හය වසරේ ප්‍රශ්න පත්‍රය සමඟ උත්තරත් බෙදලා !

"උතුරු මැද අධ්‍යාපනයේ මහ අවුලක්"
-විභාග නවතී දරුවෝ ගෙදර යති-
උතුරුමැද පළාතේ රජයේ පාසල්වල හයවන ශ්‍රේණියේ දෙවන වාර විභාගය සඳහා ඊයේ පැවැත්වීමට නියමිත ව තිබූ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාවලිය සමඟ උත්තර පත්‍රිකාව ද එකට මුද්‍රණය කොට බෙදාහැරීම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි එම විභාගය නොපැවැත්වීමට තීන්දු කළ බලධරයන් පාසල් සිසුන් ආපසු හරවා යවා තිබේ.

හයවෙනි ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න හයට පිළිතුරු හතරවන පිටුවේ සඳහන් වී තිබීම නිසා ඊයේ (16) විභාගය නොපැවැත්වීය.

උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් රජයේ මුද්‍රණාලයේ මෙම ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර ඇති බව සඳහන් වන අතර පසුගිය කාලය පුරාම පාසල් වාර විභාග පැවැත්වීමේදී මෙවැනි දේ සිදු වූ බවත් ඒ පිළිබඳව පෙන්වා දුන් අයට දඬුවම්කිරීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ බවත් ප්‍රශ්න පත්‍ර විසි දහසක් (20,000) පමණ මුද්‍රණය කර ඇති බවත් මේ ප්‍රශ්න පත්‍රවල සෝදුපත් බැලීමට නිලධාරින් කීපවරක් කොළඹ ගොස් ඇති බවත් මෙසේ මහජන මුදල් විනාශ කරන නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ යුතු බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.


උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් 2013 වර්ෂයේ දෙවන වාර පරීක්ෂණය පෙරේදා (15) ආරම්භ කළ අතර 16 වනදා හයවන ශ්‍රේණියට පැවැත්වීමට තිබූ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සමඟ පිළිතුරු මුද්‍රණය කිරීම හේතුවෙන් විභාගය අත්හිටුවීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කළහ.

එම ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසෙහි ප්‍රශ්න 06කින් යුක්ත වූ අතර එම ප්‍රශ්න 06ටම අදාළ වන පිළිතුරු කොටස් ද එම ප්‍රශ්න පත්‍රයේම මුද්‍රණය කර තිබුණි. මේ හේතුවෙන් වහාම හයවන ශ්‍රේණියේ විභාගය අත්හිටුවීමට තීරණය කර තිබූ අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසකට විභාගය නොපැවැත්වීම හේතුවෙන් ඊයේ දිනයේ නැවතත් නිවෙස් කරා යෑමට සිදු වූහ.

වසර 06ක කාලයක් තිස්සේම උතුරුමැද පළාතේ පැවැත්වෙන වාර විභාගවල අඩුපාඩුකම් හේතුවෙන් සිසු දරු දැරියන් සහ ගුරුවරුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිති. ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සමඟ පිළිතුරු මුද්‍රණය වී ඇති බව නොදත් අනුරාධපුර හා පොළොන්නරුව කලාපයේ විද්‍යාල කිහිපයකම 06 වන ශ්‍රේණියේ විභාගය පැවැත්වී ඇති බව වාර්තා විය.

ඊට හේතුව වී ඇත්තේ දුරකථන මඟින් හෝ මෙම විද්‍යාලවලට ප්‍රශ්න පත්‍රයේ මුද්‍රණ දෝෂ සම්බන්ධයෙන් දැන්වීමට නොහැකි වීම නිසාය. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට දුරකථන ඇමතුම් ලබාගත්තත් ඔහු කාර්යාලයේ නොමැති බව එහි සිටි නිලධාරියකු ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය.

Gossip Lanka Hot News Previous News Archive