ නිවෙසින් ව්‍යාපාරවලින් සිදුවන ආහාර අපතේ යෑම වැළැක්වීමට ක්‍රියාකාරී දායකත්වක් ලබාදීමේ අවස්ථාව ලැබී ඇතැයිද කියා සිටී. එමඟින් මුදල් ඉතිරිකර ගැනීමටත් ආහාර නිෂ්පාදනයේදී සිදුවන පාරිසරික හානිය අවම කරගැනීමත් නිවැරැදි පරිභෝජනය පිළිබඳ අවධානය යොමු කරලීමත් සමඟ ආහාර නිෂ්පාදන ක්‍රියාවලින් වඩා නිවැරැදි සක්‍රියතාවන්ට පත්කිරීම මඟින් ආහාර අපතේ යෑම වළක්වාලීමටත් ඒ සඳහා යොදවන වටිනා සම්පත් ආරක්ෂා කර ගැනීමටත් හැකි වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

Gossip Lanka Hot News Previous News Archive