පාතාල නායක STF නඳුන් මෙරටට ගෙන්වා ගන්න යයි

මෙරට සිදුවූ කොන්ත්‍රාත් මිනිස් ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසකට ශ්‍රී ලංකා ‍පොලීසියට අවශ්‍යව සිටින ඉතාලියේදී මේ වන විටත් ‍පොලිස් අත්අඩංගුවේ පසුවන දේව ප්‍රදීප් නඳුන් ධර්ම වික්‍රම නොහොත් කොස්ගොඩ එස්.ටී.එෆ්. නඳුන්ව නඩු කටයුතු සඳහා මෙරටට ගෙන්වා ගැනීමට ආරක්ෂක බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ උප ‍පොලිස් පරීක්ෂකවරයෙක්ව කලක් සේවය කළ ඔහු එල්.ටී.ටී.ඊ. ය සතු ගිනිඅවි පාතාලයට අලෙවි කිරීමක් සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූවෙකි. ඒ 1998 වසරේ ජුලි 16 වෙනිදා ‍පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවය.එතැන් සිට කොළඹ පාතාලයේ කල්ලි නායකයන් සමග සමීපව කටයුතු කළ ඔහු එම කල්ලිවල සහයෝගයෙන් දකුණේ කොන්ත්‍රාත් මිනිස් ඝාතන ගොන්නක්ම කර තිබිණි.

කොස්ගොඩ හෑගල්‍ලේ පදිංචිකරුවෙක් වන නඳුන් පාතාලා කටයුතුවල නිරත වූයේ දේශපාලන රැකවරණයද ලබමිනි. දකුණේ සිදුවූ මිනිස් ඝාතන 20කට පමණ වගකිව යුතු නඳුන්ට එරෙහිව 2000 වසරේ පෙබරවාරි 03 වෙනිදා එකල මන්ත්‍රීවරයෙක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ චෝදනාවද එල්ල වී තිබේ. එහිදී ඝාතනයට ලක්වූවන් අතර ‍පොලිස් කොස්තාපල්වරයෙක්ද, යුද හමුදා නිලධාරියෙක්ද විය.හික්කඩුවේ එකල නගරාධිපති ගාමිණී පින්නදූව ඝාතනය, අහුංගල්ල රන් මැණිකා හෝටලයේ අධ්‍යක්ෂ ජීවක ඝාතනය, බලපිටිය අධිකරණය ඉදිරිපිටදී සාක්ෂිකරුවන් තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීම ඔහු විසින් කළ ඝාතනවලින් කිහිපයකි.

මෙරට නමගිය පාතාලයේ නායකයින් එකිනෙකා නාඳුනන කල්ලි අතින් පසුගිය කාලයේ ඝාතනය වන විට සහ ‍පොලීසිය සමග ගැටී පාතාලයේ ප්‍රබලයන් මරුමුවට පත්වන විට ඉතාලියට පලා ගිය නඳුන් වසර කිහිපයක්ම ගතකළේ ඉතාලියේය. මේ කාලය තුළ ඔහුට එරෙහිව ජාත්‍යන්තර ‍පොලීසිය මගින් රතු නිවේදනයක් පවා නිකුත් කර තිබිණි.

ඉතාලියේ මිලාන්හී ගැරිබාල් හී සිටි ඔහු එරටදී කළ සොරකමක් සම්බන්ධයෙන් ඉකුත්දා අත්අඩංගුවට පත්ව තිබේ.වැතින්නියා ‍පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමේදී ඔහුට එරෙහිව ඇති රතු නිවේදනය ගැන තොරතුරු අනාවරණය වී ඒ බව එරට ‍පොලීසිය ජාත්‍යන්තර ‍පොලිස් මූලස්ථානය හරහා මෙරටට දැනුම්දී ඇත.

ඉදිරි සති කිහිපය තුළ ඔහුව මෙරටට ගෙනඒමට හැකිවෙතැයි ආරක්ෂක බලධාරීන් විශ්වාස කරන අතර ඔහුගෙන් මෙතෙක් හෙළි නොවූ අබිරහස් ඝාතන රැසක්ම අනාවරණය කර ගන්නට හැකිවෙතැයි ‍පොලීසිය විශ්වාස කරයි.
-ලක්බිම-

Gossip Lanka Hot News Previous News Archive