මහේෂි නිළියක් වුණේ නිළි හීනය සැබෑ කරගන්නද?
නිළියක් වෙන්න හීනයක් නම් තිබුණෙ නැහැ. ඒත් චිත්‍රපට බලන්න හුරුවෙලා ඉන්නකොට නිළියක් වෙන්න ආශාවක් ඇතිවුණා. ඉතින් ඒ ආශාව ඉෂ්ට වුණා.
ඔබට මුලින්ම ක්ෂේත්රයට එන්න ලැබෙන්නේ චිත්‍රපට නිළියක් විදියට.
ඔව්, නමුත් මාව ප්‍රේක්ෂකයෝ අඳුනගන්නේ මුතුවරුසා ටෙලි නිර්මාණය හරහා. ඒ නිර්මාණයෙන් මට ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් වුණා කියලා හිතනවා.
ඉගෙනීම් කටයුතුවලට තිත තියලද රංගන කටයුතුවල නියැළෙන්නේ?
ඉගෙනීම් කටයුතුවලින් බැහැර වෙලා නැහැ. නමුත් මගේ රංගන සහ නර්තන වැඩකටයුතු නිසා ඉගෙනීම් කටයුතුවලට යොමුවෙන්න අමාරුයි. මේ තියෙන වැඩකටයුතු ඉවර කරලා නීති ක්ෂේත්රය පැත්තට අවධානය යොමු කරන්න හිතාගෙන ඉන්නවා.
එතකොට වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්න අදහසක් නැද්ද?
දැනට නම් මම වෘත්තීයමය රංගන ශිල්පිනියක්. නමුත් ඉදිරියේදී ඒ තත්ත්වය වෙනස් වෙයි.
සිනමාවෙන් ක්ෂේත්රයට ඇවිත් පුංචි තිරයෙන් ඉදිරියට යන්නද අදහස.
මම සිනමාව අමතක කරන්නේ නැහැ. සිනමාව තමයි මගේ එකම හීනය. ඔක්කොම වැඩ එකට පටලවගන්න මම කැමැති නැහැ. ඒක නිසා මම රඟපාන ටෙලි නාට්‍ය දෙකක වැඩකටයුතු ඉවර කරලා අගෝස්තු මාසයේදී චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කරනවා.
වැඩ පටලවාගන්න අකැමැති වුණාට රංගනයත් එක්ක ඔබ නර්තනයත් පටලවා ගත්තේ නර්තන හැකියාව උරගා බලන්නද?
මම නර්තන ශිල්පිනියක් නෙවෙයි. මම රංගන ශිල්පිනියක්. දෙරණ City of Dance තරගයට මම සහභාගි වෙන්නේ කිරුළ හිමිකර ගන්න නෙවෙයි. මේ තරගයට සහභාගි වෙනකල් මම වේදිකාවක නර්තනය සිදුකරලා නැහැ. අපට හැමදේම ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා මට අවශ්‍ය වෙන්නේ යම් කිසි දෙයක් ඉගෙන ගන්න විතරයි.
වර්තමානයේ රංගන ශිල්පිනියක් වීම විවිධ ක්ෂේත්රවල වරප්‍රසාද ලබන්න හොඳ අවස්ථාවක්. ඔබත් එහෙමද?
මම හැමදාම දකින්න ලැබෙන චරිතයක් වෙන්න කැමැති නැහැ. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ ආදරේ නැති කරගන්න කැමැතිත් නැහැ. අපට කරන්න පුළුවන් සහ බැරි දේවල් තියෙනවා. ඉතින් මම කරන්නේ මට කරන්න පුළුවන් දේ විතරයි.
ඔබ නිතර දකින්න ලැබෙන චරිතයක් වෙන්න කැමැති නෑ කිව්වට දැන් ඔබ නාළිකා කිහිපයකින් ප්‍රේක්ෂකයන්ට නිතර දකින්නට ලැබෙනවා. එයින් ප්‍රේක්ෂකයන්ට ඔබ එපාවීමක් සිදුවෙන්නෙ නැද්ද?
අප කරන දේ අනුව තමයි ප්‍රේක්ෂකයන් අපට ආදරේ කරන්නේ. ටෙලි නාට්‍ය කිහිපයකින් මම ප්‍රේක්ෂකයන් අතරට එනවා. නමුත් මට තිබෙන ජනප්‍රියත්වය අඩුයි කියලා මට හිතෙන්නේ නැහැ.
ඒ කියන්නේ ඔබ දැන් ජනප්‍රිය චරිතයක්ද?
ඕන මනුෂ්‍යයෙක්ට ප්‍රසිද්ධ වෙන්න අවස්ථාව තිබෙනවා. නමුත් ජනප්‍රිය වෙන්න බැහැ. ජනප්‍රියත්වය කියන එක මිනිසුන්ගේ ආදරය කියන එක SMSවලින් ලබා ගන්න බැහැ. මට ප්‍රේක්ෂකයන් ආදරය කරනවා කියලා ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට හිතෙනවා.
රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නිළියට නිර්දේශ වුණත් ඔබට ඒ සම්මානය අහිමි වුණා. ඒ ගැන දුකින්ද ඉන්නේ?
අපෝ නැහැ. සම්මානයක් කියන්නේ වටින දෙයක්. ඒ ලැබෙන ඇගැයීම් එක්ක අපි ඉදිරියට යනවා. මම ජනප්‍රිය නිළිය ලෙස නිර්දේශ වීමත් සතුටක්. මම ඒ නිර්දේශ නාමයන් අතරට එක් වුණේ මමවත් මගේ පවුලේ අයවත් SMS ගහලා නෙවෙයි. මට අවශ්‍ය සහ මම කැමැති දක්ෂතම නිළිය වෙන්න. මට මෙවර දෙරණ Music Awards හි Music Video අංශයේ හොඳම නිළිය බවට පත්වුණා. එයට මට දෙරණ ආයතනයට ස්තුතිවන්ත වෙනවා.
ඔබ පෙම්වතියකගේ භූමිකාවෙන් මිදිලා විවිධාංගීකරණය වූ චරිතවලින් ප්‍රේක්ෂකයන් අතරට එන්නේ කවද්ද?
මම දැනට රඟපාන චරිත යම් යම් වෙනස්කම් සහිතයි. තිර රචනය ප්‍රබල නිසයි මම ඒ නිර්මාණවලට දායක වෙන්නේ. මම තාම ක්ෂේත්රයට ඇවිත් වසර දෙකක් වගේ කෙටි කාලයක්. ඉදිරියේදී වෙනස් විදියේ චරිතවලින් මම ප්‍රේක්ෂකයන් අතරට ඒවි.
ඔබත් සමඟ තව බොහෝ නවක රංගන ශිල්පිනියන් ක්ෂේත්රයට ඇවිත් ඉන්නවා. මේ ඔබේ පරපුරෙන් ඔබට අභියෝගයක් වූ අය ඉන්නවද?
ඒ කතාවත් මට අභියෝගයක් නෙවෙයි. ලස්සන විතරක් තිබුණ පමණින් රඟපාන්න බෑ. රංගනය මොකක්ද කියලා හොඳ හැදෑරීමක් තියෙන්න ඕන. ඒ වගේම දක්ෂතාවය වාසනාව මේ ක්ෂේත්රයේ ඉන්න නම් ඕන වෙනවා.
ඔබට ඔය කියන හැදෑරීම මේ ක්ෂේත්රය සම්බන්ධයෙන් තියෙනවද?
රංගනය කියන දේ ඇඟේ තියෙන්න ඕන. රංගනය පොතක ලියලා ඉගෙන ගන්න බෑ. දවසින් දවස අපි ඒ දේවල් ඉගෙන ගන්නවා. ප්‍රවීණයන්ගෙන් ඒ දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. මුලින් ආපු මහේෂිට වඩා අද ඉන්න මහේෂි ඉදිරියෙන් ඉන්නේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන මඟ පෙන්වීම නිසයි.
මහේෂි දැන් පෙම්වතියක්ද?
තාම මට අවුරුදු 21 ඉතින් තාම මම පෙම්වතියක් නෙවෙයි.
පෙම්වතියක් වෙන්න තව කල් තියෙනවද?
මෙහෙමයි තව අවුරුදු හයකින් හතකින් විතර විවාහ වෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ආ... මූණ රවුම් ලස්සන හිනාවක් තියෙන කෙනෙක් පෙම්වතා කරගන්න කැමැතියි.
තිලිණි කෞශල්යාවිජේසිංහ