දුම්රිය වර්ජනය අවසන් වෙද්දී බස් වර්ජනය ඇරැඹේ

දුම්රිය ශේ‍රණිගත එකමුතුව පසුගියදා (7දා) ආරම්භ කළ පැය 48ක සංකේත වැඩ වර්ජනය ඊයේ (9දා) සවස අවසන් කිරීමත් සමඟ මේ වසරට අදාළ බස් ගාස්තු වැඩිවීම ලබා දෙන්නැයි රජයට බල කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද (10දා) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසුවේ බස් ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු ජූලි මස 1 වැනිදා ලබාදිය යුතුව තිබුණත් මේ වසරේ අදාළ ගාස්තුව නියමිත පරිදි ලබා නොදීම නිසා එම ප්‍රතිපත්තිය අහෝසි වන අතරම එය බස් කර්මාන්තයට විශාල හානියක් සිදුකරන බවයි.

බස් කර්මාන්තය රදා පවතින්නේ බස් ගාස්තු මත බව පෙන්වා දෙන ඒ මහතා මේ වසරට අදාළ බස් ගාස්තුව නීත්‍යනුකූලව ලබා ගැනීම සඳහා බලධාරීන්, අමාත්‍යවරුන් සමඟ කොතෙක් සාකච්ඡා කළද ඒ සියල්ල අසාර්ථක වූ බැවින් මෙලෙස වර්ජනයකට එළැඹීමට තීරණය කළ බවද සඳහන් කෙළේය.

මේ වසරට අදාළ බස් ගාස්තුව ප්‍රතිපත්තියට අනුව ලබා නොදීම හමුවේ එම ප්‍රතිපත්තිය ඍජුවම අහෝසි වන බව පෙන්වා දෙන ගැමුණු විජේරත්න මහතා ඒ පිළිබඳ සිය සංගමය දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බවද කීය.

බස් කර්මාන්තකරුවන්ට තමන්ගේ ලීසිං වාරිකය ගෙවා ගැනීමට, ටයර් දැමීමට සහ නඩත්තු කිරීමට නොහැකිව සිටින අතර නියමිත ගාස්තු නොලැබීම අනුව මේ සේවාව පවත්වාගෙන යෑමට නොහැකි බවත් බස් කර්මාන්තකරුවන්ගේ දෛනික ආදායමෙන් සියයට 60ක් ඉන්ධන සඳහා වැය වන බැවින් ඔවුන්ට ඉතුරුවක්ද නැති බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසුවේය. මේ වර්ජනයට අනෙකුත් බස් සංගම්ද සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive