අමන්දා වෙනදාටත් වඩා උදේයාගයකින් යුතුව පරිගණකය ඉදිරියේ වාඩි වූවාය. ඇයගේ දෙනෙත්හි රැඳී තිබුණේ දැඩි නොඉවසිලිමත් බවකි. කිසියම් සුවිශේෂී දෙයක් අපේක්ෂාවෙන් ඇය බලා සිටියාය. "කොහොමද අමන්දා" ඒ ඇය මෙතෙක් වේලා අපේක්ෂා කරන ලද ප්‍රේමාන්විත කට හඬය. ඒ හඬ ඇසෙත්ම අමන්දාගේ දෙතොල් අතර ඇදී ගියේ ප්‍රේමාන්විත මන්දහාසයකි.
"මම බලන් හිටියේ 9.00 වෙන්නේ කොයි වෙලාවෙද කියලා."
ඇය තම නොඉවසිලිමත් බව පිළිබද ස්කයිප් තාක්ෂණයෙන් තමා අමතන ස්වීඩනයෙහි සිටින තම නව පෙම්වතාට පැවැසුවාය. "හරි පැටියෝ දැන් ඉතින් මම ආවානේ" ඔහු ඇයව අස්වැසුවේය. ඇයව අස්වසන්නට වචන ගණන් නාස්ති කරන්නට ඔහුට අවශ්‍ය වූයේ නැත. ඔහුගේ එක් වචනයක් ඇසූ සැණින් අමන්දා ප්‍රේමයෙන් උද්දාමයට පත්වන බව ඔහු හොඳින් වටහාගෙන සිටියාය. මන්දා දැඩි සේ ඔහුට ආදරය කිරීමට පටන් ගෙන තිබුණාය.
ධනවත් පවුලක සාමාජිකාවක් වූ රූමත් අමන්දා කොළඹ පිහිටි පාසලක ගුරුවරියක ලෙසින් සේවය කළාය. අතීතයේදී ඇයට පෙම්වතුන් කිහිප දෙනකුම සිටියාය. එහෙත් එම ප්‍රේම කතාවලින් ඇය ලැබුවේ මානසික පීඩනයක් පමණි. එම නිසාම එම ප්‍රේම කතාවලට තිත තැබූ අමන්දා යළි ප්‍රේම නොකරමියි තමා වෙතම ස්වයං වාරණයක් දමාගෙන සිටියාය. එහෙත් එම වාරණයන් සිඳී බිඳී ගියේ ෆේස් බුක් මාර්ගයෙන් මාස 9කට පමණ පෙර හඳුනාගත් කඩවසම් පිරිමියකු නිසාය.
ෆේස් බුක් මාර්ගයෙන් චැට් කළ ඔවුන් දෙදෙනාටම සජීවීව බලා ගැනීමට අවශ්‍ය වූ නිසා ඔවුහු එකිනෙකා ස්කයිප් මාර්ගයෙන් කතාබහ කිරීමට පොරොන්දු වූහ. ඒ අනුව ස්කයිප් මාර්ගයෙන් සජීවීව හමුවූහ. පරිගණක තිරය මත වැටෙන කඩවසම් පිරිමි රූපය දැක අමන්දා මොහොතකට සසල වූවාය. අමන්දා තමාට වසඟ වී සිටින බව වටහාගත් ඔහු තම ප්‍රේම දැලෙහි ඇය පටලවා ගැනීමට මාන බැලුවේය.
ඒ වන විටත් ඔහුව දැකීමෙන් සතුටට පත්වී සිටි අමන්දා ඔහුගේ ආදරය පිළිගැනීමට මැළි වූයේ නැත. ඒ අනුව ඉතා ඉක්මනින් ඔවුහු පෙම්වතුන් බවට පත්වූහ. එදින සිට අමන්දාගේ අලුත් ලෝකය ගොඩනැඟුණේ ඔහු වටාය.
"මගේ බෝයි ෆ්‍රෙන්ඩ් නලින් ඉන්නේ ස්වීඩන්වල. එයා එහේ යුනිවර්සිටි එකක මහාචාර්යවරයෙක්. එයා හරිම කඩවසම්."
අමන්දා සිය පෙම්වතා පිළිබඳ තම මිතුරියන්ට පැවැසුවේ උද්දාමයෙනි.
"ඔයා ටිකක් හොයල බලන්න අමන්දා. ෆේස් බුක්වල හොරුත් ඉන්නවා, ස්කයිප් එකෙන් කතා කළාට අපි දන්නේ නෑනේ එයාගේ ඇත්තම තත්ත්වේ"
සමාජ වෙබ් අඩවි හරහා සිදුවන අකටයුතුකම් පිළිබඳ හොඳින් දන්නා අමන්දාගේ මිතුරිය ඇයට අනතුරු ඇඟවූවාය. එහෙත් ප්‍රේමයෙන් මුසපත් වී සිටින අමන්දාට මිතුරියගේ අවවාදය දැනුණේ ඊර්ෂ්‍යාසහගත ප්‍රකාශයක් වශයෙනි.
"මගේ යාළුවා කියනවා ඔයා ගැන හොයල බලන්නලු. හොරුත් ඉන්නවලු. එයාට මාත් එක්ක ඉරිසියා හිතිලද කොහෙද?"
අමන්දා එදින රාත්‍රියේද ස්කයිප් මාර්ගයෙන් දහවලේ සිදුවූ සියල්ල ඔහුට වාර්තා කළාය.
"එයා කියන්නේ ඇත්ත අමන්දා. ඒ වගේ හොරු ඕන තරම් ඉන්නවා. ඒත් ඔයා මං ගැන ටිකක්වත් බය වෙන්න එපා.
මං ඔයාට ඇත්තමට ආදරෙයි. අනික මං ලබන මාසේ නිවාඩුවට ලංකාවට එනවානේ ඔයාව බලලා යන්න" ඔහු ඇගේ සිතේ විශ්වාසය ගොඩනඟන්නට සමත් වූවේය.
අමන්දා තම පෙම්වතා වූ මහාචාර්ය නලින් ලංකාවට පැමිණෙන තෙක් ඇඟිලි ගනිමින් උන්නාය.ඇගේ එකම සිහිනය වූයේ ලංකාවට පැමිණි පසු ඔහුව තම මවුපියන්ට හා යහළු යෙහෙළියන්ට හඳුන්වා දීමයි. ඉන්පසුව ලබන වසරේ ඔහුගේ මනාලිය වන්නටද ඇය සිහින දුටුවාය.
"ඔයා ලංකාවට ආවට පස්සෙ මගේ අම්මටයි, තාත්තටයි අපේ සම්බන්ධය ගැන කියලා යන්න. ඊට පස්සේ අපිට පුළුවන් ලබන අවුරුද්දේ කසාද බඳින්න."
අමන්දා සිය බලාපොරොත්තු එකින් එක ඔහු හමුවේ දිග හැරියාය.
"හරි අමන්දා මං ලංකාවට ආව ගමන් කරන්නෙ ඔයාගෙ ගෙදර අයව හමුවෙන එක තමයි. ඊට පස්සේ අපිට පුළුවන්නෙ බඳින්න."
ඔහුද ඇගේ සිතැඟිවලට අනුව පැවැසුවේය. අමන්දාගේ පෙම් සිහිනය සැබෑවන දවස ටිකින් ටික ළං විය.
රාත්‍රි අහසේ සඳ දෙස බැලූ ඇය සඳට ආදරය කරන බව පැවැසුවාය. සීතල සුළං ඇගේ ගත කිළිපොළා යද්දී ඇය සිහිනයෙන් මෙන් ඔහුගේ උණුසුම සෙවුවාය. සැබැවින්ම තමා මේ ලොව සිටින වාසනාවන්තම පෙම්වතිය බව සිතමින් අමන්දා ප්‍රේමයෙන් මුසපත්ව සිටියාය. අල්ප මාත්‍රයක තරමේ සැක සංකාවක් ඇයගේ සිතට දැනුණේ නැත.
ඇය නින්දේ දුටු සියලු පෙම් සිහින සැබෑ කරමින් නලීන් ලංකාවට පැමිණියේය. ලංකාවට පැමිණි ඔහු මුලින්ම කළේ අමන්දාගේ ඉල්ලීම අනුව ඇයව මුණගැසීමයි. අමන්දාගේ සුරූපී බව දුටු නලීන්ට නෙත් අදහාගන්නට නොහැකි වූවේය. "ඔයා ගොඩාක් ලස්සනයි" ඔහු කිසිදු ලෝබකමක් නැතිව පැවැසුවේය. නලින්ගේ දෑතම අල්ලාගත් අමන්දා ඔහුගේ උණුසුමට ළං වූවාය. කොළඹ සුපිරි හෝටලයක් වෙත ගියේ දිවා ආහාරය සඳහාය.
නලීන්ගේ කඩවසම් රූපය ගැන මෙනෙහි කරමින් අමන්දා රාත්‍රිය ගෙවා දැම්මාය. හදිසියේම ජංගම දුරකතනය නාද වූ නිසා අමන්දාගේ දැහැන බිඳී ගියාය.
"අමන්දා මං ඔයාට ගොඩාක් ආදරෙයි. මං හෙටත් එනවා ඔයාව බලන්න."
දුරකතනයෙන් ඇසුණේ නලීන්ගේ කටහඬයි. කතිකා කරගත් ආකාරයට අමන්දා හා නලීන් දෙවැනි වරටද හමුවූහ. කොළඹ තරුපහේ සුපිරි හෝටලයකට අමන්දාව රැගෙන ගිය නලීන් ඇයව හෝටලය තුළ කාමරයක් වෙත රැගෙන ගියේ අපි දෙන්නාට ටිකක් නිදහසේ කතා කරන්න පුළුවන් යැයි කියමින්ය. නලීන් කෙරේ අමන්දාගේ සිතේ තිබූ විශ්වාසය නිසාම අමන්දා ඔහුගේ පිටුපසින් වැටුණාය.
"මම ඉක්මනට ඔයාගෙ ගෙදර ඇවිත් එයාලට අපේ සම්බන්ධය ගැන කියලා ඔයාව ඉක්මනට බඳිනවා." නලීන් අමන්දාගේ හිස සිඹිමින් පැවැසුවේය. තම පෙම්වතා කෙතරම් අවංක පෙම්වතෙක් දැයි සිතූ අමන්දා තව තවත් ඔහුගේ උණුසුමට ගුළි වූයේ ඔහුව දැඩි සේ විශ්වාස කරමිනි. නලීන්ගේ කතාවට අමන්දා වසඟ වී සිටියාය. ඔහු කෙතරම් බුද්ධිමත් පිරිමියෙක් දැයි ඇය සිතුවාය. මෙවැන්නෙක්ගේ ආදරයට පාත්රවීම තරම් භාග්‍යයක් තවත් නැතැයි ඇය ඇදහූවාය.
මධුවිත පිරවූ වීදුරුවක් අමන්දාගේ දෙතොළට ළං කෙරූ නලීන් එය බොන්නැයි අමන්දාට පැවැසුවේය. අමන්දාද කිසිවක් නොසිතා එය පානය කළාය. වීදුරුවෙන් වීදුරුව ඇගේ දෙතොළට ළංවද්දී ඇය පදමට මත් වී සිටියාය. අවස්ථාව උදාවන තෙක් මාන බලමින් සිටි අමන්දාගේ මහාචාර්ය පෙම්වතා මෙතෙක් වේලා සඟවාගෙන සිටි කැමරාව සුරතට ගත්තේය.
අවසිහියෙන් දඟලන අමන්දාගේ සිරුරේ ඇඳුම් එකිනෙක උනා දමා මහාචාර්යවරයා ඇගේ නිරුවත් සිරුර ඒ මේ අත පෙරළමින් කැමරාවෙන් ඡායාරූප ලබා ගත්තේය. ඒ කර්තව්‍යය හමාර කර දැමූ මහාචාර්යවරයා වියරු වැටුණු කාමාතුරයකුගේ ජවනිකාව රඟ දක්වන්නට වූවේය.
බමන මතින් සිටි අමන්දාට මහාචාර්යවරයාට එරෙහිවීමට තරම්වත් පියවි සිහියක් තිබුණේ නැත. ඇය ප්‍රකෘති සිහියට පත්වන විට සියලු අනඟ රැඟුම් නිමා වී තිබිණි. සියල්ල වටහාගෙන ඇය කඳුළු සලද්දී ඇගේ මහාචාර්ය පෙම්වතා ඇයව විවාහ කරගන්නා බව පවසමින් ඇයව සැනසුවේය. මෙවැනි දෙයක් යළි නොවීමට වග බලා ගන්නට අමන්දා තීරණය කළාය. එහෙත් ඇගේ පෙම්වතා නලීන් ඇයට දිගින් දිගටම කරදර කරන්නට වූවාය.
"මට එන්න බැහැ. ඔයා ගෙදර අයට කියලා මාව බඳින්න" ඇය මහාචාර්යවරයාට පෙරැත්ත කළාය.
"ඔයා ආවේ නැත්නම් ඔයාට මං හොඳ පාඩමක් උගන්වනවා. එදා ගත්තු ෆොටෝ, වීඩියෝ සේරම මං ගාව තියෙනවා. මං ඒ සේරම ෆේස් බුක් දානවා ටීචර්ගේ හැටි බලාගන්න රටටම. ඔයා අද එන්න ඕනෑ. එනකොට ලස්සන කතාවක් ලියාගෙන එන්නත් ඕනෑ."
ඔහුගේ වෙනස්වීම විශ්වාස කරගන්නට නොහැකි වූ අමන්දා පුදුමයට පත්වූවාය. තමා මේ තරම් නරුම අදහස් ඇති කාමතුරයකුට රැවටුණේ කෙසේදැයි ඇයට සිතාගන්නට නොහැකි වූවාය. ඊටත් වඩා ඇයට අදහාගත නොහැකි වූයේ ශෘංගාරාත්මක කතාවක් ලියාගෙන එන්නැයි ඔහු කළ ඉල්ලීමය. තමා රැවටී ඇත්තේ විකෘති ලිංගික ආශා ඇති සල්ලාලයකුට බව ඇය පසක්කර ගත්තාය.
දැඩි කලකිරීමකටත්, මානසික පීඩාවකටත් පත්වූ අමන්දා සිදු වූ සියල්ල තම මිතුරියට පැවැසීමට සිතුවාය. "තවත් ඔය මිනිහාට ගොදුරක් වෙන්න එපා. අපි පොලිසිය යමු" අමන්දාගේ යෙහෙළිය ඇයව දිරි ගැන්වූවාය. යෙහෙළිගේ අවවාදය අනුව ක්‍රියාත්මක වූ අමන්දා තමාට සිදුවූ අපරාධය පිළිබඳ ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් දැම්මාය.
වහාම ක්‍රියාත්මක වූ පොලිසිය අනඟ මහාචාර්යවරයාව සොයා ගෙන ගියේය. ඉතා සූක්ෂ්මව මහාචාර්යවරයා පිළිබඳ තොරතුරු සොයාගත් පොලිසියට ඔහු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින බවට සොයාගත හැකි විය.
ඒ අනුව මහාචාර්යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූයේය. ඔහුගේ කැමරාව හා පරිගණක යන්ත්‍රය පරීක්ෂා කළ පොලිසියට දැකගත හැකි වූයේ අමන්දා වැනි රූමත් තරුණියන් කිහිප දෙනකුගේම නිරුවත් ඡායාරූප හා වීඩියෝ කිහිපයකි. ඒ අනුව මොහු තවත් තරුණියන් මෙසේ රවටා ලිංගික අඩන්තේට්ටම් කොට ඇති බව පොලිසියට තහවුරු විය.
මහාචාර්යවරයාගේ අකටයුතුකම් පිළිබඳ සෙවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන්ට භාර විය. ඔවුන් අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම මහාචාර්යවරයා විවාහකයකු බවත්, දෙදරු පියකු බවත් අනාවරණය විය. ඉතා අඩු වයසක් පවසමින් තරුණියන් මුළාවට පත් කළ අනංග මහාචාර්යවරයා හතළිස්විය ඉක්මවූවකු බවද අනාවරණය විය.
පසුගිය 3 වැනිදා මොහුව අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, මොහු කිසියම් විකෘති ලිංගික ආශා ඇති මානසික ව්‍යාධියකින් පෙළෙනවාදැයි සෙවීමටද පියවර ගෙන ඇත. මොහුගේ මෙම අසභ්‍ය ක්‍රියාකාරකම්වලට උපකාර කළ මොහුගේ රියැදුරාද පොලිසියේ සැකයට බඳුන් වී තිබේ.
අමන්දාගෙන් පසුව මෙවැනි කතා නිම වෙතැයි අපට අපේක්ෂා කළ නොහැක. මොහු වැනි කාමාතුරයෝ තවත් බොහෝ වෙති. හරි වැරැද්ද වටහා නොගෙන ඉවක් බවක් නැතිව තම සීමාව ඉක්මවා සමාජ වෙබ් අඩවිවල සැරිසරන්නට යෑමෙන් අමන්දා සල්ලාල කාමාතුරයකුට ගොදුරු වූවාය.
හොඳ හා නරක එකම කාසියක දෙපැත්ත බව අප වටහාගත යුතුය. ෆේස් බුක්, ට්විටර් වැනි සමාජ වෙබ් අඩවි නිර්මාණය කොට ඇත්තේ එකිනෙකා හඳුනාගෙන ඔවුන් අතර යහපත් අන්තර් සබඳතා ගොඩනැංවීමේ අපේක්ෂාවෙනි. සියල්ල අනවබෝධයෙන් භාවිත කොට අවසානයේ සමාජ වෙබ් අඩවි තහනම් කළ යුතු යැයි පැවසීම නොව එහි ඇති හොඳ-නරක වටහාගෙන කටයුතු කරනවා නම් මෙය අමන්දාට මෙන්ම තවත් බොහෝ අයටද මනා පාඩමක් වනු ඇත.
අරුණි මල්ලවාරච්චි
ප්‍රේමලාල් විජේරත්න
Mawbima