"රඟපාන්න එපා. නර්තනයේ යෙදෙන්න එපා කියලා තර්ජන"
• සුරාජ් අකරතැබ්බයක් වෙලා කියලා ආරංචියි?
කවුදො පුද්ගලයෙක් මං ගැන වැරැදි විදියට කියලා ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනකුට කෙටි පණිවිඩ යවලා. ඒ නිසා මම පොලිසියේ පැමිණිල්ලක් දැම්මා මේ වෙද්දි වැරැදිකාරයා අත්අඩංගුවට අරන් තියෙන්නෙ
• හඳුනන පුද්ගලයෙක්ද?
නැහැ මම හඳුනන්නෙ නැහැ.
• සුරාජ්ට මඩ ගහන්න ඒ පුද්ගලයා පෙලඹිලා තියෙන්නේ ඇයි?
හේතුවක් නම් දන්නේ නෑ. ඊර්ෂ්‍යාවට වෙන්න ඇති. ක්‍ෂේත්‍රය ඇතුළේ මට හතුරෝ නැහැ. මටත් ඒ ගැන හිතා ගන්න බෑ. පොලිසිය ප්‍රශ්න කරගෙන යනවා.
• ගින්නක් නැතුව දුමක් නඟින්නේ නැහැ නේද?
මීට කලිනුත් මට SMS ආවා. මම ඒවා ගණන් ගත්තේ නෑ. රිදී රැයක් ප්‍රසංගය තිබුණු කාලේ ඒකේ නටන්න එපා, ඇසිඩ් ගහනවා කියලා තර්ජනය කළා. රඟපාන්න එපා. නර්තනයේ යෙදෙන්න එපා කියලා තර්ජනය කළා. මේ තර්ජන අද ඊයෙක ඇතිවුණු දෙයක් නොවේ. මට අනතුරක් කරනවා කියලා කාලෙක ඉඳන්ම මට දැනුම් දුන්නා.
• මොනව සම්බන්ධවද බොරු ප්‍රචාර යවලා තියෙන්නෙ?
ඒකේ තියෙන්නෙ කියන්න පුළුවන් දේවල් නෙවේ.
• නියපොත්තෙන් අයින් කරගන්න පුළුවන්කම තියෙද්දි ඇයි පොරොවෙන් කපන තැනට වැඩ සිද්ධකරගන්නේ?
කලින් Call කළේ ගෙදරට විතරයි. අම්මයි, තාත්තයි හිතින් දුක් විඳ විඳ හිටියා මිසක් මට කිව්වේ නෑ. කලාකරුවෝ අතරට SMS ගිය නිසා තමයි ඇක්ෂන් එකක් ගත්තේ.
මේ සිද්ධිය වෙන්න කලිනුත් සිදුවුණු දේවල් ගැන මම පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. ඒත් වැඩක් වුණේ නෑ. මේ පාර දැම්ම පැමිණිල්ල නිසා තමයි වැරැදිකාරයා අත්අඩංගුවට ගත්තේ.
• මේ ප්‍රශ්නෙට ක්‍ෂේත්‍රයේ අය සම්බන්ධයි කියලා හිතනවද?
බලමු තාම දන්නේ නෑ. මේ යන විදියට මොනවා වෙයිද කියන්න දන්නේ නෑ. මම කොහොවත් කිසිම දෙයකට කලබල වෙන කෙනෙක් නෙවෙයි. මේවා ඉතින් ඊර්ෂ්‍යාවට කරන දේවල් තමයි.
• ඇත්තටම සුරාජ් මේ ප්‍රශ්නෙදි නිවැරැදිද?
ඔව්. මේ වැරැදිකාරයෙක් නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැහැනේ. මේ වගේ දේවලින් මාව වට්ටන්නවත්, නතර කරන්නවත් බෑ. ජනප්‍රිය අයට මේවා සාමාන්‍යයයි. මේ දේවල්වලින් මම තවත් ශක්තිමත් වෙනවා.
හේෂාණි රත්නායක