මහේල ජයවර්ධනගේ තාක්ෂණයෙන් පොහොසත් සුපිරි පිතිහරඹය මත ශ්‍රී ලංකාව ඊයේ ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාව ලකුණු 20කින් පරාජය කරමින් චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය.
ශ්‍රී ලංකාව ලබන 20 වැනිදා වේල්සයේ කාඩිෆ් නුවර සොෆියා ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ඉන්දියාව සමග අවසන් පූර්ව තරගයට මුහුණ දෙයි. පළමු අවසන් පූර්ව ගැටුම හෙට (19) එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ලකුණු 254ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කැන්ගරුවෝ ඕවර 42.3කදී ලකුණු 233කට දැවී ගියහ.‘තරගයේ වීරයා’ බවට පත්වූ මහේල ජයවර්ධන ලකුණු 84ක ප්‍රබල පිතිකරණයක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාව කඩුලු 8කට ලකුණු 253ක් කරා ගෙන යාමෙන් පසුව නුවන් කුලසේකර ලකුණු 42කට කඩුලු 3ක් ලබා ගත්තේය. දඟ පන්දු යවන රංගන හේරත් ලකුණු 48කට කඩුලු 2ක් ලබා ගත්තේය.කුලසේකර ඊයේ තරගයේ ඔහුගේ දෙවැනි පන්දුවෙන්ම ඔස්ට්‍රේලියා කණ්ඩායමේ වටිනා ම කඩුල්ල වන ෂේන් වොට්සන් ලකුණු 5කට දවාලීමට සමත් විය. මේ බියකරු පිතිකරුවාට මුහුණ දීමට හැකිවූයේ පන්දු 7කට පමණි. වොට්සන්, ඔහුගේ මෙන්ම ඔස්ට්‍රේලියානු ඉනිමේද පළමු පන්දුවට (ශමින්ද එරංග ගේ) හතරේ පහරක් එල්ල කළේය. ඊළඟ ඕවරයේදී කුලසේකරගේ පන්දුව වොට්සන්ගේ පිත්ත පරදවමින් කඩුල්ලේ වැදුනු විට ශ්‍රී ලාංකික නරඹන්නන්ගෙන් නැගුනු ජය ඝෝෂාවෙන් ඕවල් ක්‍රීඩාංගණය දෙදරන්නට විය.
එහෙත් ඉන්පසුව ඇසෙන්නට වූයේ ඔස්ට්‍රේලියානු ප්‍රීති ඝෝෂාවන්ය. ඒ, ග්ලෙන් මැක්ස්වල් වේගවත් පිතිහරඹයක නියැලෙන්නට වූ හෙයිනි.
මැක්ස්වල් හා පිල් හියුස් ඕවර හතරකදී ලකුණු 36ක් ලබා ගත්හ. කුලසේකරගේ පන්දුවට හියුස්ගේ පිත්තේ වැදී ආ උඩ පන්දුව කඩුලු රකින කුමාර් සංගක්කාර රැක ගැනීමත් සමග හියුස් ලකුණු 13කට දැවී ගියේය. මින් ලකුණු 12ක්ම හියුස් ලබා ගත්තේ හතරේ පහරවලිනි. ඔහු පන්දු 10කට මුහුණ දුන්නේය.
ලසිත් මාලිංග පැමිණ ඔහුගේ තෙවැනි පන්දුවෙන් මැක්ස්වල්ගේ කඩුලු බිඳ දැමීමත් සමග ඔස්ට්‍රේලියා ජය ඝෝෂා නතර වී ශ්‍රී ලාංකික ධජ යළි ලෙලදෙන්නට පටන් ගත්තේය. මැක්ස්වල් පන්දු 20කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 5ක් හා හයේ පහරක් එල්ල කර ලකුණු 32කට දැවී ගියේය. ඔස්ට්‍රේලියාව කඩුලු 3 ට ලකුණු 59 යි, ඕවර 6.3 යි.
මුළු ලකුණු 69දී සිවුවැනි කඩුල්ල බිඳ වැටිනි. එවර දැවී ගියේ නායක ජෝජ් බේලි (4) ය. නවවැනි ඕවරයේදී මාලිංගගේ පන්දුවට මුහුණ දීමෙන් පසුව බේලි ‘ලෙග්-බයි’ ලකුණක් සොරකම් කිරීමට දුවද්දී ‘ෂෝට් ෆයින් ලෙග්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි කුලසේකර පන්දුව කෙළින්ම කඩුල්ලට එවන විට බේලි සිටියේ සීමාවට බොහෝ ඈතිනි.
ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ ගැටීමෙන් මිචල් මාෂ් ලකුණු 4කට දැවී ගියේය. 13 වැනි ඕවරයේදී ඔස්්ට්රේලියානුවන්ට ඔවුන්ගේ පස්වැනි කඩුල්ල අහිමි වන විට මුළු ලකුණු ප්‍රමාණය 80ක් විය.
ඊළඟට දැවී ගියේ ආක්‍රමණශීලී පිතිහරඹයක් ක්‍රීඩා කරමින් සිටි මැතිව් වේඩ් ය. හතරේ පහර 4ක් සහ හයේ පහරක් එල්ල කර පන්දු 23කින් ලකුණු 31ක් රැස්කර ගෙන සිටි වේඩ්, 20 වැනි ඕවරයේදී කුලසේකරගේ පන්දුවට උඩු ගුවනට එල්ල කළ පහරින් ‘ලෝන්ග් ඕන්’ ස්ථානයට පැමිණි පන්දුව ඩිල්ෂාන් රැක ගත්තේය. වේඩ් හා ඇඩම් වෝග්ස් හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37කින් ලකුණු 47ක් එක් කළහ.
වේඩ් දැවී යාමෙන් පසුව පිටියේ එක්වූ වෝග්ස් හා ජේම්ස් ෆෝල්ක්නර් මුළු ලකුණු සංඛ්‍යාව 127 සිට 163 දක්වා ඉහළ නංවමින් සිටියදී ෆෝල්ක්නර්, රංගන හේරත්ගේ පන්දුවට කඩුලු රකින සංගක්කාර අතට උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 17කට දැවී ගියේය. මේ දෙදෙන පන්දු 30කින් ලකුණු 36ක් හත්වැනි කඩුල්ලට එක් කළහ. හතරේ පහර 3ක් එල්ල කරමින් ෆෝල්ක්නර් පන්දු 14කින් ලකුණු 17ක් ලබා ගත්තේය.
අවසන් කඩුල්ල වෙනුවෙන් එක්වූ ක්ලින්ට් මැකේ හා සේවියර් ඩොහර්ටි ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ඔස්ට්‍රේලියා මුළු ලකුණු ප්‍රමාණය 192 සිට 233 දක්වා ගෙන එමින් සිටියදී 43 වැනි ඕවරයේදී මැකේ, ඩිල්ෂාන්ගේ පන්දුවට එල්ල කළ පහරින් පෙරළා තමන් වෙතටම ආ උඩ පන්දුව ඩිල්ෂාන් ඔහුගේ වමත දිගු කොට අල්ලා ගැනීමත් සමග ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු විය. මැකේ පන්දු 58කින් ලකුණු 30ක් ලබා ගත් අතර ඩොහර්ටි නොදැවී ලකුණු 15ක් රැස් කළේය.
කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දු යැවීමට තීරණය කිරීමෙන් පසුව මිචල් ජොන්සන් එවූ තරගයේ පළමු පන්දුවටම ‘පොයින්ට්’ ස්ථානයට ඉහළින් දර්ශනීය හතරේ පහරක් එල්ල කළ කුසල් ජනිත් පෙරේරා තෙවැනි පන්දුවට කඩුල්ල මුවා කරමින් දැවී ගියේය. පා පෙදෙසට පහරක් එල්ල කිරීමට යාමේදී පන්දුව පා ඉන්න ඉදිරිපිටදී කුසල්ගේ පාදයේ වැදුනේය.
පෙර තරගයේදී එංගලන්තයට එරෙහිව විශිෂ්ට පිතිහරඹයක නියැලෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය කුමාර් සංගක්කාර ඊයේ ලකුණු 3කට දැවී ගියේ ඕවල් ක්‍රීඩාංගණයට රොද බැඳගෙන පැමිණ සිටි ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමිණි. තරගයේ සිවුවැනි ඕවරයේ පිට ඉන්නට එපිටින් ආ ක්ලින්ට් මැකේ ගේ දෙවැනි පන්දුවට ‘සංගා’ එල්ල කළ පහරින් පන්දුව කෙළින් ම ගියේ ‘පොයින්ට්’ හි පන්දු රකිමින් සිටි ග්ලෙන් මැක්ස්වල් වෙතය. පන්දු 11කට පමණක් මුහුණ දී සංගක්කාර දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 20ක් විය.
තිලකරත්න ඩිල්ෂාන් හා ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා ඉනිම ලකුණු 92 දක්වා ඉහළ නංවමින් සිටියදී ඩිල්ෂාන්, සේවියර් ඩොහර්ටිගේ පන්දුවට ‘ස්ලිප්’ හි ෂේන් වොට්සන්ගේ අගනා උඩ පන්දු රැකීමකින් 23 වැනි ඕවරයේදී දැවී ගියේය. වොට්සන්, ඉතාමත් පහළින් ආ එම උඩ පන්දුව අල්ලා ගත්තේ ඔහුගේ දකුණු පසට පනිමින් තනි අතිනි. පන්දු 58කට මුහුණ දුන් ඩිල්ෂාන් ට එල්ල කිරීමට හැකිවූයේ එක් හතරේ පහරක් පමණි. ලකුණු 34කට ඔහු දැවී ගියේය. ඩිල්ෂාන් හා ලහිරු තිරිමාන්න තෙවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 19කින් ලකුණු 72ක සබඳතාවක් පිහිටුවූහ.
අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි තිරිමාන්න ඔහුගේ 5 වැනි ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය වාර්තා කළේය. ඔහු සහ මහේල ජයවර්ධන සිවුවැනි කඩුල්ලට ලකුණු 36ක් පන්දු 55කින් එක් කළ අතර එම සබඳතාව 32 වැනි ඕවරයේදී බිඳ දැමුවේ ජොන්සන් ය. ඔහුගේ පන්දුවට තිරිමාන්න ‘මිඩ් විකට්’ ස්ථානයට එල්ල කළ උඩ පන්දුව වොට්සන් පහසුවෙන් අල්ලා ගත්තේය. හතරේ පහර 4ක් එල්ල කළ තිරිමාන්න පන්දු 86කින් ලකුණු 57ක් ලබා ගත්තේය.
ජයවර්ධන හා නායක ඇන්ජලෝ මැතිව්ස් ඕවර පහයි පන්දු තුනක් කඩුල්ලේ රැඳී සිට මුළු ලකුණු ප්‍රමාණය 128 සිට 159 දක්වා ගෙන එමින් සිටියදී මැතිව්ස් දැවී ගියේය. මැතිව්ස් හතරේ පහරක් සමග පන්දු 20කින් ලකුණු 12ක් ලබා ගත්තේය. ඔහු මෙවර තරගාවලියේ පිතිකරණයේ අසාර්ථක වූ දෙවැනි අවස්ථාව මෙය විය.
උප නායක දිනේෂ් චන්දිමාල් හතරේ හා හයේ පහරක් බැගින් එල්ල කර පන්දු 32කින් ලකුණු 31 රැස් කිරීමෙන් අනතුරුව දැවී ගියේය. 47 වැනි ඕවරයේ මුළු ලකුණු 224දී දැවී යාමට පෙර ඔහු සහ ජයවර්ධන පන්දු 57කින් ලකුණු 65ක් හයවැනි කඩුල්ලට එක් කළහ. චන්දිමාල් දැවී ගියේ ජොන්සන්ගේ පන්දුවට ‘මිඩ් ඕන්’හි පිල් හියුස් අතට උඩ පන්දුවක් දෙමිනි.
එංගලන්තයට එරෙහි තරගයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක යෙදුනු නුවන් කුලසේකර ඊයේ ලබා ගත්තේ ලකුණු 6ක් පමණි. පන්දු 5කට පමණක් මුහුණ දුන් ඔහු 48 වැනි ඕවරයේදී දුවද්දී දැවී ගියේය. 7 වැනි කඩුල් බිඳ වැටෙන විට ශ්‍රී ලංකා මුළු ලකුණු සංඛ්‍යාව 234ක් විය.
රංගන හේරත් (2) අවසාන ඕවරයේදී දැවී ගියේද ලකුණක් කරා දුවද්දීය. ඒ, මුළු ලකුණු 244දීය. ලසිත් මාලිංග නොදැවී ලකුණු 2යි.
ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට මහේල ජයවර්ධන නොදැවී ලකුණු 84ක් රැස්කර ගෙන සිටියේය. ශ්‍රී ලංකාව කඩුලු 8කට 253ක තරගකාරී මුළු ලකුණු ප්‍රමාණයක් කරා ගෙන ගිය ජයවර්ධනගේ පන්දු 81ක අති අගනා ඉනිම හතරේ පහර 11කින් වර්ණවත් වී තිබිණි.
ජයවර්ධන 45 වැනි ඕවරයේදී ක්ලින්ට් මැකේගෙන් ලකුණක් උදුරා ගනිමින් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලකුණු 11,000 ඉක්මවා ගියේය. ඔහු ලකුණු 25ක් රැස්කර ගෙන සිටියදී ජොන්සන්ගේ පන්දුවට දුන් උඩ පන්දුව ‘ෂෝට් මිඩ් විකට්’හිදී වොට්සන් විසින් අතහරිනු ලැබිනි.
37 වැනි ඕවරයේදී ලැබුනු නිදහස් පහරකට ජයවර්ධන හතරේ පහරක් එල්ල කළ අතර එය මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියේ නිදහස් පහරකින් වාර්තා වූ පළමු හතරේ පහර විය.ශ්‍රී ලංකාව ඔවුන්ගේ අවසන් ඕවර දහයේදී ලකුණු 75ක් රැස් කළේය. මිචල් ජොන්සන් ලකුණු 48කට කඩුලු 3ක් ලබා ගත්තේය.
Add caption |