එංගලන්ත 'කාඩිෆ්' ක්‍රීඩාංගණයේ පසුගිය ජූනි 20 වැනි දින පැවැති ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරගයේදී ඊළාම් ධජය රැගෙන ක්‍රීඩා පිටියට පැමිණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට බාධා කිරීමට උත්සාහ කළ කොටි සාමාජිකයා ATM වංචාවකට සම්බන්ධ යැයි ජාත්‍යන්තර පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (03) විවෘත වරෙන්තු නිකුත් කළේය.
ජාත්‍යන්තර පොලිසිය හරහා සැකකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ඇති බව සඳහන් කරමින් සැකකරුට එරෙහිව රතු නිවේදනයක් ලබා ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙසට රහස් පොලිසිය කරනු ලැබූ ඉල්ලීම සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.
යෝගෙෂ්වරන් මනිමාරන් නොහොත් මොහාන් රාජ් නමැති මොහු ඌරන් ජනපදය, වැල්වටිතුරේ පදිංචිකරුවෙකි. විදෙස් ජාතිකයන්ට අයත් බැංකු ගිණුම් සඳහා ව්‍යාජ විද්‍යුත් කාඩ්පත් සකස් කොට ශ්‍රී ලංකාව තුළ ඇති ස්වයංක්‍රීය යන්ත්‍ර මඟින් මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.මෙසේ ලබාගන්නා ලද කෝටි තුනකට ආසන්න මුදලක් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා හා එම සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල නියැළී සිටිමින් ත්රස්තවාදීන්ට මුදල් සපයන බවට ද තොරතුරු අනාවරණය වී ඇති බවට රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මොහු නමින් මෙරට ගුවන් ගමන් බලපත්‍රයක් ද නිකුත් කර නොමැති බවත් මොහු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා සිටින අයෙක් බවටත් රහස් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. ගුවන් ගමන් බලපත්‍ර කිහිපයක්ම භාවිතා කර ඇති මොහු කොටහේන පෞද්ගලික බැංකුවක ගිණුමක් පවත්වාගෙන යන බවත් එකි ගිණුම අත්හිටුවන ලෙසට රහත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
මොහු විසින් 2006 අංක 30 දරන ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනතේ 3 වන වගන්තිය හා 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත 3 වගන්ති ප්‍රකාරව වරදවල් සිදු කර ඇති බවට රහස් පොලිසිය සිය වාර්තාවෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු අනාවරණය කර තිබිණ.
අදාළ ක්‍රිකට් තරගාවලියේදී පිටියට ඊළාම් ධජය රැගෙන ආ පුද්ගලයා මෙම වරදවල් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු බවට විද්‍යුත් මාධ්‍යවල පළ වූ ඡායාරූප අනුව හා මෙම විමර්ශනයට අදාළ වංචනික ගනුදෙනුවලට අදාළ වූ ස්වයංක්‍රීය මුදල් ලබා ගැනීමේ තුළ වූ ආවේක්ෂණ කැමරා දර්ශන මඟින් හඳුනාගත් බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට තිබිණ.
මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ තවත් ද්‍රවිඩ සැකකරුවන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.
පිරුමන්දනාරු, දර්මපුරම් පදිංචි ආනන්ද රුබන් කුලදීපන් හා ඩෙෆිල්ඩ් පාර කොටහේන පදිංචි බාලසුබ්රමනියම් උදයදාස් නැමැති සැකකරුවන් මෙසේ රැඳවුම් නියෝග මත රහස් පොලිසියේ රඳවා ප්‍රශ්න කෙරේ.
මෙම සැකකරුවන් විසින් කටාර් කොමර්ෂල් බැංකුව විසින් එක්සත් එමිල් රාජ්‍යයේ එස්.එච්. සුල්තාන් ජස්මිස් අල්හානි නැමැත්තාට නිකුත් කළ විද්‍යුත් කාඩ් පත් 4ක දත්ත සොරා ගෙන ලංකාවේ පුද්ගලික බැංකුවක ස්වයංක්‍රීය යන්ත්‍ර 28ක් මඟින් 2012 / 5 / 20 වන දින පැය 9ක කාලයක් තුළ දී රුපියල් 32871000 මුදලක් වංචා කොට තිබේ.
එම පුද්ගලික බැංකුවේ ණය කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධාන කළමනාකරු එච්.එල්.අයි. ඇලපාත මහතා 2012 / 5 / 29 රහස් පොලිසිය වෙත පැමිණිලි කොට තිබේ.
කාඩ්පතක දත්ත උපයෝගී කර ගනිමින් පුද්ගලයන් කණ්ඩායමක් සංවිධානාත්මකව මෙහෙයවන මෙම වංචාවට ප්‍රංශය, කැනඩා යන විදෙස් රටවල නිකුත් කරන ලද විද්‍යුත් කාඩ් දත්ත උපයෝගී කර ගනිමින් මෙරට එකි පුද්ගලික බැංකුවෙන් 85,000 /- හා 3,42000 /- මුදලක් ද ලබා ගැනීමට 2013 / 4 / 24 දින උත්සහ කළ බවට විධායක නිලධාරී මාධව රාජපක්ෂ මහතා ද පැමිණිල්ලක් රහස් පොලිසිය වෙත ඉදිරිපත් කොට තිබේ.
සැකකරුවන් විදෙස් ජාතිකයින්ට අයත් බැංකු ගිණුම් සඳහා ව්‍යාජ විද්‍යුත් කාඩ්පත් සකස් කර ශ්‍රී ලංකාව තුළ ඇති ස්වයංක්‍රීය මුදල් ලබාගැනීමේ යන්ත්‍ර හරහා එකි මුදල් ලබා ගන්නා සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් බවට අධිකරණය හමුවේ රහස් පොලිසිය කරුණු දක්වා තිබිණ.
තවද ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ නියැළෙමින් සිටින මොවුන් ත්රස්තවාදීන්ට මුදල් සැපයීම සිදු කරන්නේද යන්න හා මහජනතාවගේ යහපැවැත්ම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය පහසුකම් සේවා පවත්වාගෙන යාමට අහිතකර අන්දමින් ක්‍රියා කරන්නේද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශනය කරන බව පැවසූ රහස් පොලිසිය මෙම මුදල් ත්‍රස්තවාදී කණ්ඩායමකට පත්වූවාද යන්න හා රජය අපහසුතාවයට ලක් කිරීමේ අවශ්‍යතාවය මත යම් යම් රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදී කණ්ඩායමක අවශ්‍යතාවය මත මෙම අපරාධය සිදු වූයේද පිළිබඳව විමර්ශනය කිරීමට සැකකරුවන් 1979 අංක 48 ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ වගන්ති 9 (1) යටතේ සැකකරුවන් රහස් පොලිසිය භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග දීර්ඝ කරන ලෙසට ද ඉල්ලීමක් කළේය.
අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඉල්ලීම සාධාරණ බව පවසමින් පළමු හා දෙවන සැකකරුවන් රැඳවුම් භාරයේ තැබීමට රහස් පොලිසියට අවසර දෙමින් තුන්වන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මඟින් වරෙන්තුවක් නිකුත් කළේය.
රහස් පොලිසියේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ධම්මික සේනාධීර හා පොලිස් කොස්තාපල් 18706 ජයකොඩි යන අය අධිකරණයට කරුණු දැක්වීය.
.