24 වැනි පිච්චමල් පූජා මහෝත්සවය ජූලි 06දා

දිවයිනේ නන් දෙසින් පැමිණෙන සැදහැවතුන්ගේ සහභාගිත්වයෙන්, ශාන්ති පදනම සංවිධානය කරන 24 වැනි පිච්චමල් පූජා මහෝත්සවය ජූලි මස 06දා අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී පැවැත්වෙයි. එදින පස්වරු 2.00ට පිච්චමල් පෙරහැර බුද්ධශ්‍රාවක ධර්මපීඨය අසලින් ඇරඹෙයි. 

භික්ෂූන් වහන්සේ සහ උපාසක උපාසිකාවන් පිච්චමල් පාත්‍ර රැගෙන පෙරහැරින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට පැමිණ උඩමළුවේ මල් ඇතිරීම පස්වරු 5.00ට අරඹයි. අනතුරුව වන්දනා කිරීම නිමවීමෙන් පසුව රුවන්මැලි සෑ ප්‍රදර්ශනා පෙරහැර පවත්වනු ලැබේ. 06දා මධ්‍යම රාත්‍රී 12 පමණ වන විට පිච්චමල් පූජා මහෝත්සවයේ එදින ආගමික වතාවත් නිම වෙයි.

ජූලි 7දා උදේ රුවන්මැලි සෑය අභියස කිරිපිඬු දාන පූජාව පැවැත්වෙයි. මේ සමඟම පලතුරු පූජාවක් සිදු කෙරෙන අතර එයට තම ගෙවත්තේ වවා ඇති පලතුරු ගසකින් නෙලා ගත් පලතුරු ගෙඩියක් බැගින් පූජා කිරීමට සැදැහැවතුන්ට හැකිය. එහි දී අභයදාන පිංකමක් ද පැවැත්වෙයි.ජනාධිපති කාර්යාලයේ ඊයේ (01) පැවති පිච්චමල් පූජා මහෝත්සව සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවේ දී මෙම මෙම තොරතුරු ඉදිරිපත් කෙරිණි.


මෙම පිච්චමල් පූජා මහෝත්සවයට සුදුවතින් සැරසී, පංචශීලයෙහි පිහිටා නිර්මාංශ ප්‍රතිපදාව අනුගමනය කරමින් සහභාගිවන්නැයි ශාන්ති පදනමේ සභාපති පූජ්‍ය කොටපල අමරකිත්ති හිමිපාණෝ සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිති. ජනාධිපතිතුමාගේ පූර්ණ අනුග්‍රහය ඇති ව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ආධාර ඇති ව මෙම පිංකම සංවිධානයට රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, අනුරාධපුර දිස්ත්‍රික්‍ ලේකම් කාර්යාලය, මහ නගර සභාව, ප්‍රවාහන අංශ, ජලය, විදුලිය, දුරකතන, පරිසර , පුරාවිද්‍යා, සෞඛ්‍යය සේවා ආදී අංශ සම්බන්ධ වී සිටී. මෙය ජනාධිපතිතුමාට, රජයට, ශ්‍රී ලංකාවාසීන්ට හා රටට ආශිර්වාද ගෙන දෙන මෙන් ම මිනිස් සිත් සතන් විකසිත කරන, ඔවුන් තුළ ශාන්තිය ඇති කරන වැඩසටහනක් බව උන්වහන්සේ පැවසීය.

සැදැහැවතුන්ට මෙම පිංකමට සහභාගිවීම පිණිස අනුරාධපුරය බලා යාමට සහ ආපසු ඒමට විශේෂ දුම්රිය සහ බස් සේවා පැවැත්වෙයි. දිනපතා සාමාන්‍ය දුම්රියවලට අමතරව 05 සහ 07දා විශේෂ දුම්රිය ධාවනය කෙරේ. 05දා පස්වරු 1.25ට සහ 06 වෙනිදා පෙරවරු 7.05ට කොළඹ කොටුවෙන් විශේෂ දුම්රිය 02ක් අනුරාධපුරය බලා පිටත් වේ. 06දා අලුයම 4.05ට මාතරින් ගමන් අරඹන තවත් දුම්රියක් පෙරවරු 7.30ට කොළඹ කොටුවට පැමිණ අනුරාධපුරය බලා පිටත් වෙයි.

07 වෙනිදා අලුයම 1.15ට, පෙරවරු 8.15ට සහ පස්වරු 1.30ට විශේෂ දුම්රිය 03ක් අනුරාධපුරයේ සිට කොළඹ බලා පිටත් වෙයි. පස්වරු 1.30ට පිටත් වන දුම්රිය මාතර දක්වා ධාවනය කෙරේ.

මීට අමතරව බස්නාහිර, වයඹ, දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ද මගී අවශ්‍යතා අනුව අනුරාධපුරය බලා යාමට හා එහි සිට ආපසු පැමිණීම සඳහා සැදැහැවතුන් වෙනුවෙන් බස් සේවා පවත්වයි. මෙම කාලය තුළ අනුරාධපුරය කරා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් ආහාර, සනීපාරක්ෂක, ප්‍රථමාධාර, ජලය ආදී පහසුකම් සැලසීමට අදාළ අංශ පියවර ගෙන ඇත. දන්සැල් 60ක් පමණ පැවැත්වෙන අතර රථ වාහන ගාල් ද වෙන් කොට ඇත. අනුරාධපුර බස් නැවතුම්පොළේ සිට ථූපාරාම රථගාල දක්වා විශේෂ බස් සේවාවක් ද පවත්වනු ලැබේ. කොළඹ, ගම්පහ හා කළුතර ප්‍රදේශවලින් විශේෂ බස් රථ 100ක් පමණ යෙදවීමට නියමිතය. කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට අනුරාධපුරය බලා ද විශේෂ බස් ධාවනය කෙරේ.

පූජ්‍ය කොටපල අමරකිත්ති ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ජනාධිපති අතිරේක ලේකම් ඩී.එස්. ගුණරත්න, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනෙවිරත්න, නගරාධිපති එච්.පී. සෝමදාස යන මහත්වරු ඇතුළු අදාළ ආයතන නියෝජිතයෝ සහභාගී වූහ.

Gossip Lanka Hot News Previous News Archive