ප්‍රා. ස. සභාපතිට මරණ දඬුවම නියම වෙයි - Mawanella PS Chairman to the gallows

මීට වසර 10කට පෙර වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී. පියතිස්ස මහතාට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විනිසුරුවරිය ඊයේ (5) මරණ දඬුවම නියම කළාය.කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල බෙලිමුල්ල ප්‍රදේශයේ මිය ගිය අයගේ නිවස ඉදිරිපිටදී 2003 / 2 / 12 දින සිදුවූ මේ සිද්ධියෙන් මිය ගියේ කුඩා රාල්ලාගේ කපිල පියන්ත පද්මකුමාර නම් 32 හැවිරිදි විවාහකයෙකි.

චෝදිත විත්තිකරු වූ කේ.ජී. පියතිස්ස නමැත්තාට එරෙහිව මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රාථමික නඩු විභාග ද පැවැත්වීමෙන් පසුව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර මේ නඩුව කෑගල්ල මහාධිකරණය වෙත ගොනු කර තිබුණි.නීතිපතිවරයා වෙනුවෙන් නඩුවේ පැමිණිල්ල රජයේ අධිනීතිඥ ෂෙහාන් ද සිල්වා මහතා විසින් මෙහෙයවනු ලැබූ අතර මෙහිදී මිය ගිය අයගේ බාල සොහොයරියක් වන කේ.ආර්. ගයානි රූපිකා කුමාරි වැඩිමහල් සොයුරු පාලිත විමලසේන සහ වැඩිමහල් සොයුරුගේ බිරිය චන්ද්‍රලතා සුදුමැණිකේ යන අයද මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විනිසුරුතුමිය ඉදිරියේදී සාක්කි දෙනු ලැබීය.

‍එම සාක්කිවලින් පැවසුණේ 2003 / 2 / 12 හෝ ආසන්න දිනක දහවල් කාලයේ සුදු පාට වෑන් රථයක් නිවස ඉදිරිපිට නතර කළබවත් කලුපාට ඇඳුමකින් සැරසී මුහුණු ආවරණ සහිතව පැමිණි තිදෙනෙක් වාහනයෙන් බිමට බැස ඔවුන් අත ගිනි අවිවලින් මිය ගිය අයට වෙඩිල්ලක් තැබූ බවත් ඒ වෙඩි ශබ්දයට එළියට ආ අනෙක් වැඩිමහල් අයියාටත් වෙඩිල්ලක් තැබු බවත් ඒ සමඟම වෙඩික්කරුගේ මුහුණු ආවරණය ගැලවී ගිය බවය.

ඔහු කේ.පී. පියතිස්ස බව හඳුනාගත්තා යනුවෙන් ඔවුන් සාක්ෂි දී තිබුණි. දඬුවම් නියම කිරීමට පෙර මේ පිළිබඳ තවත් යමක් පැවසීමට ඇත්දැයි චෝදිත විත්තිකරුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ මෙය පොලිසිය විසින් තමා අපහසුතාවට පත් කිරීමට ගොතන ලද්දක් බවත් ඔහුගේ සාක්ෂි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබුණ නිසා මෙම නඩු තීන්දුව තමා නොපිළිගන්නා බවත්ය. චෝදිත විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුනිල් අබේරත්න, නීතිඥ කන්ෂක බණ්ඩාර, නීතිඥ ආනන්ද කුමාරසිංහ යන මහත්වරුන්ද පෙනී සිටියහ.

Gossip Lanka Hot News Previous News Archive