මිනිසුන්ගේ සුවසෙත සඳහා වඩාත් අවශ්‍ය වන්නේ මුදල් ද? ආගමික විශ්වාස හෝ ඇදහීම්ද? එසේත් නැතිනම් එවැනි වෙනත් සාධකයක්ද? මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුර මීට වඩා වෙනස් එකක් බව බ්‍රිතාන්‍යයේ ජාතික සංඛ්‍යාලේඛන මූලාශ්‍ර මගින් පළමු වරට හෙළිදරව් වී තිබේ. ඉලක්කම් 6ක වැටුපක්, ආගමික විශ්වාස වැනි අන්සෑම කාරණයකටම වඩා මිනිසුන්ගේ සුබසෙත සඳහා වැදගත් වන්නේ විවාහ ජීවිතය බව මේ අලුත්ම හෙළිදරව්වයි.
ප්‍රීතිමත් මෙන් ම නිරෝගී ජීවිතයක් සඳහා කෙනකුගේ ආදායම පිළිබඳ කාරණයට වඩා විසි ගුණයක් ද, ඔහු හෝ ඇය සතුව නිවෙසක් තිබීමට වඩා දහතුන් ගුණයක් ද විවාහය බලපාන බව මේ සංඛ්‍යාලේඛන මගින් තහවුරු කෙරිණි. බ්‍රිතාන්‍යයේ සංඛ්‍යාලේඛනවලට අනුව නම් විවාහයෙන් පසු දරුවන් සිටීම හෝ නොසිටීම පිළිබඳ කාරණය ජීවිතයේ එදිනෙදා සතුට කෙරෙහි තීරණාත්මක සාධකයක් නොවන බව ද පෙනී ගොස් තිබේ. දරුවන් සිටී නම් ජීවිතයට වඩා පිරිපුන් බවක් මෙන්ම වටිනාකමක් ද ලැබෙන බව බ්‍රිතාන්‍යයන්ගේ අදහස විණි.
සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මේ සමීක්ෂණය සඳහා 165,000ක් දෙනා සහභාගී කරගෙන ඇත. ක්ෂේත්‍ර 4ක් ඔස්සේ තම ජීවිතය පිළිබඳ තොරතුරු සපයන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින ලදී. ජීවිතය පිළිබඳ ඔවුන්ට ඇති තෘප්තිමත්භාවය, ජීවිතයට ඇති වටිනාකම ඔවුන්ට දැනෙන හැටි, සහ ඔවුන් කොපමණ සතුටින් හෝ සාංකාවෙන් පෙළෙන්නේ ද යන වග මේ ක්ෂේත්‍ර වේ.
එරට සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමුවරට බ්‍රිතාන්‍ය ජාතිකයන් කොපමණ සතුටින් සිටීද යන්න සහ ඔවුන්ගේ සුබසෙත පිළිබඳ පිම්මක් ලබාගැනීම සඳහා මේ සංඛ්‍යා දත්ත අදාළ කර ගැනිණි. සමීක්ෂණයේදී අදාළ කරගත් වඩා වැදගත් සාධක දෙකක් වූයේ සෞඛ්‍ය සහ රැකියාවයි. විවාහය සහ සෙසු සිවිල් සබඳතා තුන් වැනි තැනට තිබිණි.
0 – 10 අතර පරිමාණයේ සිටි විවාහකයන්ගෙන් 0.14 මට්ටමක සහජීවනයෙන් යුතු යුවළ විය. 0.3ක මට්ටමක සිටි අය අවිවාහකයන්ට වඩා සතුටින් පසුවිය. වෙන් වූ හෝ දික්කසාද වූ අයට වඩා සතුටින් 0.4ක මට්ටමක අයවිය. සමීක්ෂණ වාර්තාව සම්පාදනය කළ මණ්ඩලයේ සාමාජිකයකු වන ඩෝන් ස්නේප්ට අනුව, විවාහය යනු පුද්ගල ජීවිතවල ස්ථාවර බව, අගනාකම් ආදිය සම්බන්ධයෙන් විශාල ලෙස වැදගත් කාරණයක් බව පෙනී ගොස් තිබේ. දරුවන් සිටීම පිළිබඳ කාරණයට ලැබී ඇති ප්‍රතිචාරය අනුව පෙනෙන්නේ එය අපේක්ෂා කළ තරම් සතුට හා සම්බන්ධ වී නැති බවයි.
“මිනිස්සු (විවාහක) තරුණ කාලයේ දී වගේම මහලු වියේදීත් සතුටින් ඉන්නවා. සාපේක්ෂව මැදි වයසේ ඉන්න අය සිටින්නේ එපමණ සතුටකින් නෙවෙයි. හේතුව, ඔවුන්ට වැඩි වගකීම් පැවරී තිබීම...” ස්නේප් සමීක්ෂණයේ ප්‍රතිඵල පිළිබඳ විස්තර කරමින් කියා තිබේ.
සමීක්ෂකයන්ට අනුව, මේ සමීක්ෂණයේදී අනපේක්ෂිත ප්‍රතිඵල ද ඔවුන්ට ලැබී ඇත. උපාධිධාරීහු, විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලැබූවන්ට වඩා සාංකාවෙන් පෙළෙමින් සිටියහ. බ්‍රිතාන්‍යයේ ඉහළම ආදායම් ලබන 10%ක් දෙනා අඩු ආදායම් ලබන්නන්ට වඩා සාංකාවෙන් පෙළිණි.
තම සෞඛ්‍ය තත්ත්වය බෙහෙවින් අයහපත් බව ප්‍රකාශ කළ අය සිය ජීවිත තෘප්තිය 2.4ක පරාසයේ රැඳවීය. එය යහපත් සෞඛ්‍යයෙන් පසුවූ අයට වඩා අඩු මට්ටමකි. එමෙන්ම ඔවුන්ගේ සතුටුදායක බව 2.6ක පරාසයේ තිබිණි. එයද හොඳින් සිටි අයට වඩා අඩු මට්ටමකි.
විරැකියාවෙන් පෙළෙන්නන් සිටියේ ජීවිතය පිළිබඳ අතෘප්තිමත් ස්වභාවයකිනි. ජීවිතය පිළිබඳ ඇති වටිනාකම එතරම් නොවන බව ඔවුන්ගේ හැඟීම විය. ඔවුන් සතුටුදායක ජීවිත ගත කළ අයද නොවේ. සාපේක්ෂව රැකියා නියුක්තිකයන් වඩා සතුටුදායක ජීවිතගත කරමින් සිටි අයයි.
රැකියා වියුක්තිකයෝ සාංකාවෙන්ද පෙළෙමින් සිටියහ. රැකියා නියුක්තිකයන් අතරින් තම රැකියාව පිළිබඳ තෘප්තිමත්භාවයකින් සිටි අයට වඩා වෙනත් රැකියාවකට යාමට අපේක්ෂාවෙන් සිටි අයගේ ජීවිත තෘප්තිය අඩු මට්ටමක විය. පුද්ගල සුබසෙත පිළිබඳ සමස්ත දැක්මට අනුව තරුණ ජනයා මෙන්ම වයෝවෘද්ධ ජනයාද ඉහළ ලකුණු ලබා සිටියේය. මැදි වයසේ පසුවන්නන්ට ලැබී තිබුණේ අඩු ලකුණු සංඛ්‍යාවකි.
බ්‍රිතාන්‍යය සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකුට අනුව මේ සමීක්ෂණයෙන් ලැබෙන නිගමන ජාතික මට්ටමේ වැදගත්කමක් සහිතය.
“පුද්ගල සුබසෙත පිළිබඳ අපට මෙයින් ලැබෙන තේරුම් ගැනීම ජාතියේම සුබසෙත පිළිබඳ වැදගත් බලපෑමක් ඇති කරන්නනක්. නමුත්, මේ අප දකින්නේ සමස්ත චිත්‍රයෙන් කොටසක් පමණයි. සමස්ත චිත්‍රය නිවැරැදිව දකින්නට නම් ආර්ථික, සමාජයීය මෙන්ම පාරිසරික සාධකත් වීම එක්විය යුතුයි. අපේ රටේ සැබෑ තත්ත්වය අප දකින්නේ එවිටයි...”
මේ සමීක්ෂණය මගින් අනාවරණය කෙරෙන විවාහ ජීවිතය පිළිබඳ දත්ත බ්‍රිතාන්‍ය වැනි රටකට වඩාත් වැදගත් බව පෙනෙන්නේ එංගලන්තයේ හා වේල්සයේ සෑම පුද්ගලයන් 4 දෙනකුගෙන්ම එක් අයෙක් අවිවාහකයන්ව සිටින බැවින් ද විය හැකිය.
මේ ඵලදායි සමීක්ෂණය මහා බ්‍රිතාන්‍ය ආවරණය වන පරිදි 2011 වර්ෂයේ සිට 2012 මාර්තු දක්වා 160,000ක් දෙනා සහභාගී කර ගනිමින් සිදුවිය. එම සමීක්ෂණ වාර්තාව නිකුත් වූයේ පසුගිය දිනකයි.
ඇසුරිනි ධම්මික සෙනෙවිරත්න