"සීසර්ට අයිති දේ සීසර්ට දෙනවා වගේ මා ලබාගත් ලක්ෂ ගණනක ඡන්ද සංඛ්‍යාව එජාප නායකතුමාගේ දෙපා මුල තියා ආණ්ඩුවට එක්ව වයඹට තරග කරන්න තීරණය කළා..." යෑයි දයාසිරි ජයසේකර මහතා ඊයේ (24 දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති විවාදය අතරතුරදී කතානායක චමල් රාජපක්ෂ මහතාගේ අවසරය මත විශේෂ ප්‍රකාශයක් කළ දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය.මම මේ කතාව පටන් ගන්නම් එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1959 දී හොරණ ශ්‍රීපාලි විදුහලේ දී කළ කතාවක කොටසකින්.
"මිනිසුන් දැඩි සේ එල්බගෙන සිටිය යුතු නිදහසක් ඇත. ඒ මිනිසා සතු සිතීමේ නිදහසයි. එකී නිදහස නැතිව යැම සකල මානව ජනයාටම ෙ€දජනක කාලයක් උදාකරනු ඇත..."
අද මට මේ ප්‍රකාශය කිරීමට සිදුව තිබෙන්නේ මේ සිතීමේ නිදහස සම්බන්ධයෙන් අපේ පක්ෂය ඇතුළේ ඇති කර තිබෙන භයංකර තත්ත්වයත් සමගයි.සිතීමේ නිදහස වෙනුවට අන්ධානුකරණය ඇදහීමේ නිදහස තමයි අපට ලැබී තිබෙන්නේ. ඒක ඊයේ දවස දක්වාම සිද්ධ වුණා. මා අද එතැනින් ඉවත්වීම ගැන සතුටු වෙනවා. අන්ධානුකරණයෙන් ජීවත් වීමට වඩා අපේ පක්ෂයේ නායකතුමා කොන්සර්වේටිව් වාදියෙක්. එතුමා ඒ දෘෂ්ටිවාදය නියෝජනය කරන්නේ ලෝක ක්‍රිස්තියානි ප්රජාතන්ත්රවාදී සංගමයේ දකුණු ආසියානු කලාපයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙසයි.
බ්‍රිතාන්‍ය අගමැති බෙන්ජමින් ඩිස්ට්රායෙල් කොන්සර්වේටිව් වාදය ගැන මෙසේ කියා තිබෙනවා. කොන්සර්වේටිව් වාදය ප්‍රතිපත්ති හමුවේදී හැකි ලෙස අතීතය වෙත ඇති ගෞරවය ප්‍රතික්ෂේප කරති. වර්තමානයට විසඳුම් නොසොයනවා මෙන්ම අනාගතය සඳහාද කිසිදු සූදානමක් ඇතිකර නොගනිති."
අපේ එජාපයේ අනාගතය ගැන සිතා බැලීමේදී මේ කොන්කිරීමට පළිගැනීමට ලක්වූ මන්ත්‍රීවරයෙක් ලෙස ඒ ඩිස්ට්රායෙල්ගේ ඒ වදන්වල නියම අර්ථය අපේ පක්ෂ නායකත්වය විසින් අපට ලබාදී ඇති බව දකිනවා.
ඒ තත්ත්වයට එරෙහිව ක්‍රියා කිරීමට ගිය හැම කෙනෙක්ම ගිලටීනයට අසු වෙනවා. දැනට ආණ්ඩුවට ගොස් සිටින අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් ඒ ගිලටීනයට හසුවී එතැනින් ඉවත්වූ අය ලෙස ඉතිහාසයට එකතු වෙනවා.
1994 දී අපේ නායකතුමා පක්ෂ නායකත්වයට පත්වූ පසුව 1995 දී කතරගම පැවැති පක්ෂ සම්මේලනයේ දී 8 (11) වගන්තිය ඇතුළත් යෝජනාවක් ගෙන ඇත. පක්ෂ නායකත්වයේ පුරප්පාඩුවක් ඇතිවන තුරා නායකත්වය වෙනස් නොකරන බව ඒ යෝජනාවේ සඳහන්. ඉන් අදහස් වන්නේ පක්ෂ නායකයා එක්කෝ මිය යා යුතුයි. නැත්නම් ඉල්ලා අස්විය යුතුයි. මේ ක්‍රමවේදය තමයි අප පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් වුණේ. අපි එය වෙනස් කිරීමට විශාල සටනක් කළා.
අවුරුදු හයකට නායකත්වය දීර්ඝ කරගත්තා. 2014 ජනාධිපතිවරණය පැරදුනත් 2018 දක්වා මේ නායකත්වය පක්ෂය තුළ ඉතිරි වේවි. අහිංසක පාක්ෂිකයන්ට 2022 දක්වා බලය ලබාගැනීමේ හීනය ඉතිරි වී තිබෙනවා. තව අවුරුදු දහයක් එක්සත් ජාතික පාක්ෂිකයන් ගුටිකකා 2022 දී බලය ලබා ගැනීමේ හීනයක ඉඳීවි.
කරු ජයසූරිය මහතාව කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කළා. සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජ්‍ය නායකත්වය ඉවත් කළා. තලතා අතුකෝරළගේ ලක්වනිතා සභාපතිකම ඉවත් කළා. රෝසි සේනානායක මහත්මිය හා බුද්ධික පතිරණ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කළා. සුජීව සේනසිංහ අද දක්වා ප්රවෘත්ති සාකච්ඡාවකට කැඳවන්නේ නෑ. ජනතාව සමග සිටි අශෝක අබේසිංහයන්ගේ ආසන සංවිධායකකම, ඉමිටියාස් බාකීර් මාකර්ගේ, රංජිත් අලුවිහාරගේ, චන්ද්‍ර ගංකන්දගේ කෘත්‍යාධිකාරි සාමාජිකත්වය අහෝසි කළා.
ශිරාල් ලක්තිලක, මෛත්‍රි ගුණරත්න, ජෝර්ඡ් පෙරේරාගේ ආසන සංවිධායක ධුර අහිමි කළා. මේක ස්ටාලින් කොමියුනිස්ට් පක්ෂය ශුද්ධ කළා හා සමානයි. ජනමතයක් ඇති මිනිසුන් එළවා දමන වැඩපිළිවෙළක් පක්ෂය තුළ ක්‍රියාත්මක කළා. රංගේ බණ්ඩාරගේ ආසන සංවිධායකකම ඉවත් කළා.
අපිට ඉගැන්නුවේ යුද්ධය පරදිනවා කියලා. කර්නල්ලා ගෙනැල්ලා අපිට ඉගැන්නුවේ යුද්ධය පරදින හැටි. අපි ඒකට විරුද්ධ වුණා. යුද්ධය පරදිනවා. ආර්ථිකය කඩා වැටෙනවා. එවිට ආණ්ඩු බලය ගත හැකියි කියා අපිට ඉගැන්නුවා. අපි මේකට විරුද්ධ වුණා.
එදා අටදෙනෙක් සහිතව මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විශාල වැඩ කොටසක් කළා. අද අපි උද්ඝෝෂණය කරනවා. නායකයා ඇවිත් කතා කරලා ගියාට පස්සේ කඳුළු ගෑස් ගහනවා. හරියට සෙට් කරලා ගැහුවා වගේ. තමන් වෙනුවෙන් හිරේ ගිය නායකයන් බේරගන්න බැරි නායකයෝ කොහොමද ජනතාවගේ හද ගැහෙන රාවය හඳුනාගන්නේ.
සරත් ෙµdන්සේකා මහතා අවුරුදු දෙකහමාරක් හිරේ ගිය පසුව එජාපයට ඔහුව බේරා ගන්න බැරි වුණා. ෙµdන්සේකා මහතා හිරේ තියාගෙන සිටීම තමයි එදා ඇති වූ ආශ්වාදය. මිනිසුන් සිරගත කළ පසු ඔවුන්ගේ හදවත් හඬද්දී එයින් බලය ලබා ගැනීමේ මන්ද මානසිකත්වයක් තමයි තිබුණේ.
ශිරාණි බණ්ඩාරානායක මහත්මිය ඉවත් කිරීම වැරදියි. ඒ බව මම අදත් කියනවා. ඒත් ඒ වෙද්දී විපක්ෂය ලෙස අපි හරියට වැඩ කළා නම් ආණ්ඩුවට සෙල්ලම් කරන්න බෑ. අපි ඒ සටන අතහැර දමලා ඊළඟ අගවිනිසුරු ලවා මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ඉවත් කරගන්න සැලසුම් කළා. ඒත් ඒ මන්ත්‍රීවරු අදත් ඉන්නවා.
අපි වයඹ පළාත් සභාව ඉතා ඉහළ ප්‍රතිශතයකින් දිනනවා. මම අද මෙතැනින් එළියට ගිය පසු ඒ ජයග්‍රහණය ආණ්ඩුවට අරගෙන දෙනවා. විපක්ෂයට ජයග්‍රහණය කරන්න ඉඩ දෙන්නේ නෑ.
ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව වැඩ කරනවා නම් අප තුළත් ප්රජාතන්ත්රවාදය තිබිය යුතුයි. සාධාරණය පතන්නා එය කළ යුත්තේ පිරිසිදු දැත් ඇතිවයි.
එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ අඩිපාරේ යමින් මම එක්සත් ජාතික පක්ෂය අතහැර දමා මගේ තිඹිරි ගෙදරට ගමන් කරනවා. වීර කැප්පෙටිපොල ඉංග්‍රීසීන්ට එරෙහිව සේනා රැස්කර ඉංග්‍රීසීන්ගේ ආයුධ ඉංග්‍රීසීන්ට භාර දී ඉංග්‍රීසීන්ට එරෙහිව සටන් කිරීමට සිංහල හමුදාව සමඟ හා එකතු වුණා වගේ වැඩක් මම කරන්නේ.
මට ඡන්දය ලබා දුන් ඡන්දදායකයන් අමතක කර පාර්ලිමේන්තුව හරහා ආණ්ඩු පක්ෂය පැත්තට ගිහින් ඇමැතිකමක් ගන්න මටත් තිබුණා. හදවත ඇති එක්සත් ජාතික පාක්ෂිකයන් සියලු දෙනා මට කියනවා ඔබතුමා යන්න එපා ඔබ විතරයි කතා කරන්න ඉන්නේ කියලා. ඔවුන්ගේ ඡන්දවලින් ඇවිත් ඒ අයගේ මූණේ දැලි ගාන්න බැරි නිසයි මම මේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී යළි ජනමතය උරගා බලන්න පළාත් සභාවට තරග කරන්නේ.
සීසර්ට අයිති දේ සීසර්ට දෙනවා වගේ මට ලැබුණු ලක්ෂ ගණනක ඡන්ද ප්‍රමාණය විපක්ෂ නායකතුමාගේ දෙපතුල මුල තියලා මම වයඹට තරග කරන්න තීරණය කළා. එක්සත් ජාතික පාක්ෂිකයන්, ශ්‍රීලනිප පාක්ෂිකයන් මා ගත් තීරණය ඔවුන්ට වැදගත් බව තීරණය කරයි. යළිත් පාර්ලිමේන්තුවට පැමිණීමේ හිඩැස ඉතිරි කරගෙනයි මම අද සමුගන්නේ.
එක්සත් ජාතික පාක්ෂිකයන් අද දරුණු කඩාවැටීමකට ලක්වෙලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ දැක්මට, ජීවයක් ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වී මගේ ජනතාවට මම සේවය කරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ යළි මේ රට ඉදිරි දස වසර තුළ එක්සේසත් කරනවා.