ශ්‍රී ලංකාව තියුණු සටනකින් පසුව නවසිලන්තයට පරදී - New Zealand beat Sri Lanka by one wicket

වේල්සයේ කාඩිෆ් නුවර සොෆියා ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ ඉතාමත් අඩු මුළු ලකුණු සංඛ්‍යාවක් අතැතිව දියත් කළ ප්‍රබල සටන අසාර්ථක වීමෙන් ශ්‍රී ලංකාව ඔවුන්ගේ පළමු චැම්පියන්ස් කුසලාන තරගයේදී එක් කඩුල්ලකින් නවසිලන්තයට පරාජය විය.
පිතිකරණයෙන් අසාර්ථක වූ ශ්‍රී ලංකාව අන්තිම මොහොත වන තුරුම පන්දුවෙන් තියුණු සටනක් කළද තරගය ජයග්‍රහණය කිරීමට තරම් වාසනාවක් නොතිබිණි. නවසිලන්තය ලකුණු 139ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමේදී ඔවුන්ගේ කඩුලු 9ක් දවා ගැනීමට ශ්‍රී ලාංකික පන්දු යවන්නෝ සමත් වූහ. සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග ලකුණු 34කට කඩුලු 4ක් ලබා ගත් අතර ශමින්ද එරංග ලකුණු 45කට කඩුලු 2ක් ලබා ගත්තේය. රංගන හේරත් හා තිලකරත්න ඩිල්ෂාන් කඩුල්ලක් බැගින් ලබා ගත්හ. නවසිලන්තය තරගයේ තවත් පන්දු 81ක් ඉතිරිව තිබියදී කඩුලු 9කට ලකුණු 139ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

නවසිලන්ත පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඔවුන්ගේ කඩුලු 6ක් ලකුණු 80කට බිඳ දමමින් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් තුළ ජයග්‍රාහී බලාපොරොත්තු ඇති කළද ආරක්ෂා කර ගැනීමට තරම් මුළු ලකුණු ප්‍රමාණයක් නොතිබීම ශ්‍රී ලංකා පරාජයට හේතු විය.නවසිලන්ත ප්‍රබල පන්දු ප්‍රහාරය හමුවේ කුමාර් සංගක්කාර හැරෙන්නට අන් කිසිම පිතිකරුවෙකු දිගු වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අසමත් විය.
ඕවර 38ක් ඇතුළත ලකුණු 138ක් වැනි අඩු මුළු ලකුණු ප්‍රමාණයකට ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගිය අතර මින් ලකුණු 68ක්ම ලබා ගත්තේ සංගක්කාර ය. ජයග්‍රාහී නවසිලන්තනුවන් වෙනුවෙන් වඩාත්ම සාර්ථක පන්දු යවන්නා වූයේ වේග පන්දු යැවූ මිචල් මැක්ලෙනගන් ය. ඔහු ලකුණු 43කට කඩුලු 4ක් ලබා ගත්තේය. කයිල් මිල්ස් හා නේදන් මැකලම් කඩුලු 2 බැගින් ලබා ගත්හ.

ලුක් රොන්චි, කඩුලු රකින කුමාර් සංගක්කාර වෙත උඩ පන්දුවක් දෙමින් ප්‍රථමයෙන් ලකුණු 7කට දැවී ගියේය. ඒ, සිවුවැනි ඕවරයේදීය. 11 වැනි ඕවරයේදී එරංගගේ පන්දුවට මාටින් ගප්ටිල්ගේ පිත්තෙන් නික්ම ආ උඩ පන්දුව ‘ස්ලිප්’ ක්‍රීඩක මහේල ජයවර්ධන අල්ලා ගත්තේ උඩ පනිමින් ඉතාමත් දර්ශනීය අයුරිණි. සිවුවැනි කඩුල්ල ලෙසින් දැවී ගිය ගප්ටිල් හතරේ පහර 4ක් එල්ල කරමින් පන්දු 24කින් ලකුණු 25ක් ලබා ගත්තේය.

බ්‍රෙන්ඩන් හා නේදන් මැකලම් සොහොයුරන් මුළු ලකුණු ප්‍රමාණය 115 දක්වා ගෙන එමින් සිටියදී මාලිංගගේ අති දක්ෂ ‘යෝකර්’ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් බ්‍රෙන්ඩන් දැවී ගියේය. ඔහු හතරේ පහරක් සමග පන්දු 49කින් ලකුණු 18ක් ලබා ගත්තේය. මාලිංග ඔහුගේ ඊළඟ ඕවරයේදී කඩුල්ල තුළට දෝලනය වන යෝකර් පන්දුවකින් නේදන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය. හතරේ පහර 3ක් එල්ල කළ නේදන් මැකලම් පන්දු 42කින් ලකුණු 32ක් රැස් කළේය. නවසිලන්තය කඩුලු 8 ට ලකුණු 122 යි (ඕවර 31.2).

තිස්පස් වැනි ඕවරයේදී කයිල් මිල්ස් (3) දැවී ගියේ අපූරු ආකාරයකටය. ශමින්ද එරංගගේ පන්දුවට ටිම් සවුතී ‘මිඩ් ඕන්’ ස්ථානයට පහරක් එල්ල කර ඉක්මන් ලකුණකට යමින් පැති මාරු කර ගනිද්දී පන්දුව ඩැහැගත් තිසර පෙරේරා එය පන්දු යවන්නාගේ අන්තයට වීසි කළද එල්ලය වැරදිනි. එහෙත් ඒ වීසි කිරීමෙන් පිතිකරුගේ අන්තයට ගිය පන්දුව මිල්ස් සීමාවට ඒමට පෙර කඩුල්ලේ ගැටුනේය.

අවසානයේ තිස්හත් වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී නවසිලන්තය තරගය ජය ගත්තේය. සවුතී නොදැවී ලකුණු 13 යි. මිචල් මැක්ලෙනගන් නොදැවී ලකුණු 1 යි. ශ්‍රී ලංකාව 2013 චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඔවුන්ගේ මේ පළමු තරගය සඳහා නුවන් කුලසේකර වෙනුවට ශමින්ද එරංග කැඳවා තිබුණු අතර නවසිලන්තය කණ්ඩායමට ඩැනියල් වෙටෝරි යළි ඇතුළත්ව සිටියේය. වෙටෝරි මීට පෙර අවසන් වතාවට එක්දින ක්‍රිකට් ක්‍රීඩා කළේ 2011 ලෝක කුසලාන තරගාවලියේදීය.

හිරු එළියෙන් දීප්තිමත්ව තිබූ උදෑසනක කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දීමේ වාරය තම පිළට ලබා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළද තරගයේ පළමු ඕවර 10 අවසන් වන විට ශ්‍රී ලංකා කඩුලු 4ක් ලකුණු 38කට බිඳ වැටී තිබිණි. තරගයේ පළමු පන්දුවටම ශ්‍රී ලංකා පළමු කඩුල්ල බිඳ වැටුනේ ඉතාමත් අනපේක්ෂිත අයුරිණි. පිටියයේ කෙටී ඉහළින් පැමිණි කයිල් මිල්ස්ගේ පන්දුවට කුසල් ජනිත් පෙරේරා පහරක් එල්ල කළද දෙවැනි ‘ස්ලිප්’හි පන්දු රකිමින් සිටි නායක බ්‍රෙන්ඩන් මැකලම් ඔහුගේ වමට ඉගිළ යමින් හිසට උඩින් අත් දමා උඩ පන්දුව රැක ගත්තේ නරඹන්නන් විස්මයට පත් කරවමිණි.

එය ඉතාමත්ම උසස් ගණයේ උඩ පන්දු රැක ගැනීමක් විය. කුසල්ගේ දැවී යාම ශ්‍රී ලංකාවට මහත් පාඩුවක් විය. එතැන් පටන් විටින් විට කඩුලු බිඳ වැටෙන්නට විය. මුළු ලකුණු 27දී අනෙක් ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් දැවී ගියේය. හතරේ පහර 3ක් එල්ල කරමින් ආක්‍රමණශීලී ඉනිමක පෙරනිමිති පහළ කළද ඩිල්ෂාන්ට ලබා ගත හැකිවූයේ ලකුණු 20ක් පමණි. නවසිලන්ත හිටපු නායක ඩැනියල් වෙටෝරි දෙවසරකට වැඩි කාලයකට පසුව ඊයේ යළි ජාත්‍යන්තර තරග බිමට පිවිස යැවූ සිව්වැනි පන්දුවෙන්ම කඩුල්ලක් දඩයම් කර ගැනීමට සමත් විය.

ඔහුට ගොදුරු වූයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මහේල ජයවර්ධන ය. කඩුල්ල මුවා කිරීමේ වරදින් ඔහු දැවී යන විට රැස්කර ගෙන සිටියේ ලකුණු 4ක් පමණි. ශ්‍රී ලංකා නායකයාට ලබා ගත හැකිවූයේ ලකුණු 9ක් පමණි. එයද, පන්දු 34කට මුහුණ දෙමිණි. ‘සංගා’ පන්දුවට පහර දෙන අතරවාරයේ මැතිව්ස් අනෙක් අන්තය රැක ගනිමින් සිටියද මේ අවස්ථාවේ ඔහු පසුපසට යමින් පිත්ත හරවා පා පෙදෙසට පන්දුව තල්ලු කිරීමට උත්සාහ කළේය. එහෙත් එය වැරදී ගොස් පන්දුව පා ඉන්නේ ගැටුනේය.

ලහිරු තිරිමාන්න දැවී ගියේ සිනා උපදවන අයුරිණි. කේන් විලියම්සන්ගේ පන්දුවට සංගක්කාර ‘කවර්’ ක්‍රීඩකයා දෙසට පහරක් එල්ල කර පියවර කිහිපයක් ඉදිරියට ආවේය. මෙය ලකුණක් කරා දිව යාමට කෙරුණු ඉඟියක් ලෙසින් වටහා ගත් තිරිමාන්න ඉදිරියටම දිව ආවේය. එහෙත් මාටින් ගප්ටිල් පනිමින් පන්දුවේ ගමන නතර කළේය. තිරිමාන්නට පන්දු 28කින් ලබා ගත හැකිවූයේ හතරේ පහරක් සමග ලකුණු 9ක් පමණි.

තිසර පෙරේරා ලකුණු 15කට දැවී යාමට පෙර දෙවතාවක්ම බේරිණි. ඔහු ලකුණු ලබා ගැනීම ආරම්භ නොකර සිටි අවස්ථාවකදී ටිම් සවුතීගේ පන්දුවට පෙරළා ඔහු අතටම දුන් උඩ පන්දුව අතහැරිණි. තිසර ලකුණු 4ක් ලබා ගෙන සිටියදී නේදන් මැකලම්ගේ පන්දුවට කඩුල්ල මුවා කළ බවට පිටියේ තරග විනිසුරු තීන්දු කළද යළි නිරීක්ෂණයක් ඉල්ලා සිටි තිසර එයින් ජය ගත්තේය. හතරේ පහර 2ක් එල්ල කළ තිසර ඔහු මුහුණ දුන් 29 වැනි පන්දුවට මැක්ලෙනගන් ට එරෙහිව වෙටෝරි ට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. තිසර එල්ල කළ පහරින් ඉතා ඉහළට නැගි පන්දුව වෙටෝරි අල්ලා ගත්තේ ‘මිඩ් ඕන්’ ස්ථානයේ සිට පසුපසට පියවර කිහිපයක් දිව යමිණි. තිසර හා සංගක්කාර 7 වැනි කඩුල්ල වෙනුවෙන් ඕවර හතකදී ලකුණු 36ක් එක් කළහ.

37 වැනි ඕවරයේ මුළු ලකුණු සංඛ්‍යාව 135ක්ව තිබියදී කුමාර් සංගක්කාර, නේදන් මැකලම්ගේ පන්දුවට ‘ෂෝට් තර්ඩ් මෑන්’හි පන්දු රකිමින් සිටි විලියම්සන් වෙත උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. පන්දු 87කට මුහුණ දුන් ‘සංගා’ ලකුණු 68කට දැවී ගිය අතර හතරේ පහර 8කින් ඔහුගේ ඉනිම වර්ණවත් වී තිබිණි. සංගක්කාර ඊයේ වාර්තා කළේ ඔහුගේ 75 වැනි ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකයයි. ශමින්ද එරංග බින්දුවකටද, ලසිත් මාලිංග ලකුණු 2කටද දැවී ගිය අතර රංගන හේරත් නොදැවී ලකුණු 8ක් ලබා ගත්තේය. ඕවර 37යි පන්දු 5ක් ඇතුළත ශ්‍රී ලංකා ඉනිම ලකුණු 138කට අවසන් විය.


Gossip Lanka Hot News Previous News Archive