විදේශ රැකියාවක් සඳහා පිටත්ව යාමට නුසුදුසු පවුල් පසුබිමක් සහිත කාන්තාවන්ට විදේශ රැකියා සඳහා පිටත්ව යාමට කිසි විටෙකත් ඉඩලබා නොදෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.
ගෘහපාලිකා සහයිකාවන් හා ගෘහ සේවිකාවන් වශයෙන් විදේශ ගතවන සියලූම කාන්තාවන්ගේ පවුල් පසුබිම විදේශ ගතවීමට සුදුසු වියයුතු බවද නව වැඩපිළිවෙළ එළඹෙන ජූලි 15 දා සිට ක්‍රියාත්මක වන බවද විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
කාන්තාවන්ගේ පවුල් පසුබිම යටතේ කුඩාදරුවන් සිටීද, මව විදේශ ගත වීම හේතුවෙන් එම දරුවන්ට රැකවරණය, ආරකෂාව, අධ්‍යාපනය හොඳින් ලබාදිය හැකිද යන්න මෙන්ම ස්වාමි පුරුෂයාගේ චර්යාව, ඥාතීන්ගෙන් හෝ අසල්වැසියන්ගෙන් දරුවන් ලිංගික හිංසනයට ලක්වේද, සමස්ථයක් වශයෙන් මව විදේශ ගතවීම නිසා පවුල් සංස්ථාව බිඳ වැටේද ආදී කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමුකරන බව පවසන ඇමැතිවරයා ඊට අමතරව අඩු වයස් කාන්තාවන්, රෝගී කාන්තාවන් විදේශ ගතවන්නේද යන්න සම්බන්ධයෙන්ද සොයා බලන බව කියාසිටී.ඊට අමතරව ගෘහාශ්‍රිත රැකියා සඳහා කාන්තාවන් විදේශ ගත වීම මඟින් පවුලේ ආර්ථීකය ඉහළ නැංවිය හැකි විම, ආදායම් ආරක්ෂාවීම, ස්වයං රැකියා සිදු කිරීමට ස්වාමියාට හෝ පවුලේ අයට හැකිද යන්න පිළිබඳවද කරුණු සොයා බලයි.
ඇමැතිවරයා කියා සිටියේ මේ දැවැන්ත විමර්ශනය සඳහා දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම තම අමාත්‍යංශය මඟින් පත්කර ඇති උපාධිධාරී සංවර්ධන සහායක නිලධාරින්ගේ සහාය උපරිමයෙන් ලබාගන්නා බවයි.
ඔවුන් විසින් විදේශ ගතවන කාන්තාවගේ තොරතුරු ඇයගේ නිවසටම ගොස් ලබා ගන්නා අතර එය තහවුරුකර ප්‍රදේශීය ලේකම්ගේ අනුමැතිය සහිතව අදාළ කාන්තාවන්ට විදේශ ගත වීමට අනුමැතිය දිය යුතු වෙයි. එසේම මේ පවුල් පසුබිම් වාර්ථාව නොමැතිව දිවයිනේ පිහිටි කාර්යාංශයේ කිසිඳු පුහුණු මධ්‍යස්ථානයකින් ගෘහසේවිකා හෝ ගෘහ පාලිකා සහයක පාඨමාලාවක් හැදෑරිය නොහැකි බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
ජූලි 15 වනදා සිට පුහුණු වන අය සඳහා මේ සහතිකය අනිවාර්යයෙන් සලකාබැලේ. ඊට අමතරව ඉදිරියේදී එතෙර සිටින හාම්පුතාගේ පවුල් පසුබිමද තානාපති කාර්යාල හරහා ලබා ගන්නා බව සදහන් කරන ඩිලාන් පෙරේරා මහතා එම හාම්පුතාගේ පවුල් පසුබිම හොඳ නම් පමණක් මෙරටකාන්තාවන් අදාළ ගෘහරැකියා සඳහා යොමු කිරීමට නීති සකසන බවද අවධාරණය කරයි.