වේගයෙන් ආ වැලි ලොරිය මවත් පුතාත් බිල්ලට අරන්

ලග්ගල ඇලහැර ප්‍රධාන මාර්ගයේ වැල්ලේවල ගොමහන්දියේදී අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයකට මවක සහ පුතකු ඊයේ (26 වැනිදා) යට වී මිය යැමෙන් ප්‍රකෝපයට පත් වූ ප්‍රදේශවාසීහු දෙදහසක්‌ පමණ දෙනා ගොමහන්දියේදී ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.

නාඋල සිට ලග්ගල දෙසට වැලි ගෙන ඒමට ධාවනය වූ ලොරිය මාර්ගයෙන් ඉවතට පැන ගොමහන්දිය බස්‌ නැවතුම්පළ අසල සිටි මව සහ පුතා යටකර ගෙන බස්‌ නැවතුම්පළ ද කඩා ගෙන අසල තිබූ ගොඩනැඟිල්ලකට හේත්තු වීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

අනතුරෙන් මියගියේ ලග්ගල තෝරපිටිය දාස්‌ගිරිය ප්‍රදේශයේ පදිංචි ටී. ජී. අනුලාවතී (46) නමැති මව සහ සුමිත් නිශාන්ත බණ්‌ඩාර නමැති 23 හැවිරිදි පුත්‍රයා ය. ඔහු කලක්‌ යුද හමුදාවේ සේවය කර ඇත. අනතුර සිදු කළ ලොරි රථයේ රියෑදුරු සහ සහායක අනතුරෙන් පසු පලා ගොස්‌ තිබෙන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ සිදු කරන බවත් පොලිසිය පවසයි.


කළුගඟ මහා විද්‍යාලයෙන් ඊයේ (26 වැනිදා) පිටත්වීමට නියමිතව තිබූ අධ්‍යාපන චාරිකාව සඳහා තම බාල පුතා විද්‍යාලයට ගෙන ගොස්‌ භාර දී ආපසු යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී ගොමහන්දිය බස්‌ නැවතුම්පළ අසල නැවතී තවත් දෙමවුපියන් පිරිසක්‌ සමඟ කතාබස්‌ කරමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා තිබේ.


අනතුරෙන් ප්‍රකෝප වූ ගම්වැසියන් එම මාර්ගයේ ධාවනය වූ සියලුම වැලි ලොරිවලට මාර්ගය අවහිර කර පහර දී ඇත. ලොරි කිහිපයක වීදුරු ද කඩා බිඳ දමා තිබේ. ගම්වාසීන්ගේ ප්‍රහාරවලින් බේරීමට ලොරි රථ 16 ක රියෑදුරන් සහ සහායකයන් තම ලොරි රථ දමා පලාගොස්‌ ඇත. ප්‍රකෝප වූ ගම්වැසියන් ටයර් පුළුස්‌සමින් තම විරෝධතාවන් දක්‌වා තිබේ.

මියගිය මව හා පුතුගේ මෘත දේහ හත්තොටඅමුණ රෝහලේ තැන්පත් කර ඇති අතර ඊයේ (26 දා) සවස මරණ පරීක්‍ෂණ පැවැත්වීමට නියමිතව තිබිණි. ලග්ගල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වන අතර ඊට අමතරව මාතලෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ද පරීක්‍ෂණ කටයුතු සඳහා පැමිණ තිබේ.

ප්‍රදේශවාසීන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැලුනු අයුරු

Gossip Lanka Hot News Previous News Archive