‘මී වදයකි ජීවිතේ මී පැණි පිරිලා ඇතේ’ කියලා තමයි දිඹුලාගල,කුඩාවැව ගම්මානයේ ඉන්න එස්.පුංචිහාමි මහත්මියලගේ ගෙදර උදවිය කියන්නේ. මොකද එයාලගේ සිරියහනේ තමයි අලි විසාලෙට මී වදයක් බැදලා තියෙන්නේ.
හරියටම කිව්වොත් ඔවුන් නිදාගන්න ඇද වතේ තමයි මේ මී වදය බැදලා තියෙන්නේ. පහුගිය අප්‍රේල් මාසෙ පසලොස්වක පෝය දවසේ මේ මී වදය බදින්න පටන් අරන් තියෙන්නේ. තවමත් මී වදේ හදන වැඩේ ඉවර නෑ. ටිකෙන් ටික,දවසින් දවස තමයි මී වදේට තව කාමර එහෙම එකතු කරන්නේ.අපොයි මේ මිනිස්සුන්ට මී මැස්සො අනින්නෙ එහෙම නැද්ද කියලනේ දැන් කවුරුත් අහන්නේ. නෑ.නෑ. එහෙම කිසි කරදරයක් නෑ මේ අයගෙන්. තමන්ගෙ පාඩුවෙ මී වදේ බැදගෙන ඉන්නවා මිසක් අහක ඉන්න මිනිස්සුන්ට අනින්න තරම් මේ අය නපුරු නෑ.
අනිත් එක ගෙදර අය නිදාගන්නෙත් මේ ඇදේමයි. ඒ අයගෙන් මේ අයටවත්,මේ අයගෙන් ඒ අයටවත් කිසිම හිංසාවක් මේ වෙනතුරු සිද්ධ වෙලා නෑ. දෙගොල්ලම ඉතාම සාමකාමීව කාලය ගත කරනවා.මේ මී වදයේ දිග අඩි 2ක් පමණ වෙනවා. අඩියක් පළලයි. ඇද වතේ පළලටම හරියන්න මී වදය බදියි කියලයි ගෙදර උදවිය නම් කියන්නේ. ඒ වගේම පුංචිහාමි මහත්මියගේ ගෙදර ඉස්සරහා තියෙන අඹ ගහෙත් මෙවැනිම මී වදයක් බැදලයි තියෙන්නේ.

කතාව,සේයාරූ
නිමල් ජයරත්න, මනම්පිටිය