අද පැරදුනොත් හෙට ගෙදර
එංගලන්තයට එරෙහිව අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් ලන්ඩනයේ ඕවල් තරග බිමට ශ්‍රී ලංකාව අද පිවිසෙන්නේ චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අඩුවෙන්ම ලකුණු ලබා ගෙන සිටින ඔස්ට්‍රේලියාව තරගාවලියෙන් පලවා හැරීමේ අරමුණිනි.
අද තරගය දෙපිලටම “ජය ගත යුතුම” සටනක් බවට පත්ව තිබේ. පරදින කණ්ඩායම තරගාවලියෙන් ඉවතට වීසි වනු ඇත. ශ්‍රී ලංකාව දැන් ලකුණු දෙකක් ලබා ගෙන සිටින අතර ඔස්ට්‍රේලියාව ට ඇත්තේ එක් ලකුණක් පමණි. අද පැවැත්වෙන්නේ තරගාවලියේ මූලික වටයේ අවසාන තරගයයි.
අද තරගයට හොඳින් සූදානම්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තමන් කෙරෙහි උපරිම විශ්වාසය තබමින් තරගයට මුහුණ දිය යුතු වෙයි. මීට සිවු දිනකට පෙර මේ ක්‍රීඩාංගණයේදීම එංගලන්ත කණ්ඩායමේ ලකුණු 293ක දැවැන්ත ඉලක්කය කඩුලු තුනක් පමණක් අහිමි කර ගෙන තරගයේ තවත් පන්දු 17ක්ද ඉතිරි කර ගෙන ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ තමන්ට එය කළ හැකි බවට තිබූ දැඩි විශ්වාසය නිසාය.ශ්‍රී ලංකාව ඔවුන්ගේ පන්දු රැකීමේ අඩුපාඩු මකාගෙන අද තරගයට පිවිසීම වැදගත්ය. එංගලන්ත තරගයේදී ශ්‍රී ලංකාව වෙතින් උඩ පන්දු හතරක් ගිලිහිණි. ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඔහුගේ සුපුරුදු ආක්‍රමණශීලී පිතහරඹයට මේ තරගයේදී හෝ ප්රවිශ්ට වීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ මාවත විවර කරන්නක් විය හැක.
නායක ඇන්ජලෝ මැතිව්ස් ට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ හා තරුණ යන කොටස් දෙකේම සම්පූර්ණ සහාය ලැබී තිබේ. චැම්පියන්ස් කුසලාන තරගාවලයේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාව උත්සාහ කරන මේ මොහොතේදී, ඉහළම තලයේ නායකත්වයේ කලාව ඉගෙන ගන්නා අතරවාරයේ මැතිව්ස් ලකුණු හා කඩුලු අතර සිටීමේ වැදගත්කම හිටපු නායක මහේල ජයවර්ධන විසින් අවධාරණය කර තිබේ.
“ඇන්ජි ක්‍රීඩකයෙකු ලෙසින් දායක වීම ඉතා වැදගත්. මා එය ඔහුට කියා තිබෙනවා. ඔහු කණ්ඩායමේ එකොළොස් දෙනාගෙන් කෙනෙක්. නායකයා පමණක් නෙවෙයි. එය දෙවැනි කාරණයකි. පිටිය වටා අණ දෙන විට එය ඔහුට ස්වභාවයෙන්ම ඒවි. ඒ කාර්යයේදී ඔහුට සහාය වෙන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද ඉන්නවා” ජයවර්ධන පවසයි.
මැතිව්ස් මේ තරගාවලියේ ඔහුගේ කාර්යභාරය පිළිබඳ විශ්වාසය වැඩිකර ගෙන ඇති සැටියකි. නවසිලන්තය සමග තරගයේදී පිත්තෙන් අසාර්ථක වූ ඔහු එම තරගයේදී පන්දු යැවීමෙන් වැළකී සිටියේය. එහෙත් ලකුණු 138ක් ආරක්ෂා කිරීමේ ආසන්නයටම පිවිසි ඒ තරගයේදී මැතිව්ස් තම ක්‍රීඩකයන් පිටියේදී මෙහෙයවූයේ හොඳ ආත්ම විශ්වාසයකින් යුතුවය. ඉන්පසුව, නුවන් කුලසේකර අංක 5 පිතිකරු ලෙසින් පිටියට යැවීමට ගත් නායකත්ව තීරණය එංගලන්තයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකාවට මහඟු ඵල ගෙන දුන්නේය.
“කුලේව පිතිකරු පෙලේ ඉහළට ගෙන ඒමෙන් සාර්ථක ප්‍රතිඵල අත් නොවුනා නම් අපට විශාල වශයෙන් විවේචන එල්ල වීමට ඉඩ තිබුනු බව මට හොඳටම විශ්වාසයි. නමුත් එය සාර්ථක වුණා. ක්‍රීඩාව කෙරෙන්නේ එහෙමයි” ජයවර්ධන කියයි.
බ්‍රහස්පතින්දා ජයග්රහණයේදී ප්‍රධාන කාර්යයක් ඉටු කළ ජයවර්ධන, ශ්‍රී ලංකා ඉනිමේ ස්ථාවර ආරම්භය හා සාර්ථක අවසානය යාකරමින් ශීඝ්‍රයෙන් ලකුණු 42ක් රැස් කළේය. කුමාර් සංගක්කාර සමග එක්ව එම තරගය අවසන් කිරීමට තිබුණා නම් හොඳ බව පවසන මහේල ජයවර්ධන අද තරගයේදී එවැන්නක් කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.
ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව මෑතකදී ප්‍රදර්ශනය කළ සාර්ථකත්වය නිසා මානසිකත්වය අතින් ශ්‍රී ලංකාවට වැඩි තිබෙන බව ජයවර්ධන පෙන්නා දෙයි. දෙපිල අතර මීට පෙර අවසන් වතාවට පැවැති ජාත්‍යන්තර එක්දින තරග දහය ම ක්‍රීඩා කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේදීය. මෙයින් තරග හයක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබේ. පසුගිය දෙවසරක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාවට එරෙහිව එක දිගටම සාර්ථක වී ඇති බව පවසන ජයවර්ධන ඉදිරියටත් ඒ දස්කම් එසේම පවත්වා ගෙන යාමට හැකිවේ යැයි අපේක්ෂා කරයි.
එංගලන්තය සමග තරගයේදී මෙන් අද තරගයේදීත් උපරිම ශක්තියෙන් ක්‍රීඩා කළ යුතු බව ඔහු කියයි. කෙසේ වෙතත් මේ ආකාරයේ තරගාවලියකදී ඔස්ට්‍රේලියාව ලෙහෙසියෙන් මැඩපැවැත්විය හැකි කණ්ඩායමක් නොවේ. සටනක් නොදී පසුබසින කණ්ඩායමක්ද නොවේ. නායක මයිකල් ක්ලාක් ක්‍රීඩා නොකිරීම ඔවුනට ලොකු ප්‍රශ්නයක් බව ඇත්තය. ඩේවිඩ් වෝනර් ද, එංගලන්ත පිතිකරු ජෝ රූට් ට පහර දීම නිසා ආපසු සියරට යවා තිබීමද ඔවුනට මානසික අසහනයකි.
ක්ලාක් ක්‍රීඩා කළ හැකි තත්ත්වයට ගෙන ඒමට ඔස්ට්‍රේලියානු කළමනාකාරිත්වය ඉමහත් වෙහෙසක් දරමින් සිටී. ඔහු ක්‍රීඩා කළහොත් එය කණ්ඩායමට ඉමහත් ශක්තියක් වනු ඇත. ඔස්ට්‍රේලියාව තරගාවලියෙන් ඉවතට වීසි නොවීමට නම් ක්ලාක්ගේ පිතිකරණය හා නායකත්වය ඉතාමත් වැදගත් වෙයි.