“නිරුවත සහ බිය” නවතම රියැලිටි වැඩසටහන -New Reality Show 'Naked and Afraid'

 "නිරුවතින් දින 21 ක් නොමැරී ජීවත්වීමේ අත්දැකීම"

ලොව බොහෝ රටවල් මේ වන විට ටෙලිවිෂන් මාධ්‍ය තුළ විවිධ රියැලිටි වැඩසටහන් අත්හදා බලමින් සිටියි. එහිදී සංස්කෘතික හර පද්ධතීන් මෙන්ම අතුරු ප්‍රතිවිපාක නොතකා ලාභ අපේක්ෂාව පෙරමුණ ගෙන ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. තමාව ද ඇතුළුව සියල්ල විකුණන හා මිලදී ගන්නා පශ්චාත් නූතන අවධියක රියැලිටි වැඩසටන්වල ආකෘතිය පවා එහි සම්භාව්‍ය “ වැඩසටහන්මය” ගුණය බිංදුවට දමා තිබේ. රියැලිටි ලෝකයම උඩුයටිකුරු කිරීමේත්, එහි අවසානය නුදුරු කාලය තුළම සිදුවීමේත් පෙරනිමිති මේවන විට පහළවෙමින් ඇත.

 ඩිස්කවරි නාළිකාව මගින් හඳුන්වා දීමට නියමිත “නිරුවත සහ බිය” නමැති රියැලිටි වැඩසටහන කෙරෙහි ලෝකයේම අවධානය යොමුව ඇත්තේ මෙවැනි පසුබිමකය. මේ නවතම වැඩසටහන තුළින් රියැලිටි වැඩසටහන්වල සීමාව කොතැනද යන්න සනිටුහන් කරනු ඇති බවටත්, එය තවදුරටත් ප්‍රේක්ෂක ප්‍රතිචාරවල අන්තය කරා රැගෙන යනු ඇති බවටත් අනාවැකි පලකෙරෙමින් ඇත.

“නිරුවත සහ බිය” රියැලිටි වැඩසටහන සඳහා එකිනෙකා නොහඳුනන ස්ති‍්‍රයක හා පිරිමියකු යුගළ තරගකරුවන් ලෙස තෝරාගනු ලබයි. මොවුන් දෙදෙනා නොමැරී දින 21 කාලයක් පුරා සැතපුම් 10 ක දුරක්, සිදුවිය හැකි සියලුම කටුක අත්දැකීම් වලට නොබියව මුහුණදෙමින් එක් පූර්ව නිශ්චිත ස්ථානයකදී ස්වකීය ගමනාන්තය සටහන් කරමින් තරගය නිමා කළ යුතුය. මොවුන් තරගයට ඇතුළුවිය යුත්තේ මුළුමනින්ම නිරුවතිනි. සෑම වැඩසටහන් අංගයකදීම එකිනෙකාට වෙනස් යුගළ බැගින් එකිනෙකට වෙනස් ස්ථානවල පවත්වනු ලැබේ. වැඩසටහනේ මංගල දර්ශනය එළැඹෙන ජූනි මස 23 වැනි දින ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.


“තරගකරුවන්ට තරගයට ඇතුළත්වීමේදී තමන්ගේ කැමත්ත පරිදි එක් උපකරණයක් අතරමඟ භාවිතය සඳහා රැගෙන යන්නට පුළුවන්. ඒ වගේම අපි විසින් මඟ ලකුණු දක්වන අසම්පූර්ණ සිතියමක්ද ලබාදීමට කටයුතු කරනවා. ගමන් ආරම්භයේ සිට අවසානය දක්වාම සියල්ල කෙසේ හෝ කොතැනක හෝ සිට රූගත වෙනවා. හැම මොහොතක්ම සුවිශේෂීයි.” වැඩසහටනේ විධායක අධ්‍යක්ෂ ඩෙනිස් කොන්ටිස් පවසයි.

නිරුවතින් ගමන නිමාකිරීම පමණක් නොව මාලදිවයින, පැනමා සහ බෝරියෝ ජලාශ්‍රිත ප්‍රදේශවල යාත්‍රා කිරීම, සිතියම් ගත නොකළ මඩ වගුරු තරණය කිරීම ආදිය ඇතුළත්ව රියැලිටි වැඩසටහන්වලට සහභාගීවන තරගකරුවන්ට පළමු වරට දින 21 ක් නොමැරී ජීවත්වීමේ අත්දැකීම ලබාගත හැකිය. “අපට අවශ්‍ය වුණා සැබෑ නොවුණු යථා පිටපතක් ..”, “නිරුවත සහ බිය” උපුටා දක්වමින් කොන්ටිස් පවසයි.

“කේබල් නෙට් වර්ක්” විසින් නිෂ්පාදනය කරන ලද “ප්ලැනන්ට් අර්ත්” සහ “අප්‍රිකා” යන වාර්තා චිත්‍රපට මෙන්ම ප්‍රබන්ධයක් නොවූ වැඩසටහනක් වන “ශාක් වීක්” වැඩසටහන අතිශය ජනප්‍රිය විය.

එසේ පිටපත් රහිත වැඩසටහන් ප්‍රේක්ෂකයන් වඩාත් කැමැත්තෙන් භාරගැනීමත්, ඒවා අතිශය ජනප්‍රියවීමත් හේතුවෙන් මෙලෙස නවමු ආකාරයේ රියැලිටි වැඩසටහනක් දියත් කිරීමට ඩිස්කවරි නාළිකාව පෙලඹී ඇත.

“අපි ප්‍රධාන චරිතද්වයක් මගින් වෙනස් ආකාරයේ දේශ ගවේෂණයන් ගැන අයස්කාන්ත කතාවක් කියමින් ඉන්නවා. අපගේ වැඩසටහන්වල මූලික සංරචකයන් සියල්ල හෝ බොහෝ ප්‍රමාණයක් “නිරුවත හා බිය” තුළින් ප්‍රකාශයට පත්වෙනවා.” වැඩසටහන් අධ්‍යක්ෂවරයා පෙන්වාදෙයි.

තරගකරුවන්ගේ සෑම ඉරියව්වක්ම, සෑම මොහොතක්ම සිව් දෙනකුගෙන් යුත් කැමරා ශිල්පීන් කණ්ඩායමකින් රූ ගත කෙරෙන අතර සෑම දිනෙකම ඒ ඒ තරගකරුවන් යුවළට අදාළ නිෂ්පාදකවරයා සියලුම කැමරා දර්ශන එකතුකර ගැනීමට කටයුතු කරනු ලබයි. එසේම සියලුම කැමරාවල වියළි කෝෂ, මෙමරිකාඩ් පත් පරීක්ෂා කිරීමද දිනපතා සිදුකිරීමට අපේක්ෂිතය.

වැඩසටහනේ සුවිශේෂත්වය නිසාම ඇතැම්විට එය ප්‍රේක්ෂකයාට දරාගත නොහැකි තැනකට තල්ලුවී යාහැකි වුවහොත් අනුගමනය කරනු ලබන්නේ කුමන ආකාරයේ වැඩපිළිවෙළක්ද යන්න සංවිධායකයන්ට මේ වන තුරු අදහසක් නොමැත.

“කිසිදු ගණන් තැබීමක් නෑ. සිදුවීම් මාලාවට පිටපතක් නෑ...” ඔවුන් කියන්නේ එබැවිනි.

තරගකරුවන්ගේ ආරක්ෂාව හා ජීවිත අවදානම පිළිබඳ ද ඇත්තේ විචිකිච්ඡාවකි.

“මං දන්නේ නෑ. ඔවුන් දැනගෙන ඉන්නවා මේ ගමනේ භයංකාරත්වය. අදාළ ගමනට තල්ලු කළ පසු යා යුතු විදිහ යා යුතු ගමන තීරණය කරන්නේ ඔවුන් විසින්මයි. ඔවුන් දැනගත යුතුයි නොමැරී දින 21 ක් තුළ ගමනාන්තයට ළඟාවීමට..” වැඩසටහන් අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

මාස 10 ක කාලයක් තිස්සේ මෙහි පූර්ව නිෂ්පාදන කටයුතු සිදුකර තිබේ. එක්සත් ජනපදයේ මිලියන 100 ක පමණ නිවාසවල ජනගහනයක් ඩිස්කවරි නාළිකාව නරඹන අතර එයින් පිටත රටවල් 180 ක පමණද එය එකසේ ජනප්‍රියය. එහෙත් ලොව විවිධ සංස්කෘතීන් හා දේශපාලන - සමාජීය තත්ත්ව සමඟ දිවි ගෙවන මිලියන ගණනාවක් වන ජනතාවක් “නිරුවත සහ බිය”ට කෙසේ ප්‍රතිචාර දක්වාවිද යන්න අනාවැකි පළකළ හැකි නොවේ.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
දිනමිණ පුවත්පත ඇසුරිනි









Gossip Lanka Hot News Previous News Archive