ඇන්කර්,මැලිබන් සහ ඩයමන්ඩ් පිටිවල විෂ රසායන

ඇන්කර්,ඇන්කර් 1+ හා ඩයමන්ඩ් සහ මැලිබන් නන්ෆැට් යන ආනයනික කිරිපිටිවල DCD රසායනිකය අන්තර්ගතව ඇති බව කාර්මික තාක්ෂණ ආයතනය විසින් සිදුකළ පර්යේෂණයකදී මේ බව තහවුරු වී තිබේ.

කාර්මික තාක්ෂණ ආයතනය පාරිභෝගික යන්ගෙන් ලද ඉල්ලීමකට අනුව රටතුළ අළෙවිකරන කිරිපිටි වර්ගවල ඩයිසයන්ඩයිඒමයිඩ්/ (Dicyandiamide - DCD) අන්තර්ගතද යන්න පිළිබඳව සොයා බැලීමට මේ පර්යේෂණය කර ඇත.ඒ අනුව ආනයනික කිරිපිටි වර්ග 4 ක සහ දේශීය කිරිපිටි වර්ග 2 ක සාම්පල විවිධ ප්‍රමාණයන්ගෙන් ගෙන මෙම පර්යේෂණය සිදු කර තිබේ.එම සාම්පල අතරට ෆොන්ටේරා සමාගමේ ඇන්කර් හා ඇන්කර් 1+, ඩයමන්ඩ් සහ මැලිබන් නන්ෆැට් ආනයනික කිරිපිටි මෙන්ම හයිලන්ඩ් සහ පැලවත්ත සන්නාම සහිත දේශීය කිරිපිටි සාම්පලත් යොදාගෙන ඇත.

පර්යේෂණයට අනුව තහවුරු වී ඇත්තේ ආනයනික කිරිපිටි වර්ග හතරෙහිම DCD රසායනිකය අන්තර්ගත බවයි.එහෙත් දේශීය කිරිපිටි වර්ග දෙකෙහි කිසිඳු DCD රසායනික තත්ත්වයක් අන්තර්ගත නොවන බව ද පර්යේෂණ කණ්ඩායම තහවුරු කර ඇත.ඩයිසයන්ඩයිඒමයිඩ් (DCD) රසායනිකය හරකුන් අනුභව කරන තණකොළ සඳහා යොදන අතර එය යෙදීමට ප්‍රධානතම හේතුව වන්නේ හරක් මුත්‍රා ආශ්‍රයෙන් නිෂ්පාදනය වන හරිතාගාර වායුව ඕසෝන් ස්ථරයට දැඩි බලපෑමක් එල්ල කරන බැවින් බව පැවසේ.


DCD රසායනිකය යෙදීමත් සමග එම තත්ත්වය පහවී යන බවද වාර්තා වේ.මෙම රසායනිකය මිනිස් පරිභෝජනයට නුසුදුසු බව පර්යේෂකයෝ පෙන්වා දෙති.කෙසේ වෙතත් කිරිපිටිවල DCD නැමැති රසායනිකය කිසිසේත් අන්තර්ගත විය නොහැකි බව ද ඔවුහු අනාවරණය කරති.ඉදිරියටත් මේ සම්බන්ධව අඛණ්ඩ පරීක්ෂණ සිදු කරමින් අවධානයෙන් සිටින බව කාර්මික තාක්ෂණ ආයතනය පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේත් පාරිභෝගික සේවා අධිකාරියේත් අධීක්ෂණයෙන් පසු ඉදිරි පියවර ගන්නා බව කාර්මික තාක්ෂණ ආයතනය පවසයි.

Gossip Lanka Hot News Previous News Archive