කොදෙව්වන්ට වැස්ස හරස් වෙයි: ඉන්දියාව පළමු ජය ලබයි

බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (05) සමත් විය. කොදෙව් කණ්ඩායම ලකුණු 102කින් පරාජයට පත්කරමින් එම ජයග්‍රහණය වාර්තා කළේය.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ ජය තීරණය වූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුවය.කාසිය වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලූ 7ක් දැවී ලකුණු 311ක් රැස්කළ අතර, එහිදී විරාත් කෝලි ලකුණු 102ක් ලබා ගත්තේය.

කොදෙව් ඉනිමේ දසවෙනි පන්දුවාරයේදී වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරගය තාවකාලිකව නතර කෙරිණ. ඒ වන විට කොදෙව්වන් කඩුලූ 2ක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 56කි.අනතුරුව තරග තීරක ජෙෆ් ක්‍රෝව් කොදෙව් කණ්ඩායමට ඩක්වත් ලූයිස් න්‍යායට අනුව පන්දුවාර 39කදී ලකුණු 274ක ඉලක්කයක් ලබාදීමට තීරණය කළේය.එම ඉලක්කය හඹාගිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 34ක් අවසානයේ සියලූදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 171ක් පමණි.ඉන්දියානු කණ්‌ඩායමේ නිත්‍ය නායක මහේන්ද්‍ර සිං ආබාධයකට ලක්‌වීම මත සහ පළමු තරග දෙකම පරාජය වීම මත ඉන්දියානු කණ්‌ඩායමට එරට මාධ්‍ය වලින් විවේචන එල්ල වෙමින් තිබු මොහොතක ඊයේ තරගයේ වීරයා ලෙස ඉන්දීය නායක විරාත් කෝලි නම්කෙරිණ.


කොදෙව් තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ ලකුණු 9ක් ලබාගත් කොදෙව් කණ්ඩායම තවදුරටත් එහි පෙරමුණ ගෙන සිටියි.

ප‍්‍රසාද ලකුණු 5 බැගින් හිමිකරගත් ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව එහි පසුවන්නේ පිළිවෙළින් දෙවන සහ තුන්වන ස්ථානවලය.

මෙම තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම අතර තවත් තරගයක් හෙට (07 ) පැවැත්වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 8.00 ට පමණ ආරම්භ වීමට නියමිතය.

Gossip Lanka Hot News Previous News Archive