සබරගමු සිසු සත්‍යක්‍රියාවට පොලිස් ප්‍රහාරයක් - Police tear gas at protesting students

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් දහසකට ආසන්න පිරිසක් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඹහින්න මංසන්ධියේදී මාර්ගය අවහිර කරමින් ආරම්භ කළ සත්‍යක්‍රියාවට එල්ල වූ පොලිස් ප්‍රහාර හේතුවෙන් සිසුන් 50කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා පඹහින්න හා බළන්ගොඩ මූලික රෝහල්වලට ඇතුළත් කර ඇත.එම සිද්ධියෙන් රත්නපුර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාද බළන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාද ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනකු තුවාල ලබා ඇති බවත් නිලධාරීන් 10 දෙනකු බළන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් රත්නපුර ප්‍රදේශය භාර පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් නවදෙනකු සහ රියැදුරකු අත්අඩංගුවට ගත් බවත් බළන්ගොඩ වැඩ බලන දිසා විනිසුරු දේශබන්ධු සූරියපටබැඳි මහතා හමුවට පමුණුවා රුපියල්ලක්ෂය බැගින් වූ ඇප මත සිසුන් මුදා හැරි බවත් කී ඒ මහතා අත්අඩංගුවට ගත් රියැදුරු ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවද කීය.ඇප මත මුදාහළ සිසුන් හෙට (4දා) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ විනිසුරුවරයා නැවත කලහකාරි ලෙස කටයුතු කරන බවට පොලිසියෙන් වාර්තා වුවහොත් රක්ෂිත බන්ධනාගාර ගතකරන බවට අවවාද කෙළේය.

පන්ති තහනමට ලක් කළ සිසුන් 5කට විභාග අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා සිසුන් සිවුදෙනකු මාරාන්තික උපවාසයක නිරත වුවද ඔවුන්ට විභාග අයිතිය ලබා නොදීමට විශ්වවිද්‍යාල පාලක සභාව ඉකුත් 31 වැනිදා ගත් තීරණය හේතුවෙන් එම උපවාසය කැඳවා තිබිණි.පෙරේදා (1දා) උදෑසන පඹහින්න මංසන්ධියට රැස්වූ සිසුහු සාමකාමීව මාර්ගයේ හිඳ ගනිමින් සත්‍යග්‍රහයේ නිරත වූහ.


රත්නපුර කොට්ඨාසයේ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි, සහකාර පොලිස් අධිකාරිවරුන් වන උඩුගමසූරිය හා ජී.ජී. ධනපාල මහත්වරු එහිදී මහජනතාවට සිදුවන අවහිරතාව පිළිබඳ සිසුන්ට පැහැදිලි කළ අතර සිසුන්ගේ ගැටලු සම්බන්ධයෙන් උපකුලපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දෙන බවද කීය.

එහෙත් ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා උපකුලපති මහින්ද රූපසිංහ මහතා සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇත. මාර්ගයේ එක් මං තීරුවක් විවෘත කරන ලෙස කරගස්තලාව ශෛලගංගාරාම විහාරාධිපති ධම්මදස්සී හිමියන් සිසුන්ගෙන් ඉල්ලා සිටියද ඔවුහු ඊට එකඟ නොවූහ.
හෘද රෝගියෙක් සිටි බව කියන රථයක්, ගිලන් රථයක්, මනාල යුවළක් ගමන් කළ රථයක් හා රෝගියකු ගමන් කළ ත්‍රිරෝද රථයකට පමණක් මාර්ගය විවෘත විය.

සාමකාමීව විසිරෙන ලෙස ආරක්ෂක අංශ සිසුන්ගෙන් ඉල්ලා සිටියද සිසුන් ඊට කන් නොදුන් අතර ඔවුන් ප්‍රකාශ කළේ "අප නිරායුධයි ඔබට අවශ්‍ය අපට ගහන්න නම් ගහන්න" යනුවෙනි.

එහිදී ගම්වාසීන්ද සිසුන්ට සහයෝගය දක්වන්නට එක්වුවද ආරක්ෂක අංශ මැදිහත්ව එම උත්සාහයට බාධා කළහ

මාර්ගය අවහිර වීම හේතුවෙන් නවතා තිබූ බස්රථවල වූ පිරිස් එහිදී සිසුන්ට දෝෂාරෝපණය කළ අතර "කලහයට නොයන ලෙසත් විනය රකින ලෙසත්" සිසුන් සිය සගයන්ට කෑ ගසා කීහ.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ කඳුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාර සිසුන්ට එල්ල කළහ.
එසේම ගුවන් හමුදා බස් රථයක් හා හමුදා ට්‍රක් රථයක් සිසුන් තල්ලුකරමින් ඉදිරියට ගමන් කරනු දක්නට ලැබිණි.
සිදුවීමෙන් පසු ගෙවුණු පැය පහක් ඇතුළත බදුලු මාර්ගය විවෘත විය.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කෙළේ ගිලන් රථ තුනකට මාර්ගයේ ඉඩ සලසා ගැනීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේදී විරෝධතාකරුවන් විසින් ගල්මුල්වලින් පොලිස් නිලධාරීන්ට පහර දුන් බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී සබරගමුව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයකු සඳහන් කළේ සිසු ගැටලු වෙනුවෙන් මාර්ගයට බට සිසුන්ට ආරක්ෂක අංශ මැදිහත්ව මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ බවයි.

එම ප්‍රහාරයේ වගකීම උසස් අධ්‍යාපන ඇමැතිවරයා භාරගත යුතු යැයි කී එම ප්‍රකාශකයා සිසුන් සාමකාමී ලෙස විසිරුවා හැරීමට ආරක්ෂක අංශවලට අවශ්‍ය නොවූ බවත් කැරැලි මර්දන නිලධාරීන් හා පොලිසිය සාමකාමී ලෙස රැස්ව සිටි සිසුන්ට වෛරී සහගත ලෙස පහරදුන් බවත් කීය.
එම ම්ලේච්ඡ පහරදීම සබරගමුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට එල්ල කළ පහරදීමක් පමණක් නොවන බව කී එම ප්‍රකාශකයා එය සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට එල්ල වූ ප්‍රහාරයක් යැයි අවධාරණය කෙළේය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා සඳහන් කෙළේ සබරගමුව විශ්වවිද්‍යාල සිසුන්ට ආරක්ෂ අංශ මැදිහත්ව එල්ල කළ ප්‍රහාරයෙන් ආණ්ඩුවේ ම්ලේච්ඡත්වය හා අශිෂ්ටත්වය මනා ලෙස පැහැදිලි වන බවයි.
සිසුන්ගේ ඉල්ලීම් අසාධාරණ නොවන බව කී ඒ මහතා ආණ්ඩුව සිය දේශපාලන න්‍යාය පත්‍රය යටතේ මෙරට උසස් අධ්‍යාපනයට බරපතළ ලෙස වින කටින්නේ යැයිද කීය.

එසේම සිසුන් සාමකාමීව විසුරුවා හැරීමට ආරක්ෂක අංශවලට අවශ්‍ය නොවූ බව එම ප්‍රහාරය සිදුකළ ආකාරයෙන් පැහැදිලි වන්නේ යැයි කී ඒ මහතා සිසු නේවාසිකාගාරවලට පවා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වූ බවත් ප්‍රහාරයෙන් බේරීමට දිවගිය සිසුවියන්ට පයින් පවා පහරදීමට ආරක්ෂක අංශ කටයුතු කළ බවද කීය.
කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වූ සිසුන්ට ජලය ලබාදුන් ගම්වාසීන්ට පවා ආරක්ෂක අංශ පහර දුන්නේ යැයි කී ඒ මහතා ඒ යටතේ අනධ්‍යයන සේවක මහතකුද අත්අඩංගුවට ගෙන ඇතැයි කීය. ශිෂ්‍ය මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් දේශීය හා අන්තර්ජාතික සංවිධාන දැනුම්වත් කිරීමටත්, නීතියෙන් ගත හැකි සෑම පියවරක් ගැනීමටත් කටයුතු කරන්නේ යැයි කී සංජීව බණ්ඩාර මහතා මේ පහරදීමට විරෝධය පළ කරමින් හෙට (4දා) රට පුරා සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර පවත්වන බවද කීය.

රත්නපුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් පෙරේරා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Gossip Lanka Hot News Previous News Archive